විශේෂයෙන්ම පසුගිය වසර 10 තුල ලංකාවේ තරුණ පරපුර තුල මත්පැන් භාවිතය වැඩිවුනා. තරුණ පරපුර මත්පැන් ගැනීමට හේතු විය හැකි කරුණු කිහිපයක් තිබෙනවා.
අත්හදා බැලීමට
මිතුරන්ගේ බලපෑම
මත්පැන් මගින් ඇති කර තිබෙන ප්‍රතිරූපය
පවුලේ ආකල්ප
මත්පැන් සුලබ වීම හා පහසුවෙන් මිලදී ගත හැකි වීම
මත්පැන් ප්‍රචාරණය
මෙවැනි කරුණු නිසා ආරම්භ වන මත්පැන් භාවිතය පසුකාලීනව ඇබ්බැහිවීමක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා. මේ නිසා විය හැකි හානිය ඇති විශාලයි
ඇත්තටම අරක්කු නිසා හානියක් වෙනවද?
ඔව්. අරක්කු භාවිතා කිරීම හේතුවෙන් ඇතිවන සංකුලතා නිසා සිදු වන මරණ සංඛ්‍යාව සහ සිගරට් භාවිතය හේතුවෙන් ඇතිවන සංකුලතා නිසා සිදු වන මරණ සංඛ්‍යාව එකතු කලොත් ඒ සංඛ්‍යාව වසරකට 40,000ක් පමණ වෙනවා. එය අපේ රටේ වසරකට සිදුවන මාර්ග අනතුරු, වෙනත් හදිසි අනතුරු, ප්රචණ්ඩ ක්‍රියා සහ සියදිවි හානි කරගැනීම නිසා සිදුවන මරණ සංඛ්‍යාවේ එකතුවට වඩා වැඩියි. 2004 සිදුවූ සුනාමි ව්‍යසනයේදී මිය ගිය සංඛ්‍යාව වාර්තා වුනේ 40,000ක් විදියටයි. ඒ අනුව බැලුවොත් සිගරට් සහ අරක්කු නිසා සෑම වසරකම අපේ රටේ සුනාමි ව්‍යසනයට සමාන ව්‍යසනයක් සිද්ධ වෙනවා.
එයට අමතරව තවත් සුළු හා බරපතල කායික රෝග ගණනාවක් ඇති වෙන්න හැකියාව තිබෙනවා. ඒවා නිධන්ගත රෝග හෝ හදිසි රෝගාබාධ විය හැකියි. ඒ වගේම ඒ නිසා වන හානිය යථා තත්වයට පත් වීමට හෝ නොවීමට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අරක්කු නිසා මානසික රෝග වැළඳීමේ අවදානමක් ඇති වෙනවා. ඒ අතරින් විශාදය (Depression), සිය දිවි නසා ගැනීම(Suicides), මනෝභාවයේ වෙනස්කම් (Mood disorders) , අමතක වීම(Amnesia) , ඩිමෙන්ෂියා රෝගය (Dementia) ආදිය ප්‍රධාන වෙනවා. ඒ වගේම මත්වීම (Intoxication) සහ ඇබ්බැහිවීම (Addiction) මත්පැන් නිසා ඇති විය හැකි තවත් ගැටළු දෙකක්.
දිගින් දිගටම මත්පැන් පානය කරන පුද්ගලයෙක්ගේ ඵලදායිත්වය එසේ නොවන කෙනෙක්ගේ ඵලදායිතාවයට වඩා අඩු බව සොයාගෙන තිබෙනවා. නීතිමය වශයෙන් ගත්තොත් ස්ව කැමැත්තෙන් මත් වූ පුද්ගලයෙක් කරන වරදක් එසේ නොවන කෙනෙක් විසින් කරන ලද වරදක් විදියටයි සලකන්නේ. නමුත් බලෙන් මත් කරන ලද පුද්ගලයෙක් විසින් කරන ලද වරදක් වරදක් විදියට සැලකෙන්නේ නෑ. ඒ වගේම මත්පැන් පානය කොට රිය පැදවීම තහනම් කොට තිබෙනවා.
වඩා වැදගත් කරුණක් තමයි එවැනි පුද්ගලයෙක්ගේ පවුලට වන හානිය පිලිබඳ සලකා බැලීම. ශ්‍රී ලංකාවේ මත්පැන්, දුප්පත්කම සහ දරුවන්ගේ අධ්‍යාපනය අඩපන වීම අතර සමීප සම්බන්ධයක් තිබෙනවා. පියා මත්පැන් පානය කරන පවුල් වල දරුවන් තමන්ගේ උපරිම දක්ෂතා පෙන්නුම් කරන්නේ නැති බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම අඩු ආදායම් ලබන පවුල් වලින් වැඩි ප්‍රමාණයක ස්වාමියා දිනපතා මත්පැන් පානය කරනවා.
මේ පුද්ගලයන් මත්පැන් ගන්නා ආකාරය අනුව ඔවුන්ට වන හානිය වෙනස් වෙනවා. මත්වීම සඳහා මත්පැන් පානය කරන පුද්ගලයෙක්ගේ ශරීරයේ මත්පැන් වල බලපෑම නැති වන විට ඔහු යථා තත්වයට පත් වෙනවා. නමුත් ඇබ්බැහි වුන පුද්ගලයෙක් මත්පැන් නොගැනීම නිසා ඔහුගේ ජීවිතය පවා විනාශ විය හැකියි. මෙලෙස මත්පැන් සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් තිබෙනවා.
මේ පුද්ගලයන් මත්පැන් ගන්නා ආකාරය අනුව ඔවුන්ට වන හානිය වෙනස් වෙනවා. මත්වීම සඳහා මත්පැන් පානය කරන පුද්ගලයෙක්ගේ ශරීරයේ මත්පැන් වල බලපෑම නැති වන විට ඔහු යථා තත්වයට පත් වෙනවා. නමුත් ඇබ්බැහි වුන පුද්ගලයෙක් මත්පැන් නොගැනීම නිසා ඔහුගේ ජීවිතය පවා විනාශ විය හැකියි. මෙලෙස මත්පැන් සඳහා ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ දක්නට ලැබෙන ලක්ෂණ කිහිපයක් තිබෙනවා.
*මත්පැන් ගැනීමේ දැඩි ආශාව
*මත්පැන් ගැනීම අඩු කිරීමට හෝ නැවත්වීමට අපහසු වීම.
*එලෙස අඩු කිරීම හෝ නැවත්වීම නිසා විරමණ ලක්ෂණ (withdrawal symptoms) ඇති වීම.
*මත්පැන් ශරීරයට දරාගැනීමේ හැකියාව වැඩි වීම.
*ජීවිතයේ එකම සතුට මත්පැන් බව සිතීම.
*මත්පැන් පානය හානිකර බව දැන දැනම මත්පැන් පානය කිරීම.
මේ ලක්ෂණ හයෙන් තුනක් පසුගිය වසර තුල දක්නට ලැබුණු පුද්ගලයෙක් මත්පැන් වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් විදියට සලකනවා.
විරමණ ලක්ෂණ (withdrawal symptoms) කියන්නේ මොනවද?
ක්ලමථය (Anxiety)
කලබලකාරී බව
විශාදය (Depression)
වෙහෙසට පත්වීම (Fatigue)
පැහැදිලිව සිතීමට අපහසු වීම (Difficulty with thinking clearly)
නපුරු සිහින පෙනීම (Bad dreams)
හිසරදය (Headache - general, pulsating)
අත්ලට සහ මුහුණේ දහදිය දැමීම.
ඔක්කාරය සහ වමනය (Nausea and Vomiting)
කෑම රුචිය අඩු වීම (Loss of appetite)
නින්ද අඩු වීම හෝ නින්ද නොයාම (Insomnia, sleeping difficulty)
සුදුමැලි වීම (Paleness)
හෘද ස්පන්දනය වේගවත් වීම (Rapid heart rate - palpitations)
කනීනිකාව විශාල වීම (enlarged, dilated pupils)
අසාමාන්‍ය චලනයන් දැක්වීම (Abnormal movements)
අත් වෙවිලීම (Tremor of the hands)
අසාමාන්‍ය රූප පෙනීම සහ ව්‍යාකුල ස්වභාවය (delirium tremens)
කලබලකාරී බව (Agitation)
උණ ගැනීම (Fever)
අපස්මාර තත්වයන් ඇතිවීම (Convulsions)
යම් කාලසීමාවක් තුල සිදු වූ සියල්ල අමතක වීම ("Black outs" - when the person forgets what happened during the drinking episode)
මත්පැන් පානය නවත්වන ලද හෝ මත්පැන් ගැනීමට අවස්ථාව නොලැබුන පුද්ගලයෙක් මෙවැනි ලක්ෂණ පෙන්වන්නේ නම් වඩාත් සුදුසු වන්නේ හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමයි. එයට හේතුව මෙවැනි පුද්ගලයන්ගේ ජීවිතයට පවා මෙයින් හානි සිදු වීමේ අවධානමක් ඇති වීමයි.
පිරිමි අයෙකු සඳහා - සතියට උපරිම ඒකක 21 දක්වා පානය කිරීම හානිකර වන්නේ නෑ. නමුත් එක දිනකදී ලබා ගන්නා ඒකක ප්‍රමාණය 3-4 ඉක්මවා යාම සුදුසු නැහැ. ඒ වගේම සතියට දින දෙකක්වත් මත්පැන් පානය නොකර සිටිය යුතුයි.
කාන්තාවක් සඳහා - සතියට උපරිම ඒකක 14 දක්වා පානය කිරීම හානිකර වන්නේ නෑ. නමුත් එක දිනකදී ලබා ගන්නා ඒකක ප්‍රමාණය 3 ඉක්මවා යාම සුදුසු නැහැ. ඒ වගේම සතියට දින දෙකක්වත් මත්පැන් පානය නොකර සිටිය යුතුයි.
ගැබිණි මව් වරුන් සඳහා - ගැබිණි මව් වරුන් හා ගර්භනී භාවය බලාපොරොත්තු වන කාන්තවන් මත්පැන් ගැනීමෙන් වැළකිය යුතුයි.
(මෙම සංඛ්‍යාව ගණනය කොට තිබෙන්නේ පිරිමි අය කිලෝග්‍රෑම් 60 ඉක්මවූ හා කාන්තාවන් කිලෝග්‍රෑම් 50 ඉක්මවූ අය ලෙස උපකල්පනය කිරීමෙන්. ඒ නිසා තමන්ගේ බර ඊට වඩා අඩුයි නම් මේ ප්‍රමාණ අඩු විය යුතු වෙනවා.)
නමුත් මීට පෙර මත්පැන් සඳහා ඇබ්බැහි වී සිටි අය, හෙපටයිටිස් C වැනි රෝග වලින් පෙළුණු අය සහ මීට පෙර මත්පැන් ආශ්රිත ආබාධයන්ට ලක් වූ අයට "ඥානවන්ත මත්පැන් පානය" (Sensible drinking) අනුමත කරන්නේ නෑ. ඔවුන් මත්පැන් පානය නැවත්වීම අත්‍යවශ්‍ය වෙනවා.
මත්පැන් පානය සීමා කිරීම හරි නැවත්වීම හරි වෙන කෙනෙකුට කරන්න බැහැ. එහි වගකීම තියෙන්නේ තමන්ට. ඒ නිසා මුලින්ම මට මත්පැන් පානය නවත්වන්න අවශ්‍යද? කියලා හිතලා බලන්න වෙනවා. ඒ සඳහා මේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා බලන්න.
මත්පැන් භාවිතය නැවත්වීමට ඔබ කෙදිනක හෝ සිතා තිබේද? (ඔව්/නැහැ)
අන් අය විසින් ඔබගේ මත්පැන් පානය හෙලා දැක හෝ ඒ පිලිබඳ අප්‍රසාදය පල කොට තිබේද? (ඔව්/නැහැ)
ඔබගේ මත්පැන් පානය වැරදි දෙයක් ලෙස ඔබට සිතී තිබේද? (ඔව්/නැහැ)
කෙදිනක හෝ දවසේ පළමු කටයුත්ත ලෙස ඔබ මත්පැන් පානය කොට තිබේද? (ඔව්/නැහැ)
මේවයින් එකකට හෝ ඔබ ඔව් යයි පිළිතුරු දී ඇත්නම් මත්පැන් පානය නැවත්වීමට හෝ අඩු කිරීමට ඔබට හොඳ හේතුවක් තිබෙනවා. නමුත් ඔබ 4 වන ප්‍රශ්නයට ඔව් යනුවෙන් පිළිතුරු ලබා දුන්නා නම් අනිවාර්යයෙන්ම මත්පැන් පානය නැවැත්විය යුතුයි.
ඔබට මත්පැන් පානය කිරීම නැවත්වීමට අවශ්‍යනම් පුංචි ඉඟි කිහිපයක් දෙන්නම්.
මත්පැන් වැඩිපුර භාවිතා වන ස්ථාන (මගුල් ගෙවල්, අවමගුල් උත්සව, විවිධ උත්සව ආදී...) වලට යාම හැකිතාක් අඩු කරන්න.
එවැනි ස්ථාන වලට යන්නේ නම් පවුලේ කෙනෙක් (බිරිඳ, දරුවන්) සමග යන්න. එවිට ඔබට මත්පැන් ගැනීමේ අවස්ථාව අඩු වේ.
මත්පැන් පානය සඳහා ඇරයුමක් ලැබුනොත් සුහදව ප්‍රතික්ෂේප කරන්න. ඇතැම් විට "රිය පැදවීමට තිබෙන නිසා" වැනි හේතුවක් ප්‍රමාණවත් විය හැකියි.
වෙනදා මත්පැන් ගැනීමට වැය කරන කාලය වෙනත් දෙයක් (දරුවන්ට පාඩම් කියා දීම, ආගමික වැඩක නිරත වීම) සඳහා යොදාගන්න.
ඒත් අපහසුනම් සුදුසුකම් ලත් මනෝවෛද්‍ය වරයෙක්, සායනික මනෝවිද්යාඥවරයෙක්, මනෝ චිකිත්සකවරයෙක් එහෙමත් නැත්නම් උපදේශකවරයෙක් හමුවෙලා සහය ලබා ගන්න පුළුවන්.
උපුටා ගත්තේ ප්‍රදීප්ගේ පිටුව බ්ලොග් අඩවියනි

කන සාක්කුවේ දාගත්තමද ?