“අනේ පවු” සත්ත්ව කරුණාව හෙවත් බල්ලන්ටත් මං &#3

Jamis Banda

Member
Jul 19, 2015
15
7
0
Srilanka
“අනේ පවු” සත්ත්ව කරුණාව හෙවත් බල්ලන්ටත් මං &#3

“අනේ පවු” සත්ත්ව කරුණාව හෙවත් බල්ලන්ටත් මං ආසයි!​
Chinese-Yulin-Dog-Meat-Festival.jpg
චීනයේ යුලින් නගරයේ සිදුවූ සුනඛ සංහාරය අවසන් වී දින කිහිපයකි. සංස්කෘතික උත්සවයක් උදෙසා සුනඛයින් 10,000 අමු අමුවේ මරා දැමුනේ ලොව වටා සත්ත්ව අවිහිංසාවාදීන්ගේ මෙන්ම සුනඛ හිතවාදීන්ගේද දැඩි විරෝධතා මධ්‍යයේය.

ඔවුන් තම රටවල චීන තානාපති කාර්‍යාල අසල මෙම සංහාරයට විරෝධතාවය පළ කල අතර මිලියන ගණන් වලින් සයිබර් පෙත්සම් සඳහා අත්සන් එකතු කිරීමද ඇරඹිනි. උත්සවයට විරෝධය පලකරමින් පැමිණි පණිවුඩ වලින් චීන මාධ්‍යය පිරීගිය බවත් සත්ත්ව අවිහිංසාවාදීන් විරෝධය පළකිරීම උදෙසාම යුලින් නුවරට පැමිණි බවත් වාර්තා විය.

මේ සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින් දින තුනක් පුරා යුලින්හි වැසියන් සිය උත්සවය නිදහසේ සැමරූ අතර විරෝධකරුවන්ට සිදුවූයේ තම විරෝධතා පුවරු හකුලාගෙන නිවෙස්වලට යාමටය.

යුලින් හී වැසියන්ගේ පිළිතුර අතිශය සරලය,

“ඔවුන් කියනවා ඔවුන් බල්ලන්ට කැමතියි කියලා.

අපිත් බල්ලන්ට කැමතියි.

හැබැයි බල්ලන්ගේ මස් වලට”

තමන් අනෙකුත් සත්ත්වයන්ට වඩා උසස් (දියුණු) යැයි කියා ගන්නා “මිනිසා” තමන්ගේ තෘප්තිය උදෙසා වෙනත් ජීවියකුගේ ප්‍රාණහරණය කළ පළමු සහ අවසන් අවස්තාව චීනයේ යුලීන් නොවේ.

ජපානය පැසිෆික් සාඟරයේ තල්මසුන් දඩයමේ යෙදෙන්නේ ඕස්ට්‍රේලියාව සහ ජපානය අතර රාජ්‍ය ත්‍රාන්ත්‍රික බැඳීම් පවා අර්බුදයට පත් කර ගනිමිනි. නේපාලයේ සිදුවු භූමි කම්පාවට පෙර මහා පරිමාණයෙන් ගව බිලි පූජාවක් පවත්වන ලද්දේ ඉන්දියාවෙන් එල්ලවූ දැඩි විරෝධය මැදය. ඩෙන්මාර්කය ඩොල්පින් මසුන් ඝාතනය කරන ලද්දේ වතුර ලෙයට හරවමිනි.

චීනය තම සංස්කෘතික අංගයක් නිසා බල්ලන් මරා දැමීමට විරුද්ධව අන්තර්ජාල පෙත්සමකට අත්සන් එකතු කරන ඩෙන්මාර්ක් ජාතිකයා තමන්ගේ රටේ සිදුවන ඩොල්පින් මත්ස්‍යය ඝාතනය පිළිබඳව මුණිවත රකියි. ඩෙන්මාර්කයේ ඩොල්පින් මසුන් මරා දැමීම ගැන අන්තර්ජාලයෙන් කියවා කම්පනයට පත්වන නේපාල ජාතිකයා පෙරළා තම රටේ සිදුවන මහපරිමාණ ගව ඝාතනයට පක්ෂව ඉන්දියානුවා සමඟ වාද කරයි.

