SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ටයිටැනික් ආයෙත්‍ 3D තාක්ෂණයෙන්....



    සුවහසක් ප්‍රේක්‍ෂකයන්ගේ නෙතට කඳුලක් එක් කළ ජැක් - රෝස් ආදර අන්දරය ඔබේ මතකයෙන් තවමත් ගිලිහි ගොස් නැතුවාට සැක නැහැ. මින් වසර 15 කට පමණ පෙර ලොව පුරා උන්මාදයක් බවට පත්වූ ‘ටයිටැනික්’ චිත්‍රපටයේ එන ජැක් - රෝස් ආදර කතාව නව මුහුණුවරකින් නැවතත් ප්‍රේක්‍ෂක සිත්හී ජීවමාන කිරීමට එහි අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් මේ දිනවල ලක ලෑස්තිවන බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා.

    මෙවර ‘ටයිටැනික්’ චිත්‍රපටය නිර්මාණය වන්නේ ත්‍රිමාණ රූප තාක්‍ෂණය යොදා ගනිමින්. තිරගතවූ චිත්‍රපටයක් ත්‍රිමාණ තාක්‍ෂණයට පරිවර්තනයවී ප්‍රතිනිර්මාණය වන පළමු අවස්ථාව මෙය වෙයි.

    ලබන වසරේ එනම් 2012 අප්‍රේල් මස 14 දිනට ටයිටැනික් නෞකාව මුහුදු බත් වී වසර 100 සපිරෙන අතර එම මතකය යළි සිහි ගැන්වීම පිණිස ‘ටයිටැනික් IIචිත්‍රපටය 2012 අප්‍රේල් 06 දින ලොව පුරා ප්‍රදර්ශනය කිරීම අධ්‍යක්‍ෂවරයාගේ අරමුණයි.

    ”ටයිටැනික් ඛේදවාචකය කාගෙත් සිත්හී සදාකාලිකව පවතින සිදුවීමක්. ‘ටයිටැනික්’ චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමෙන් ජැක් - රෝස්ගේ ආදර කතාවද අමරණීයත්වයට පත් කිරීමට මට හැකි වේවි.” ඒ අධ්‍යක්‍ෂවරයාගේ අදහසයි.

    1912 අප්‍රේල් මාසයේ 10 දින සිය කුලුදුල් චාරිකාව ඇරැඹූ ටයිටැනික් නෞකාව හතරවන දිනයේ නොසිතු ලෙස අයිස් කන්දක හැපී විනාශ විය. එයට රෝස් නම් වූ ප්‍රභූ පැලැන්තියේ තරුණියක හා සාමාන්‍ය පන්තියේ තරුණයකු වන ජැක් අතර ඇති වන ආදර සබඳතාවයක් ද එක් කරගනිමින් ජේම්ස් කැමරන් 1997 දි නිර්මාණය කළ ‘ටයිටැනික්’ චිත්‍රපටය වාණිජමය වශයෙන් ඉතාම සාර්ථක වුණා.

    ”ඇත්තටම ටයිටැනික් II නරඹන කෙනෙක් චිත්‍රපටයක් නරඹනවා යන හැඟීමට වඩා ඔහු හෝ ඇය එම සිදුවීම් මාලාව තුළම ඉන්නවා යන හැඟීම මෙම ත්‍රිමාණ රූප හරහා ප්‍රේක්‍ෂකයාට දැනේවි. එයින් ටයිටැනික් නෞකාව මෙන්ම ජැක්-රෝස් ද ඔවුන්ගේ හදවත් තුළ අමරණීය වේවි.”

    මිලියන 200 ක වියදමින් නිර්මාණය වුණු ‘ටයිටැනික්’ චිත්‍රපටය ඔස්කාර් සම්මාන ඉතිහාසයේ ඇකඩමි සම්මාන 11 කට හිමිකම් කියූ චිත්‍රපට තුන අතරට එකතු වුණා.

    ජැක් සහ රෝස්ගේ චරිතයට පණ දුන් හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියො සහා කේට් වින්ස්ලට් සුපිරි තරු බවට පත් වුණේ ‘ටයිටැනික්’ චිත්‍රපටයෙන්. ඔවුන් වසර ගණනාවක් තිස්සේ රසික රසිකාවියන්ගේ හදවත් තුළ සිහින කුමරා සහ කුමරිය ලෙස අභිෂේක ලැබූ අතර බොහෝ කාලයක් යන තුරුම ඒ තැන පැහැර ගැනීමට කිසිම තරුවකට හැකියාව ලැබුණේ නැහැ.

    වසර ගණනාවකට පසු ලියනාඩෝ සහ කේට් ගේ රංගනය ඔවුන්ගෙන් ගිලිහි යමින් තිබෙන කිරුළ යළි ඔවුන්ට ළඟා කර ගැනීමට හැකි වේවිදෝ යන්න මුළු හොලිවුඩ් පුරයම විමසිල්ලෙන් බලා සිටී. එහෙත් “ටයිටැනික්II”චිත්‍රපටය පිළිබඳ කේට් සහ ලියනාඩෝ තවමත් මුනිවත රැකීමද බොහෝ දෙනෙකුගේ කුකුසට ලක්වන කරුණක් වී ඇත.

    ’ටයිටැනික්II”චිත්‍රපටය ප්‍රතිනිර්මාණය වන්නේ සුප්‍රකට ‘පැරමවුන්ට්’ චිත්‍රාගාරයේදීය. බෙදාහැරීම ‘ටුවන්ටියත් සෙන්චරි ෆොක්ස්’ ආයතනයයි. 2012 වසර පැරමවුන්ට් චිත්‍රාගාරයට ද සුවිශේෂී වසරකි. ඒ ඔවුන් ගේ ආයතනයට වසර 100 සපිරෙන නිසාවෙනි.

    ඩිජිටල් තාක්‍ෂණය උපයෝගි කරගනිමින් ත්‍රිමාණ තාක්‍ෂණයෙන් ප්‍රතිනිර්මාණය වන ‘ටයිටැනික් II’චිත්‍රපටය සැබවින්ම ප්‍රේක්‍ෂක සිත් පැහැර ගැනීමට හැකි වේවී ද? එය සම්භාව්‍ය සිනමා කෘතියක් වනු නිසැක බව අධ්‍යක්‍ෂකවරයාගේ බලාපොරොත්තුවයි. රෝස් - ජැක් ආදර අන්දරය නැවත ප්‍රේක්‍ෂක සිත් පැහැර ගනීවිද? සියලු දෙනාම බලාපොරොත්තු සහගතව පසු වෙති.