මම මේ ගීතය රස වින්දෙමි. එහි ගායනය මනරම් ය. ගායිකාවගේ හඬ හැඟීම්වලින් පරිපූර්ණ ය. ඇගේ ගැයුම කරුණ, ශෘංගාර, විප්රලම්බ රසයන් කුළුගන්වයි. කාලයේ ජනප්‍රිය ලක්ෂණ මත පිහිටා ඇති විද්‍යුත් සංගීතය සරළ ය. අලංකාර අඩු ය. ඒ සරළකම තුළ සුන්දරත්වයක් ද නැතැයි කියන්නට බැරි ය. එහෙත්, බෙර හඬ උවමනාවට වැඩියෙන් ඝෝෂාකාරී ය.
ගීයේ පද පෙළ ද අද රැල්ලේ ලක්ෂණවලින් යුක්ත ය. වස්සානය, හාදු, දේදුන්න, සමනල්ලු, රත්තරං වැනි සුලබ භාවිතාව නිසා රස ගෙවී ගිය වදන් බහුල ය. එහෙත්, ගීතයේ සමස්ත වදන් පෙළගැස්ම බොළඳ ප්‍රේමයේ චමත්කාරය මතු කරයි. පෙම්වතිය ඈතින් සිටින පෙම්වතාට තමන්ට ළං වන්නට, ආදරය කරන්නට, තමන් හා එක් වන්නට ආරාධනා කරයි. '
'ඔබේ ඇස් අස්සේ - මං මාව දැක්කේ' වැනි යෙදුමක කිසියම් අපූර්වත්වයක් තිබේ. 'සමනල්ලු පස්සේ - දුව පැනපු කාලේ - දැන් මට දෙන්න නුඹ මගෙම වී' යි කියන්නේ ළමා විය බඳු වූ සැහැල්ලු සුන්දර ජීවිතයක් බලාපොරොත්තුවෙන් ය. එහෙත් විවාහයෙන් එවැන්නක් ලැබේ ද? බොළඳ ප්‍රේමය පියමං කරමින් ගැඹුරු ආදරයක් වෙත ජීවිතය පරිණාමය විය යුතු ය. නැතිනම් 'වැට කඩුළු අස්සේ - මල් පිපුණු බිස්සේ' ම ආදරයේ උණුසුම සැංගී යයි.
විවාහ ජීවිතය ආදරයෙන් හා ජීවන රසයෙන් තොර කාලකන්නිකමක් බවට පත් වේ.
අපි බොළඳ පෙම් ගීවල රසයෙන් මත් වෙමු. එහි වරදක් නැත. එහෙත්, දේදුනු, සමනල් රූපක පියමං කරමින් ජීවිතය පිළිබඳ අපේ ඥානය පුළුල් කරන නිර්මාන අපට අවශ්‍ය ය.