සෝණදණ්ඩ බමුණා සහ බුදුරජාණන්වහන්සේ.
ත්‍රිපිටකයේ දීඝ නිකායේ ඇති එක් සූත්රයකි සෝණදණ්ඩ සූත්‍රය. සෝණදණ්ඩ බමුණා මෙහි ප්‍රධාන චරිතය වේ. මේ සූත්‍රය අවසානයේ සෝණදණ්ඩ බමුණා, බුදුරජාණන්වහන්සේට තමුන් උන්වහන්සේට කරන ගරුසරු පිළිබඳව විස්තරයක් කරයි. එය පහත පරිදි ය.
එවිට සොණදණ්ඩ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේ වළඳා නිමවූ බව දැන එක්තරා නිවාසනයක් ගෙණ එකපැත්තකටවී හුන්නේය. හිඳ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීවේය.
“භවත් ගෞතමයන් වහන්ස, පිරිස් අතරට පැමිණි මම හුන් ආසනයෙන් නැගිට භවත් ගෞතමයන් වහන්සේට වඳින්නෙම් නම් ඒ කාරණකොටගෙණ මට පිරිස නින්දා කරන්නීය. යමෙකුට ඒ පිරිස නින්දා කරන්නීද, ඔහුගේ කීර්තියද පිරිහෙන්නේය. යමෙකුගේ කීර්තිය පිරිහේ නම් ඔහුගේ වස්තුද පිරිහෙති. අපගේ වස්තු කීර්තිය කරණකොට ගෙණ ලබන ලද්දාහුමය.
“භවත් ගෞතමයන් වහන්ස, පිරිස් අතරට පැමිණි මම ඉදින් දෑත එකතුකොට වැන්දේ නම් ඒ කරණකොට ගෙණ භවත් ගෞතමයන් වහන්සේ මා හුන් ආසනයෙන් නැගිට ගෞරව කළසේ සලකන සේක්වා භවත් ගෞතමයන් වහන්ස, පිරිස් මැදට පැමිණි මම ඉදින් හිස්වෙළුම් ඉවත් කරන්නෙම් නම් පින්වත් ගෞතමයන් වහන්සේ එය මාගේ හිසින් නමස්කාරයයි සලකන සේක්වා. භවත් ගෞතමයන් වහන්ස, ඉදින් රථයක නැගී සිටි මම රථයෙන් බැස භවත් ගෞතමයන් වහන්සේ වඳින්නෙම් නම් ඒ නිසා පිරිස මට නින්දා කෙරේ. යමෙකුට පිරිස නින්දා කෙරේද ඔහුගේ කීර්තියද පිරිහෙන්නේය. යමෙකුගේ කීර්තිය පිරිහේ නම් ඔහුගේ වස්තුද පිරිහෙත්. අපගේ වස්තු කීර්තිය නිසාම ලබන ලද්දාහුය. භවත් ගෞතමයන් වහන්ස, ඉතින් රථයට නැගුණු මම කෙවිට ඉදිරියට නමන්නෙම් නම් එය මාගේ රථයෙන් බැස ගෞරව කිරීමයයි සලකන සේක්වා භවත් ගෞතමයන් වහන්ස, ඉදින් රථයක සිට මම (මාගේ) අත නමන්නෙම් නම් එය මාගේ වැඳීමයයි සලකන සේක්වා.’
හිතන්න. භික්ෂුවකට නොව සාමාන්‍ය කෙනකුට මෙවැනි දෙයක් අසන්නට ලැබුනහොත් හැසිරෙන ආකාරය. බුදුරජාණන්වහන්සේ කරන්නේ කුමක් ද? සෝණදණ්ඩ බමුණාගේ හිත සැනසෙන ධර්ම දේශනාවක් කර ආපසු වැඩමවීමයි.
බුදුරජාණන්වහන්සේ කෙතරම්නම් උත්තම පුරුෂයකුදැයි සිතා ගැනීමට මෙය හොඳ නිදසුනකි. දිවිහිමියෙන් උන්වහන්සේ විශ්වාස කොට, ඒ දේශනා කළ මාර්ගය ජීවිතයට එකතු කර ගැනීමට මේ ගුණ, අප පොළඹවන්නේ ය.