"NGC 4631' (Caldwell 32) යනු පෘථිවියේ සිට නිරීක්ශනය කරන විට එහි හරස් කඩ පමණක් දිස්වන (මෙවැනි මන්දාකිණි edge-on galaxy ලෙස හදුන්වයි) දැවැන්ත සර්පිල මන්දාකිණියකි (spiral galaxy). මෙම මන්දාකිණිය, දැවැන්ත මත්ස්‍යයෙකුගේ ස්වභාවය ගත් හැඩයකින් දිස්වන බැවින් මෙය "The Whale Galaxy" (තල්මස් මන්දාකිණිය) යන අනුවර්ථ නාමයෙන් ද හදුන්වනු ලබයි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 25 ක් ඈතින්, "Canes Venatici" නම් වූ උතුරු තාරකා රාශියට (northern constellation) අයත්ව පිහිටා ඇති මෙම අපූර්ව මන්දාකිණියෙහි විෂ්කම්භය ආලෝක වර්ෂ 74 558 පමණ වන බව ද සොයාගෙන තිබේ. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇති පහත දැක්වෙන තියුණු වර්ණයන්ගෙන් සමන්විත වූ ඡායාරූපය මගින් මෙම මන්දාකිණියෙහි වූ දීප්තිමත් කහ පැහැති හරය (yellowish core) මෙන්ම මන්දාකිණිය තුළ පිහිටා තිබෙන අඳුරු දූවිලි වලාකුළු, දීප්තිමත් නිල් පැහැති තාරකා පොකුරු හා රත් පැහැ ගත් නව තාරකාවන් උපැද්දවීම සිදුකරන ප්‍රදේශයන් ද (star forming regions) පැහැදිලිව නිරීක්ශනය කළ හැකිය.
මෙම මන්දාකිණියට යාබදව "NGC 4627' නම් වූ කුඩා ඉලිප්සාකාර මන්දාකිණියක් පිහිටා තිබෙන ඇති අතර මෙම සහචර මන්දාකිණිය, "Whale Galaxy' ට ඉහළින් වන්නට දිස්වන අයුරු මෙහිදී නිරීක්ශනය කළ හැකිය. මෙම ඡායාරූපයෙහි ඈතින් වන්නට දිස්වන දුර්වල ආලෝක ධාරාවන්, ඈත අතීතයේදී, අවස්ථා ගණනාවකදීම "Whale Galaxy' හා සමග සිදුවූ අහඹු හමුවීම් හේතුවෙන් අවශේෂ වී ගිය කුඩා සහචර මන්දාකිණි බවට හදුනාගෙන ඇත. මේ අතර මෙම "Whale' මන්දාකිණිය විසින් ඒ වටා විහිදුවා ඇති දිළිසෙන උණුසුම් වායූන්ගෙන් සමන්විත වූ ප්‍රභාමණ්ඩලයකින් ද යුක්ත වන බව X- කිරණ මාධ්‍යයය යොදාගනිමින් නිරීක්ශන කටයුතු සිදුකරන "Chandra X-ray Observatory" නම් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් මේවන විට සොයාගෙන තිබේ.
Image Credit & Copyright: Michael Sherick
Whale Galaxy (NGC 4631)
