ඇමරිකාවේ නාසා ආයතනයට හා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියට (European Space Agency - ESA) අයත් "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂයේ පවතින "Near Infrared Camera (NIRCam)" නම් අධෝරක්ත කැමරාව මගින් ලබාගත් මෙම අපූරු ඡායාරූපය මගින් නිරූපණය කෙරෙනුයේ "SN 1987A" (Supernova 1987A) නම් වූ සුපර්නෝවාව යි (Supernova).පෘථිවියේ සිට ආලෝක වර්ෂ 168 000 ක් ඈතින්, ක්ෂීරපථය මන්දාකිණියට යාබදව පිහිටා තිබෙන පරිවාර වාමන මන්දාකිණියක් (satellite dwarf galaxy) වන "The Large Magellanic Cloud (LMC)" තුළ, 'Dorado' නම් තාරකා රාශියට අයත්ව මෙම "SN 1987A" සුපර්නෝවාව පිහිටා ඇත. ඡායාරූපයෙන් නිරූපණය කෙරෙන මෙම "SN 1987A" සුපර්නෝවාවේ ඇති මධ්‍ය ව්‍යුහය යතුරු සිදුරක හැඩය සිහිගන්වන අතර එම මධ්‍යයය තුළ සුපර්නෝවා පිපිරුම මගින් නිකුත් වූ වායු සහ දූවිලි අපිළිවෙළාකාරව එක් රැස් ව පවතී.
ආසන්න - අධෝරක්ත කිරණ ආලෝක මාධ්‍යයයේදී නිරීක්ෂණයට දැඩි සංවේදිතාවක් "ජේම්ස් වෙබ්" අභ්‍යවකාශ දුරේක්ෂය දැක්වුව ද එවැනි මාධ්‍යයයකදී වුවද, මෙම සුපර්නෝවාව මධ්‍යයයේ වූ වායු සහ දූවිලි විනිවිද දැකීමට දක්වන අපොහොසත් බව හේතුවෙන් "SN 1987A" සුපර්නෝවාවේ මධ්‍ය ප්‍රදේශය මෙලෙස යතුරු සිදුරක ආකාරයෙන් නිරීක්ෂණය වීමට මූලිකව හේතුවී තිබේ. මෙම "යතුරු සිදුරු" මධ්‍ය ව්‍යුහය වටා පවතින දීප්තිමත් නිරක්ෂීය වළල්ල (equatorial ring), සුපර්නෝවාව වටා නිර්මාණය වී ඇති හෝරා ඝටිකාවක (hourglass) හැඩය ගත් බාහිර වළලු එකට සමබන්ධ කරන තීරුවක් ආකාරයෙන් නිර්මාණය වී ඇති ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැක. මෙම නිරක්ෂීය වළල්ල බිහිවී ඇත්තේ, මෙම සුපර්නෝවා පිපිරුම සිදුවීමට වසර දස දහස් ගණනකට පෙර නිකුත් වූ විවිධ ද්‍රව්‍යයයන් මගිනි. සුපර්නෝවා පිපිරුමත් සමග නිකුත් වූ දැවැන්ත කම්පන තරංගය මෙම නිරක්ෂීය වළල්ලේ ගැටීම හේතුවෙන් එම වළල්ලේ අභ්‍යන්තර දාරය වටා දක්නට ලැබෙන දීප්තිමත් හා උණුසුම් ලපයන් (Bright spots) නිර්මාණය වී ඇත.
ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය: "Near Infrared Camera (NIRCam)" ඡායාරූපය
Science
NASA, ESA, CSA, Mikako Matsuura (Cardiff University), Richard Arendt (NASA-GSFC, UMBC), Claes Fransson (Stockholm University), Josefin Larsson (KTH)
Image Processing
Alyssa Pagan (STScI)
නමුත් මෑතකදී සිදුකළ නිරීක්ෂණයන්හී'දී මෙම ලප නිරික්ෂීය වළල්ලේ බාහිර පැත්තේ ද පවතින බව සොයාගැනීමට හැකිවී තිබෙන අතර එවායින් සිදුවන ආලෝක විමෝචනයන් විසරණය වී ගොස් ඇති ආකාරයක් ද නිරීක්ෂණය කළ හැකිය. මෙම බාහිර ලපයන්, සුපර්නෝවා කම්පන තරංගයන් නිකුත් වීමේදී,එම කම්පන තරංගයන්, බාහිර අවකාශයේ සිට පැමිණෙන ද්‍රව්‍යයන් සමග ගැටීමේදී හටගත් ඒවා ලෙස හදුනාගෙන තිබේ. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂයට පෙර මෙම "SN 1987A" සුපර්නෝවාව නාසා'හි හබල්, ස්පිට්සර් සහ චන්ද්‍ර යන අභ්‍යවකාශ දුරේක්ෂයන් (NASA’s Hubble and Spitzer Space Telescopes and Chandra X-ray Observatory) යොදා ගනිමින් ද නිරීක්ෂණය කොට ඇත. මෙලෙස විවිධ දුරේක්ෂයන් යොදා ගනිමින් "SN 1987A" සුපර්නෝවාව පළමුවරට සොයාගැනීමට හැකියාව ලද '1987' වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා වූ වසර 40 ක කාලසීමාව තුළ ගැමා කිරණයන්ගේ සිට X - කිරණ දක්වා පවතින ආලෝකයේ වූ විවිධ තරංග ආයාමයන් ඔස්සේ මෙම "SN 1987A" සුපර්නෝවාව පිළිබදව තාරකා විද්‍යාඥයන් විසින් අධ්‍යයනයන් සිදු කර ඇත.
2017 වර්ෂයේදී හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (දෘෂ්‍ය ආලෝක මාධ්‍යයය) මගින් ලබාගත් "SN 1987A" සුපර්නෝවාවේ ඡායාරූපය
හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් "SN 1987A" සුපර්නෝවාවේ ස්වරූපයේ සිදුවූ විකාශනය (වෙනස් වීම්) හසුකර ගත් අයුරු
Credits: NASA, ESA and R. Kirshner (Harvard-Smithsonian Center for Astrophysics and Gordon and Betty Moore Foundation) and P. Challis (Harvard-Smithsonian Center for Astrophysics)
Last edited: