🌷 දෙව්ලොව ගිය තිස්ස සන්නාලියාගේ කථාව 🌷

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    🌷 දෙව්ලොව ගිය තිස්ස සන්නාලියාගේ කථාව 🌷

    මෙසේ අසන්නට ලැබේ. සිංහල ද්වීපයේ අනුරාධපුරයෙහි තිස්ස නමැති සන්නාලියෙක් ඇඳුම් මැහීමේ කර්මාන්තයෙන් ජීවත් වෙයි. හෙතෙම තිසරණගතව පන්සිල් රකින්නෙකි, බුදුසස්නෙහි පැහැදුණු ශ්‍ර‍ද්ධා ඇත්තෙකි. තමාගේ ශරීරයේ දැලි නූලක් ගසා බෙදා වෙන්කොට “මාගේ සිරුරෙහි අඩක් මවුපියන්ට වේවා, අඩක් මට වේවා” යි කියා මැහීම කරයි. ඉර උදා වූ තැන් පටන් මධ්‍යාහ්නකාලය දක්වා වැඩ කොට යමක් ලබයි නම් එය භික්ෂුසංඝයාට දී මධ්‍යාහ්නයේ පටන් ඉර අවරවීම දක්වා යමක් ලබයි නම් එයින් මවුපියන් පෝෂණය කරයි.
    හෙතෙම දිනපතා දන් දෙන්නේ ඇතැම් විට දස නමකට ද ඇතැම්විට විසිනමකට, තිස් නමකට, හතළිස් නමකට, පණක් නමකට, සියක් නමකට ද ඇතැම් විට ඊටත් වැඩි ගණනකට ද දන් දෙයි. සිවුරු ආදියත් දෙයි. මෙසේ ජීවත්වන ඔහුට මවුපියෝ මෙසේ කියති.

    “ඔබට විවාහයක් කරදෙන්නෙමු. එය ගිහි මිනිසුන්ගේ ධර්මතාවයකි. ඈ ඔබගේ ශරීරය පිළිදැගුම් කිරීම සඳහා වන්නීය.” තිස්ස තෙමේ මෙසේ කියයි. එවැන්නන් ධාර්මිකව ජීවත්වන්නෙකුට අන්තරාය කරන්නියෝය. මගේ සිත දන් දීමෙහි හා සිල් රැකීමෙහි ඇලුණි. මට පවුල්වීමෙන් වැඩක් නැත.ඉදින් කුසල් කිරීම අත්හැර කාමයන්හි ප්‍ර‍මාදවන්නේ නම් ඒ අඥාන පුද්ගලයා සද්ධර්මය හැර දමා පසුව තැවෙන්නේය.

    මෙකී දේ අසා තිස්සගේ මවුපියවරු නිශ්ශබ්ද වූහ. හෙතෙම බිරියක් පාවා ගැනීම අත්හැර බ්‍ර‍හ්මචර්යාවෙහි හැසුරුණි. සිල්වත් වූ ඔහුගේ කීර්තිය “අනුරාධපුරයේ තිස්ස තෙමේ ශ්‍රේෂ්ඨ සිල්වතෙකි; ශරීරය දෙකට බෙදාගෙන මවුපියන් පුදන්නෙකැ”යි පැතිර ගියේ ය.

    එකල රහත් තෙරුන් තුසිත දෙව්ලොවට ගොස් ප්‍ර‍මුඛ විමානයන් බලා දෙවියන්ගෙන් විචාළ විට “මේ විමන් දෙක සද්ධාතිස්ස රජු සඳහාත් තිස්ස සන්නාලියා සඳහාත් මැවී තිබෙත්” යයි කීහ. ඒ තෙරවරු අනුරාධපුරයට ඇවිත් ඒ කාරණය මිනිසුන්ට කීහ. මිනිසුන් සද්ධාතිස්ස රජුට දැන්නූවිට රජතුමා ඒ සන්නාලියා කැඳවා “තෝ මෙසේ මෙසේ කෙරෙහිදැ”යි ඇසී.

    “එසේය දේවයන් වහන්සැ” යි කී විට “මට පින් කොටසක් දෙව” යි කීය. “දේවයන් වහන්ස, ඔබ වහන්සේට ද අන් හැම සත්ත්වයන්ට ද පින් දෙමි” යි හෙතෙම කීය. රජතුමා ඔහුට හැම උපකරණයන්ගෙන් යුත් ගෙයක් සිය මාළිගය අසලින් දී වස්ත්‍ර‍ සිවු පණස් දහසක් ද දහසක් අය උපදනා ගමක් ද දුණි. හෙතෙම මහාදානපතියෙක් විය. එතැන් පටන් භික්ෂූන්ට සිවුරු ආදිය දුර්ලභ නොවීය.

    ඔහුගේ මරණ කාලයේදී බණ අසමින් සිටියදී මොනවාදෝ කී බැවින් “මේ තෙමේ ප්‍ර‍ලාප දොඩන්නේය” යි ඇතැම් කෙනෙක් කීය. එවිට තිස්ස තෙමේ මම ප්‍ර‍ලාප නොදොඩමි; දේවතාවන් ඇවිත් මට ඉක්මන් කරන්ට කියන බැවින් මම ඔවුන්ට බණ අසනකල් බලාපොරොත්තු විය යුතුය යි කීවෙමි. තාම්‍ර‍පර්ණි ද්වීපයෙහි යම් පමණ බුද්ධ ශ්‍රාවකයෝ වෙසෙත් නම් ඒ සියල්ලන්ට තුන් වරක් තුන් සිවුරු දුනිමි. දහස් වරක් පහන් දහස බැගින් දැල්ලුවෙමි. නොකල්හි ධර්ම දේශනා දහසක් කෙරෙව්වෙමි. මී පැණි ගිතෙල් තලතෙල් පැණි හා ඖෂධ වර්ග නොයෙක් විට දෙන ලදි. ඒ නිසා මම කුමකට විලාප කියම් ද? බුදුන් දහම් සඟුන් යන ත්‍රිවිධරත්නයන් සම්බන්ධ නොයෙක් කුසල් කෙළෙමි. ශාක්‍ය සිංහයන්ගේ සස්නෙහි නොයෙක් කුසල් කොට ප්‍රීති සොම්නස් ඇත්තේ වෙමි; මට තැතිගැනීමක් නැතැ යි කීය. දෙව්ලොවින් ආ උතුම් රථයෝ දැන් මා ඉදිරියෙහි වෙති. ඒ දෙව්ලෝවලින් කුමක් යහපත් ද? රහතුන් වසන නගරයක් වැනි වූ තුසිත දෙව්ලොවෙහි නිතර ධර්ම කථා පැවැත්වෙති. ඒ ඉතා යහපත් දෙව්ලොවැ අජිත නමින් පෙර විසූ මෙතේ බෝසත් ද වෙයි. මෙසේ සන්නාලි තෙමේ බුදුසස්නෙහි බොහෝ කුසල් කොට තුසිත දෙව් ලොවින් හා රථයෙහි නැගී අහසින් ගියේය. මෙසේ යමෙක් අකුසල් දුරුකොට හැමකල්හි කුසල් කෙරේ නම් අපරිමිත සැප ලබා සුවසේ ලොව්තුරා සැපද ලබන්නේය.

    උපුටා ගැනීම : https://www.facebook.com/thusitha.rajapakse/posts/10212320213461704

    Thusitha Rajapakse