ලංකාවේ සංගීතය ගැන කසුන්ගෙන් චෝදනාවක්
ලංකාවේ සංගීතය ගැන කසුන්ගෙන් චෝදනාවක්
සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම නවකයන්ගෙන්ද එකලෙස පැසසුම් ලබන නව පරපුරේ සංගීතඥයන් නම් කළහොත්, එම ලැයිස්තුවේ මුල්තැන හිමිකරගන්නෙකි කසුන් කල්හාර ජයවර්ධන. “හරිත නිම්නයේ”, “රැඩිකල් ප්‍රේමය”, “රොමැන්ටික් ඔපෙරා” යන ගීත ඇල්බම ත්රිත්වයෙහි ඇතුළත් ගීතද ඇතුළුව ගායකයකු ලෙස සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස විවිධත්වයකින් යුතු ගීත ගොන්නක්ම තිළිණකොට ඇති කසුන් මේ වන විට ලාංකේය සංගීත ක්ෂේත්රය තුළ තමන්ගේම සලකුණක් තැබිමට සමත්වී සිටී. කසුන්, සංගීත ක්ෂේත්රය පිළිබඳව විවෘත ලෙස අදහස් පළකරන්නෙකු ලෙසද ප්රකටය. පහත දැක්වෙන්නේ කසුන් සිය විවෘත අදහස් “මාධ්‍ය කවුළුව“ ට එක්කළ අයුරුය.
ඔබ අවසන් වරට එළිදැක්වූ ගීත ඇල්බමය වන “රොමැන්ටික් ඔපෙරා” හි ඇතුළත් “රොමැන්ටික් ඔපෙරා” ගීතය එම ඇල්බමයේ අනෙකුත් ගීතවලට වඩා වෙනස් බව දකින්නට ලැබෙනවා. එම ගීතය ලංකාවේ රසිකයන් වැළඳගත්තේ කොයි ආකාරයටද?
අපි එළිදක්වන කිසිදු නිර්මාණයක් ලංකාවේ ජීවත් වන සෑම පරාසයකම රසිකයන්ගේ බුද්ධියට ගෝචරවන්නේ නැහැ. නමුත් වෙස්ටර්න් ක්ලැසිකල් ෙශෙලිය සමග ජීවත් වන, එම ෙශෙලිය ගැන ආකර්ෂණයක් තිබෙන අයගෙන් ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ හැරෙන්නට ඒ ෙශෙලිය ගැන කිසිදු හුරුවක් නැති අයත් එහි වෙනසක් ඇති බවක් දැකලා ඒ ගැන අවධානය යොමුකළ බවක් පෙනෙන්නට තිබුණා.
ලංකාවේ ගීත රසිකයන්ගේ රසවින්දනය විවිධාකාරයි. ඔබ ඔබේ නිර්මාණවලින් ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කරන්නේ ඒ අතරින් කෙබඳු රසිකත්වයක් ඇති පිරිසක්ද?
ලංකාවේ එක පිරිසක් ඉන්නවා කිසිදු ආකාරයකින් අපේ සංගීතය රස විඳින්න බැරි. ගැටලුව තමයි ඔවුන්ට තියෙනවා ලොකු “බිසී” එකක්. ආර්ථික ගැටලු ආදියෙන් ඇතිවන පීඩනය නිසා ඒ අයට වෙනත් දෙයක් සඳහා යෙදෙන්න කාලයක් නැහැ. ඒ නිසා මාසෙකට වරක්, දෙවරක් එළිමහන් ප්‍රසංගයකට සහභාගිවෙලා දහජරා සංගීතය අහනවා හැරෙන්න හොඳ සංගීතය රස විඳින්නට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. පරණ කතාවකුත් කියනවනේ “කලාව තියෙන්නේ ප්රබුද්ධ රදළ පන්තිය උදෙසායි කියලා.” ඒවගේ ඉහළ මධ්‍යම පාන්තික පිරිසක් ඉන්නවා එවැනි නිර්මාණ රසවිඳින. නමුත් මම කලින් සඳහන් කළ අයට අපේ සංගීතය ගෝචර කරන්න අමාරුයි. ඒ නිසා ඒ අය ගැන මම දැන්ම කල්පනා කරන්නේ නැහැ. නමුත් අපේ රටේ පිරිසක් ඉන්නවා හොඳ සංගීතය ගැන උනන්දුවක් ඇති, අන්තර්ජාලයෙන් පවා ඒ සංගීතය ගැන සොයාබලන. ඒ වගේ අය ඉලක්ක කරගෙනයි මම මේ දවස්වල නිර්මාණ කරන්නේ.
ඔබට හැඟෙන පරිදි ලෝක සංගීතය හා සසඳනවිට අපේ සංගීතය ඇත්තේ කෙබඳු තැනකද?
ලෝකයේ සංගීතය සමග සසඳද්දී අපේ සංගීතය තිබෙන්නේ අන්තිම පහළ මට්ටමකයි. මොකද සංගීතය ගැන හොඳ දැනුමක් ඇති පිරිස ඉතාම අතළොස්සයි ලංකාවේ ඉන්නේ. කලාකාරයෝ කියලා හඳුන්වන්න පුළුවන් පිරිස ලංකාවෙ ප්‍රමාණාත්මකව අඩුයි. එකම ශ්‍රාවක පිරිසක් වටා මුල්බැහැගෙන ඉන්න පිරිසක් මිස කලාවට ආදරය කරන පිරිසක් නැහැ. අපි වටේ ඉන්න අය ගත්තත් බහුතරයක් ඉන්නේ, සංගීතය ගැන හරිහැටි තේරුමක් නැති, “ආර්ට්ස්” කියලා බොරු කරන උදවියයි.
ඔබේ තක්සේරුවට අනුව අද අප රටේ සිටින දක්ෂ ගායකයින් කවුද?
මට මං ගැන හොඳ තක්සේරුවක් තියනවා. කොහොමටත් මම හොඳයි. මම හැරෙන්න ලංකාවේ ඉන්න දක්ෂ ගායකයො නම්කළහොත් ඒ අතරින් කෙනෙක් තමයි නදීක ජයවර්ධන. ඒ වගේම නදීක ගුරුගේ හොඳ ගායකයෙක් වගේම හොඳ සංගීතඥයෙක්. නව පරපුරේ බොහොම අතළොස්සයි හොඳ ගායකයො ඉන්නේ. පැරණි පරම්පරාව ගත්තොත් සුනිල් එදිරිසිංහ මහත්මයා, හොඳ ගායකයෙක්. වික්ටර් රත්නායක මහත්මයාටත් තවමත් හොඳට ගායනා කරන්න පුළුවන්. ඒ හැරෙන්න නැසීගිය මර්වින් පෙරේරා මහත්තයාත් දක්ෂ ගායකයෙන් විදියට නම් කරන්න පුළුවන්. ඒ වගේම ඔහුගේ පුතා අමල් පෙරේරාටත් හොඳ දක්ෂතාවක් තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංවාදයකදී ඔබ ප්‍රකාශ කළා අපේ රටේ දක්ෂ ගායිකාවන් නොමැති බව. ඔබ තවමත් සිටින්නේ එම ස්ථාවරයේමද?
ලංකාවේ ගායිකාවෝ ගැන මට ලොකු කලකිරීමක් තියෙනවා. “හාර්මොනයිසින්” කියන දේ කරන්න පුළුවන් ගායිකාවො ලංකාවේ ඉන්නේ බොහොම අතළොස්සයි. ඒ දේ පුළුල් හැදෑරීමක් මතයි කළ යුත්තේ. ලංකාවේ ගායකයො ගත්තොත් වැඩි ප්‍රසිද්ධියක් නැති, සමාජ ශාලාවල ගීත ගයන අය අතරෙත් ඔය කියන ප්‍රමිතියට ගායනා කළ හැකි ගායකයෝ ඉන්නවා. නමුත් ගායිකාවෝ ඉතා අඩුයි. වෙන රටවලනම් පල්ලියේ මංගල්‍යවලට සහභාගිවෙලා ගීතිකා ගායනා කරලා එම ෙශෙලින් දියුණු කරගන්න අවස්ථා තිබෙනවා. ඒත් අපේ රටේ එහෙම දකින්නට නැහැ. තිබුණත් ඒ අඩුවෙනුයි. මගේ ප්‍රසංගවලදී වුණත් බොහෝ දෙනා මගෙන් අසන්නේ කවුද මේකට ගන්න ගායිකාව කියලා. ඒවගේ දක්ෂ අය තනි වශයෙන් සිටියත් ප්‍රසිද්ධ නම් අතරේ නැහැ.
වර්තමානයේ බහුලව පැවැත්වෙන රියැලිටි තරගවලින් බිහිවන නවක ගායක ගායිකාවන් ගැන ඔබේ අදහස කුමක්ද?
මම ඒ අය ගැන ලොකුවට දන්නේ නැහැ. නමුත් මම දැකපු විදියට ඔය තරගවලින් එහාට මෙහාට වුණු අය මිස මම කලින් සඳහන් කළ අන්දමේ ධාරිතාවක් ඇති අය ඒ අය අතරේ ඉන්නවා කියලා පේන්න නැහැ. මම මේ හැමදේටම නැහැ නැහැ කියලා ක්‍රෝධයෙන් කතා කරනවා නමෛයි. එහෙම කියන්නේ ඒ ඇත්තටම ලංකාවේ එවැනි අය නැති නිසයි. හොඳට ගීත ගායනා කරන්න, කොම්පෝස් කරන්න පුළුවන් හොඳ ඔළු තියන අය ලංකාවෙ ඉන්නෙ ටික දෙනයි.
ඔබේ මව සහ පියා යන දෙදෙනාම ප්‍රවීණ සංගීතඥයන්. (ප්‍රවීණ ගායිකා මාලනී බුලත්සිංහල මහත්මිය සහ ප්‍රවීණ සංගීත අධ්යක්ෂ එච්.එම්. ජයවර්ධන මහතා) යම් හෙයකින් ඔබේ මව නොව පියා ගායන ශිල්පියකු වූවානම් ඔබ ඔහුගේ ගීත ගායනා කරනවාද?
මම එලෙස ගායනා කරන්නේ නැහැ. අපේ අම්මලා ගායනා කළේ ඒ කාලෙ තිබුණු සරල ගීතයි. නමුත් මගේ කැමැත්ත ඒක නොවෙයි. ඒ නිසා මට අලුත් නිර්මාණයක් බිහිකරනවා මිස ඒ ගීත ගායනාකරන එකක් නැහැ.
මේ වනවිට ඔබ මෙරට තරුණ පරපුරේ පරමාදර්ශී සංගීතඥයෙක් බවට පත්වෙලා. මේ නිසාම බොහෝ නවක ගායන ශිල්පීන් ඔබව අනුකරණය කරන බවක් දක්නට ලැබෙනවා. එබඳු අය ගැන ඔබට ඇතිවන හැඟීම මොනවගේද?
අනුකරණයෙහි වැරැද්දක් නැහැ. නමුත් අනුකරණයක් කරනවිට 100ක්ම හරි හැටි අනුකරණය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා සැබෑ ලෙසට කළ යුත්තේ 100ක්ම අනුකරණය සඳහා නොයෙදී පුහුණුව සඳහා පමණක් ඒ අනුකරණයේ යෙදිලා තමන්ට ආවේණික ෙශෙලියක් ගොඩනගා ගැනීමයි. මම කළේ එවැනි දෙයක්. ඒ නිසයි මගේ නිර්මාණ අපේ රටේ මිනිස්සු වැළඳගත්තේ. ඉතින් මට වඩා හොඳ වෙන්නනම් ඒ අනුකරණය කරන අය මට වඩා වෙනසක් කළ යුතුයි. නමුත් ඒක කරන අය දෙස බලද්දී අමු අමුවේම අනුකරණය සඳහා යොමුවීමක් මිස වෙනසක් කරන අය ඇති බවක් දකින්නට නැහැ.
සංගීත නිර්මාණ කටයුතුවලදී ඔබ විශාල මුදලක් අයකරන බව ඇතැමුන් චෝදනා කරනවා. මෙය සත්‍යයක්ද?
හැම තිස්සේම එහෙම නැහැ. ඇතැම් අවස්ථාවල මට පාඩුවන අවස්ථා තිබෙනවා. ගණන් අඩුකරන්න කියලා සංවිධායකයා කියන අවස්ථාවල අඩුකරන අවස්ථා තිබෙනවා. ඒ වගේම හිතවත්කමට කරන දේවලුත් තිබෙනවා. කොහොම වුණත් මම ප්‍රසංග ගොඩක් බාරගන්නේ නැහැ.
හොඳ සංගීතය ගැන උවමනාවක් ඇති අය මගේ නියමිත මිලත් ගෙවනවානම් මම ඒ සඳහා සහභාගි වෙනවා. ඒ වගේම සෑම ප්‍රසංගයටම සහභාගිවෙමින් හැම වෙලාවෙම හැම තැනම පෙනී නොඉඳ ගෞරවණීය විදියටයි මම ඒවට සහභාගි වෙන්නේ. තනු නිර්මාණය සඳහාත් ඔය කතාව අදාළයි. මට වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම හෑල්ලුවට ලක්කරන්න මම කැමැති නැහැ.
-2012-01-31 අඟහරුවාදා ලක්බිම පුවත්පතෙන්-