සත්ව විනාශ වීම

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
සත්ව විනාශ වීම

සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම
ඉහත විවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය පිළිබඳ කරුණු දැක්වීමේ දී සත්ව විනාශ වීම පිළිබඳ (ලෝක විනාශය නොව) සැකෙවින් දක්වන ලදි. විස්තර වශයෙන් මෙසේ ය. අන්තර් කල්පය විනාශ වන ආකාර 3ක් ඇත. ද්වේශය බලවත් වීමෙන් ආයුධ වලින් සත්ව විනාශයක් සිදු වේ. එය සත්ථ (ආයුධ) අන්තර් කල්පයයි. ලෝභය බලවත් වීමෙන් දුර්භික්ෂයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය දුර්භික්‍ෂ අන්තර් කල්පයයි. මෝහය බලවත් වීමෙන් රෝගයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය රෝග අන්තර් කල්පයයි.
Chaos-of-2012.jpg

මිනිස් ලොව පරමායුෂ වර්ෂ 10 ට පමණ අඩු වී ගිය විට, අවුරුදු 5ක් පමණ වූ දැරියක් විවාහ කර දීමට සුදුසු වන්නේ ය. එ කල්හි ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, හකුරු, ලුණු යන මේ රස නැති වී යන්නේ ය. කුද්‍රැසක (කුරක්කන්) නම් ධ්‍යානය ප්‍රියතම භෝජනය වන්නේ ය. දශ අකුසල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නා හ. ප්‍රාණඝාතය කරන්නන්, සොරකම් කරන්නන්, දෙමාපියන් ඝාතකයින්, දෙමාපියන්ට නොසළකන්නන් කිසි ගුණ ධර්මයක් නැත්තවුන් ඉතා ඉහළ වැජඹෙන්නේ ය. එකල්හි කුසලය, යහපත යන වචන වත් අසන්නට නො ලැබේ. ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේ ය. සිත දූෂ්‍ය නිසා එකිනෙකා මෘගයන් ලෙස පෙනෙන්නේ ය. (මෘග සඤ්ඤාව/ මිගසඤ්‌ඤං) එ කල්හි සත් දවසක් මුළුල්ලෙහි ආයුධ වලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය වන්නේ ය.
මේ ගැන කලින් අසා දැන ගෙන ස්වල්පයක් දෙනා, එයින් මිදෙනු කැමති ව ගල් ගුහා, ගිරිදරක්, ගංගා මැද දූපත් ආදියෙහි සැඟවී වනයෙහි වූ අල, මුල් ආදිය ආහාරයට ගෙන සතියක් පමණ කාලයක් නිරුපද්‍රිත ව වාසය කරයි. අන් සියල්ලෝ ම ඇන කොටා ගෙන මරණයට පත් වන්නේ ය. සැඟව සිටි පිරිස සතියක් ඇවෑමෙන් නැවත තම ගම් බිම් වලට පැමිණ තම ඥාතීන්ට සිදු වී ඇති විපත දැක බොහෝ සේ කම්පාවට පත් වන්නේ ය. මෙසේ විශාල විනාශයක් සිදු වූයේ ප්‍රාණඝාතාදී අකුසල් නිසා බව වටහා ගත් ඔවුහු ප්‍රාණඝාතයෙන් ඈත් වන්නේ ය. එවිට බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 20ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ සොරකම් කිරීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 40ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ කාම මිච්ඡාචාරයෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 80ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ බොරු කීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 160ක් දක්වා වැඩි වන්නේ ය. කේලම් කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 320ක් දක්වා වැඩි වන්නේ ය. පරුෂ වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 640ක් දක්වා වැඩි වන්නේ ය. හිස් වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 2 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ලෝබකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 4 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ද්වේෂකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 8 000ක් දක්වා වැඩි වන්නේ ය. මිසදිටු ගැනීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 20 000ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ අධර්ම රාග (මව, සුළු මව ආදීන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම), විෂම ලෝභ (පරිභෝග කළ යුතු වස්තූන්ගේ කෙරෙහි ද දැඩි ව ලෝභ කිරීම), මිථ්‍යා ධර්ම (පිරිමින් පිරිමින් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් රාගය ඉපදවීම) වලින් වළකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 40 000ක් දක්වා වැඩි වන්නේ ය. මවට සත්කාර කිරීම, පියාට සත්කාර කිරීම, මහණ හට සත්කාර කිරීම, බමුණන් හට සත්කාර කිරීම, කුලයේ වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම යන ගුණ ධර්ම රකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 80 000ක් දක්වා වැඩි වන්නේ ය. පරමායුෂ වර්ෂ 80 000ක් වන විට මිනිසුන්ට රෝග 3ක් පමණක් වැළඳේ. එනම් ආහාරයට ඇති කැමැත්ත, ආහාර ගත් විට ක්ලාන්ත වීම (බත් මතය) හා වයසට යන විට වයස් ගත ලකුණු පහල වීම යන ආබාධ තුනයි.
Antara%2BKalpaya%2B2.png

මෙසේ ආයුෂය වැඩෙන්නේ ක්‍ෂේත්‍ර විශුද්ධිය නිසා ය. එනම් මාපියෝ සිල්වත් ය. සිල් ඇති ව දරු ගැබ් වැඩේ. එයින් දීර්‍ඝායුෂ වේ. ඔවුන් කලුරිය කර නැවත උපදින විට සීලය නිසා දීර්‍ඝායුෂ වේ. මෙසේ අකුසල් අත් හැර කුසල සමාදානය නිසා ක්‍රමයෙන් ආයු වැඩි වී ගොස් පරම ආයුෂ වර්ෂ අසංඛ්‍යය දක්වා ම වැඩි වන්නේ ය. ඒ කාලයේ මිහිපිට දෙව් ලොව මෙන් සශ්‍රීක වන්නේ ය. සත්වයෙකු මිය යෑම ඉතා දීර්ඝ කාලයකින් සිදු වන්නේ ය. එබැවින් ඔවුන්ට 'අපි නිත්‍ය වූ ආයුෂ ඇත්තෝ වෙමු.' යැයි සිතේ. මෙසේ ක්‍රමයෙන් තණ්හා හා මාන ආදී අකුසල් කෙමින් වර්ධනය වීමට පටන් ගනී. එවිට ක්‍රමයෙන් ආයු පිරිහෙන්නට වන්නේ ය. (මේ පිළිබඳ විස්තර චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ දැක්වේ.)
මෙසේ අකුසල් වර්ධනය වී සතුන් මැරීම, සොරකම් කිරීම, ... ආදිය ක්‍රමයෙන් වර්ධනය වන්නේ ය. ආයුෂ ද පිරිහෙන්නේ ය. එසේ පිරිහෙන්නා වූ ආයුෂ වර්ෂ 10 දක්වා ම අඩු වන්නේ ය. එවිට සත්ව විනාශයක් වන්නේ ය. එය අන්තර් කල්ප විනාශයයි. මෙසේ මිනිසුන්ගේ පරමායුෂ වර්ෂ 10 සිට ක්‍රමයෙන් වැඩි වී ගොස් අසංඛ්‍ය දක්වා වැඩි වී
නැවතත් 10 වර්ෂය දක්වා අඩු වීමට ගත වන කාලය අන්තර් කල්පයක් ලෙස හැදින්වේ.

සම්පූර්ණ ලිපියම කියවන්න.
 
  • Like
Reactions: qtel