එනිසා මෙම සත්ත්ව ඝාතන සියල්ලටම එය සිදු කළ පිරිස හැර ඉතිරි අයගෙන් විරෝධතා එල්ල වීම එක්තරා විදිහකින් උත්ප්‍රාසාතමකයැයි (ironic) බ්ලොග් කරු සිතයි!

බ්ලොග්කරු ඉහත ගත් උදාහරණ මාංශ පිණිස මරා දැමෙන සතුනට අමතරවය.

සත්ත්ව ඝාතකාගාර තුළ වසරකට බිලියන 56 කට අධික සතුන් ආහාර සඳහා ඝාතනය කෙරෙන බව ගණන් බලා ඇත. ලොව පුරා එක් තත්පරයකට ඝාතනය වන සතුන් සංඛ්‍යාව 3000 කට ආසන්න අගයකි. (දත්ත සඳහා පිවිසෙන්න)

දිනපතා සත්ත්ව ගොවිපළ වල දස වදදී මරා දැමෙන, මස් පිණිස ප්‍රාවහණය කෙරෙන ඌරන්, කුකුළන්, එළුවන් ආදී සතුන් සහ දැල් දමා අල්ලා ගනු ලබන මත්ස්‍යයන් පිළිබඳව (ඊනියා) සත්ත්ව ප්‍රේමියකුගේ “අනේ පවු” සත්ත්ව කරුණාව එල්ල නොවේ. අනුභව පිණිස දිනපතා මරා දැමෙන එම සතුන්(/මසුන්) සහ (ඊනියා) සත්ත්ව ප්‍රේමීන්ගේ “අනේ පවු” සත්ත්ව කරුණාව හිමිවන සතුන් අතර ඇති වෙනස කුමක්දැයි නිරමාංශිකයෙකු වන බ්ලොග්කරු කල්පනා කරයි.

බ්ලොග්කරු පෙර සටහනකදී සඳහන් කළ ලෙසින්, මෙම (ඊනියා) සත්ත්ව ප්‍රේමීන්ගේ “අනේ පවු” සත්ත්ව කරුණාව “සදාචාරත්මක ප්‍රකාශනයක්” ලෙසින් නොව, “සංස්කෘතික (/ආගමික) ප්‍රකාශනයක්” ලෙසින් තේරුම් ගත යුතුයැයි බ්ලොග්කරු යෝජනා කරයි.

එයට ප්‍රවේශයක් ලෙසින් මිනිසා සදාචාරාත්මක සම්මුතීන් (moral obligations) ගොඩ නංවා ගත් අන්දමට බ්ලොග්කරු අවදානය යොමු කරයි.

මානව ප්‍රගමණයේ මුල් අවධියේ සදාචාරාත්මක සම්මුතීන් සහ වටිනාකම් වලංගු වූයේ තම ගෝත්‍රයේ සාමාජිකයින්ට පමණි (intratribal). එනිසා තවත් ගෝත්‍රිකයකු මරාදැමීම වරදක් වූයේ, තමාගේම ගෝත්‍රයට අයත් කෙනෙකුව මරණයට පත්කල විටදී පමණි. එනිසා වෙනත් ගෝත්‍ර අතර ගැටුම්කාරී ස්වභාවයක් පැවතුන එසමයේ තම ගෝත්‍රයෙන් පිට අයවලුන්ව (intertribal) මරාදැමීම වරදක් වූයේ නැත.

මිනිස් ගහණය වර්ධනය වී ශිෂ්ඨාචාරයන් බිහිවීමත් සමඟ ක්‍රමයෙන් සිදුවූ සදාචාරාත්මක පරිණාමනය තුළ අනෙකුත් ජීවීන්ට සාපේක්ෂව මිනිසා සදාචාරාත්මක සම්මුතීන් අතින් බොහෝ දුරක් පැමිණ තිබේ. යුධමය අවස්තාවකදි පවා තම විරුද්ධවාදීන්ගේ (ත්‍රස්තවාදීන්ගේ පවා) ඝාතනය කිරීමේ ක්‍රමවේදය සම්බන්ධව රටවල් වශයෙන් එකඟ වූ ජාත්‍යන්තර සම්මුතීන් (treaties) පවා තිබේ.

එසේම ඔවුහු තව දුරත් ඔවුන්ගේ සදාචරයේ සීමාවන් සහ සම්මූතීන් පිළිබඳව එකිනෙකා සමඟ සාකච්ඡා කරමින් සිටිති, වාද කරගනිති. උදාහරණ ලෙසින් දරුණු ගණයේ අපරාධකරුවෙකුට වුව මරණ දණ්ඩනය දීමේ සුදුසු නුසුදුසු බව, ගබ්සාවකදී ප්‍රාණඝාතයක් සිදුවන්නේද නොවන්නේද යන බව, ස්ව කැමැත්තෙන් දිවි තොර ගැනීමට ඉඩදීමේ සුදුසු නුසුදුසු බව ආදිය දැක්විය හැකිය.

මෙවැනි සංවාද බ්ලොග්කරු දකින්නේ මානව පරිණාමනයේ ඉතා වැදගත් ප්‍රගමනයන් ලෙසය.

එහෙත් මානව පරිණාමනයේ කොතනකදී හෝ මිනිසාහට අනෙකුත් තමන් සමඟ ජීවය බෙදා ගත් අනෙකුත් ජීවින්, මිනිසා විසින් නිර්මාණය කරගත් (සහ නිර්මාණය කර ගනිමින් සිටින) “සදාචාර සම්මුතීන්” තුළින් මඟහැරී ගොස් තිබීම අවාසනාවන්ත තත්ත්වයකි.

එසේම මිනිසා තමන් පරිසරයෙන් ස්වායක්ත ස්විශේෂී කොට්ඨාසයක් ලෙසීන් සිතීමට සහ ක්‍රියාකිරීමටද පෙළඹී තිබේ (මෙම තත්ත්වය වර්තමානයේ දැඩි ලෙස කතා බහට ලක්වේ.)

මිනිසා වනචාරියෙක් වූ මුල් අවධියේ සදාචාරයේ සීමාව තම ගෝත්‍රය තුළට සීමා කල සේම වර්තමානයේදී මිනිසා විසින් සදාචාරයේ සීමාව තමන් අයත් වන මිනිස් වර්ගයාගේ සීමාවෙන් ඔබ්බට ගෙනයාමට අසමත්ව ඇත.

පෙර සදහන් කල පරදි බ්ලොග්කරු නිර්මාංශිකයෙකි, සත්ත්ව කොටස් යොදා නිමවූ දේ භාවිත කිරීම හැකිතාක් අවම කර ඇත්තෙකි. එහෙත් මෙය කියවන කිසිවෙකුත් එසේ වන්නැයි බ්ලොග්කරු නොයිල්ලයි. එය තමන්ගේ පුද්ගල නිදහස බව බ්ලොග්කරු පිළිගනී (#mychoice)

එහෙත් මෙම සටහනේ අවසානයේ බ්ලොග්කරුට ඔබගෙන් විමසන්නට දෙයක් තිබේ,

ඔබ යම් සත්ත්ව ඝාතනයකදි දක්වන “අනේ පවු” තිගැස්මේ (shock) සීමාව සහ ඔබගේ සත්ත්ව ප්‍රේමයේ සීමාව කොතනද? එහි ඉර ඇදෙන්නේ කෙතනින්ද?

එම අනේ පවු තිගැස්ම සංස්කෘතික(/ආගමික) ප්‍රකාශනයක ප්‍රතිඵලයක්ද? එසේත් නැතිනම් සදාචාරාත්මක ප්‍රකාශනයක ප්‍රතිඵලයක්ද?

https://asammathasatahan.wordpress.com/
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
බයෝ වෙපන් එහෙකිං ගහල මිනිස්සු ඔක්කොම මරල ඉවරයක් කල්ල දැම්මනං ඉවරයිනෙ සිඞ්හලු :dull: :dull: :dull: