ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපට මාලාවෙන් ඔබේ හද ඇද බැඳ තබා ගත් හොලිවුඩයේ අති දක්ෂ නළුවකු වූ පෝල් වෝකර් මහතා ඊයේ සවස 3.30 ට පමණ දරුණු රිය අනතුරකට මුහුණ පෑම හේතුවෙන් අවසන් ගමන් ගියේ ය.
අවුරුදු 40ක් වයසැති පෝල් වෝකර් මහතා නීති විරෝධී මෝටර් රථ ධාවන තරඟ පිලිබඳ සෑදුනු චිත්‍රපට මාලාවක් වන ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් හි චිත්‍රපට 6න් 5කම රඟ පා තිබේ. (ටෝකියෝ ඩ්‍රිෆ්ට් හැර) ඔහුගේ රංගන කෞශල්‍යය පිලිබඳ අටුවා ටීකා අවශ්‍ය නැත.
ඊයේ සවස 3.30ට පමණ අසරණ සරණ පුණ්‍ය කටයුත්තකට සහභාගී වීමෙන් අනතුරු ව තම මිතුරකුගේ මෝටර් රථයෙන් නැවත පැමිණෙමින් සිටි පෝල් මහතා හදිසි අනතුරකට මුහුණ පෑමෙන් එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇත. මේ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශිකාව වන ඇමි වෑන් අයිඩන් මහත්මිය තහවුරු කර ඇත.
ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තු ෂෙරිෆ් වරයා කළ ප්‍රකාශයකට අනුව ඔවුන්ට ඊයේ සවස 3.30ට පමණ සැන්ට ක්ලැරිටා නගරයේ වැලෙන්සියා හි දෙදෙනකුට මරු කැඳවූ රිය අනතුරක් සිදු වූ බව දැන ගන්නට ලැබී ඇත. පොලිස් නිලධාරින් පැමිණෙන විටත් මුළු මෝටර් රථයම එකම ගිනි ජාලාවක් ලෙස තිබුණු බව එතුමා මාධ්‍යයට ප්‍රකාශ කළේ ය.
ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපට මාලාවේ පෝල් පණ දුන්නේ පොලිස් නිලධාරියකුගේ චරිතයකට ය. 2001 දී තම ප්‍රථම ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපටයේ රඟ පෑ ඔහු අවසන් වරට 2013 මැයි මස තිරගත වුණු ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 6 වන චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟ පෑවේ ය. එපමණක් නොව ඔහු මිය යන්නට පෙර ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 7 වන චිත්‍රපටයේ රඟ පෑම සඳහා යුනිවර්සල් ස්ටුඩියෝස් සමාගම සමඟ ගිවිසුමකට එලඹී සිටි බව ආරංචි මාර්ග වලට අනුව දැන ගන්නට ලැබී ඇත.
1973 කැලිෆෝනියාවේ ග්ලෙන්ඩල් හි උපත ලද පෝල් වෝකර් තම තරුණ වියේ දී ම වෙළඳ දැන්වීම් වල පෙනී සිටිමින් රංගන දිවියට පිළිපන් අයෙකි. වෝකර් විවාහක වන අතර ඔහුට දාව මිඩෝ වෝකර් නම් දුවණියක් ද සිටින්නී ය.
ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් හි පෝල් සමඟ රඟ පෑ අනෙක් ප්‍රධාන නළුවා vin diesel පෝල්ගේ මරණයෙන් කම්පනය වී ට්විටර් හි තම හද පතුලෙන් නැග ආ ශෝකය මෙසේ සටහන් කොට ඇත.
"සහෝදරයා! ඔබ මට කිසි දිනෙක අමතක නොවන්නේ ය!" ඉන්ස්ටග්‍රෑම් හි "දෙව් ලොවට තවත් දෙව් දූතයෙක් ලැබුණා! මට කියන්න වචන නෑ සහෝදරයා! ඔබ අමරණීයයි!"
දෛවය යනු පුදුමාකාර දෙයකි. රෙඩ් අයි පික්චර්ස්ට හැඟෙන අයුරින් පෝල් ඉතා ආදරයෙන් රඟපෑ චිත්‍ර පටයට පාදක වූ ප්‍රධාන අංගය වන මෝටර් රථ ම ඔහුගේ මාරයා බවට පත් වීම දෛවයේ සරදමක් විය හැක. පෝල් වෝකර්ට තම මතු දිවියක වත් මෙවන් අකල් මරණයක් නොවේවා යැයි ප්‍රාර්ථනය කරමි.
තව දුරටත් ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපට වල ඒ කෙළිලොල් පොලිස් නිලධාරියා/මෝටර් රථ ධාවකයා ගේ චරිතය ඔබටත් මටත් දකින්නට නොලැබෙනු ඇති.
Last edited:

