"හතර දෙනාම සූරයෝ"යෙන් හමු වූ විජය හා ජෝති
විජය මිය ගොස් වසර 28 කි. ජෝති මිය ගොස් වසර 29 කි. එපමණ කාලයක් ගත වුව ද මෙම කලාකරුවන් දෙදෙනා තවමත් ලාංකේය කලා කාමී හදවත්වල අමරණීයව ජීවත්වෙති.
ජෝතිත් විජයත් සමරන මේ මොහොතේ ඔවුන් දෙදෙනා පිළිබඳව මතකය අවදි කිරීමට චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයකු අධ්‍යක්ෂවරයකු වන පද්මසිරි කොඩිකාර මහතාට අපි ඇරයුම් කළෙමු. ඒ; මෙම කලාකරුවන් දෙදෙනා ඉතා ළඟින් ඇසුරු කිරීමේ භාග්‍ය පද්මසිරි කොඩිකාර ලැබූ නිසා ය. මෙහි සටහන්වන්නේ පද්මසිරි කොඩිකාර මහතා අප සමඟ පැවසූ විජයත් ජෝතිත් පිළිබඳ සුන්දර මතකයන් ය.
“විජය කුමාරතුංගයන් මට මුලින් ම හමුවුණේ 1971 වසරේදී; ඒ මම සමුද්‍රා චිත්‍රපට සමාගමේ වැඩවලට සම්බන්ධ වෙලා සිටි කාලයේ දී. ඒ දවස්වල ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටය සමුද්‍රා චිත්‍රපට සමාගම නිෂ්පාදනය කළා.
මගෙ ගම නිල්පනාගොඩ. විජයගෙ අම්මගෙ ගම මැඩෑමුල්ල. විජයගෙ තාත්ත සීදූවෙ. මැඩෑමුල්ල කියන්නෙ නිල්පනාගොඩට අල්ලපු ගම. හැබැයි අල්ලපු ගමේ කියල 1971 ට ඉස්සර විජයත් මමත් අතරේ දැන හැඳුනුම්කමක් තිබුණේ නෑ.
1971 දී විජය හඳුනා ගත්තට පසුව ඔහු මිය යනතෙක් ම අපි ඉතාම කිට්ටුවන්තයින්ව සිටියා. සිනමාවේදී පමණක් නෙමෙයි ඔහුගේ දේශපාලන කටයුතුවලදීත් පෞද්ගලික ජීවිතයේ යම් යම් අවස්ථාවලත් මම විජයගේ ළඟින් ම සිටි චරිතයක් වුණා. විජය ඇසුරු කරන්නට ලැබීම මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක් ලෙස සලකනවා.
විජය කුමාරතුංග කියන්නේ ඉතාම උතුම් මිනිස් ගතිගුණ තිබුණු පුද්ගලයෙක්. අද සමාජයේ අප ඇසුරු කරන මිනිසුන් දෙස බලන විට විජය තුළ තිබූ උතුම් ගතිගුණ අසලටවත් ළංවෙන්න බොහෝ දෙනෙකුට හැකියාව නෑ.
ඒ උතුම් මනුස්ස ගතිගුණ විජයට උපතින් ම ලැබුණු ඒවා. තම පවුලේ උදවියට, සිනමා ක්ෂේත්‍රයේ සහෝදර ශිල්පීන්ට පමණක් නෙමෙයි ඔහුට සමාජයේදී හමුවන සෑම පුද්ගලයකුට ම වාගේ ඔහු දයාව කරුණාව පෑවා. ඒකට උදාහරණ ඕනෑ තරම් දෙන්න පුළුවනි. විජය මිය යන්න මාස කීපයකට ඉස්සර ඔහුගේ අතේ මුදල් නැති නිසා ඔහු බැංකුවෙන් ණයක් ගත්තා. ඒ දේශපාලන වැඩවලට වියදම් කරන්න.
එහෙම ඉන්න විට දවසක් විජය ගෙ සහෝදර කලා ශිල්පියෙක් විජය හමුවෙන්න ඇවිත් චෙක් එකක් දීලා සල්ලි අරගෙන ගියා. මම ඒ සිදුවීම දැක්කා. ඒ හිතවත් සිනමා ශිල්පියා ගියාට පසුව විජය ඒ ශිල්පියා දුන්නු චෙක් එක ඉරල කුණු කූ®ඩෙට දැම්මා. මම විජයගෙන් ඇහුවා ඇයි එහෙම කළේ කියලා. එතකොට විජය කිව්ව මම ඒ චෙක් එක ඉරල දැම්මේ ඒකෙ සල්ලි නැති නිසයි කියලා. ඒ ශිල්පියා මාස කීපයකට සැරයක් ඒ විදියට චෙක් එකක් ගෙනත් දීල සල්ලි අරගෙන යවනලු.
නමුත් ඒ චෙක් වල සල්ලි නැතිකම විජයත් දන්නවලු. ඒ දැන දැනත් ඒ පුද්ගලයාට සල්ලි දුන්නේ ඔහු ගැන අනුකම්පා කරලයි. මෙයින් පේනවා විජය නැති බැරි අය කෙරෙහි කෙතරම් අනුකම්පා කළා ද කියන එක. විජය වගේ ම තමයි ජෝතිත්. ඔහුත් හරියට හිත උණු වෙන මිනිසුන්ට ගොඩක් ආදරය කළ කලාකරුවෙක්. සරමක් ඉල්ලගෙන ජෝති ළඟට ආව මනුස්සයෙකුට තමන් ඇඳගෙන සිටි සරම ගලවල දුන්නු එක කලා ක්ෂේත්‍රයම දන්න සිදුවීමක්.
ඒක සිදුවෙන වෙලාවෙ ජෝති ළඟ හිටියෙ මම. මම දවසක් ජෝති හම්බවෙන්න මාලිගාවත්තෙ මහල් නිවාසවල තිබෙන ජෝතිගෙ ගෙදරට ගියා. එහෙම යන කොට ජෝති හිටියෙ තුවායක් ඇඳගෙන. මම ඇහුව “ඇයි ජෝති මේ තුවායක් ඇඳගෙන කියල. එතකොට ජෝති කිව්ව “වයසක සීය කෙනෙක් ඇවිත් සරමක් ඉල්ලුවා. ඒ වෙලාවෙ වෙනත් සරමක් ගේ හරියෙ නොතිබුණු නිසා මම ඇඳගෙන හිටිය සරම ඒ මනුස්සයට දුන්න” කියල. අන්න ඒ වගේ මිනිස්සුන්ට පුදුම විදියට ආදරය කළ පුද්ගලයින් දෙදෙනෙක් තමයි විජයත් ජෝතිත්.
ජෝතිට රට පුරාම රසික රසිකාවියො සිටිය වගේ ම රටපුරාම යාළුවො සිටියා. ඒ තරම් යාළුවො පිරිසක් හිටිය කෙනෙක් ගැන මම කියන්න දන්නෙ නෑ. ඈත ගමක සංගීත සංදර්ශනයට ආරාධනාවක් ලැබුණම ඒ ආරාධනය කළ පුද්ගලයා ජෝතිගෙ යාළුවෙක් වෙනවා. ඊළඟ අවුරුද්දේ ජෝති සින්දු කියන්න ඒ ගමට යන්නේ අර යාළුවගෙ ඉල්ලීමට. ජෝතිත් විජයත් අතර තිබුණු තවත් විශේෂ ගතිගුණයක් තමයි ඔවුන් සතුව තිබුණු මතක ශක්තිය. ජෝතිට තමන්ගේ ගීත ඉස්පිල්ලක් පාපිල්ලක්
වරද්දන්නේ නැතිව වසර 10 කට 15 කට පසුව වුණත් ගායනා කිරීමේ හැකියාව ජෝතිට තිබුණා. ජෝති ගැයූ බොහොමයක් ගීත ජෝතිට සිදුවූ සිදුවීම් ඇසුරෙන් ලියවුණු ගීත. කොපමණ කලක් ගියත් ඒ ගීතය රචනා කිරීමට හේතු වුණු කාරණාව පිළිබඳව හොඳ මතකයක් ජෝතිට තිබුණා. විජයගෙ මතකයත් ඒ වගේමයි. විජයට අවුරුදු කීපයකට ඉස්සර වෙලා මුණ ගැහිලා වචනයක් හෝ කතා කළ පුද්ගලයකු ගැන වුණත් පුදුම මතකයක් විජයට තිබුණා. ඒ වගේ ම විජය තමන්ට අතදුන් පුද්ගලයින්ව කිසිදා අමතක නොකළ කෙනෙක්.
මම නිෂ්පාදනය කළ “සූරයන් අතර වීරයා”, “යුගයෙන් යුගයට” කියන චිත්‍රපට දෙකේම විජය රඟපෑවා. චිත්‍රපටයක රූපගත කිරීම් කරනවිට විජයට ඕන ඒවා උපරිම හොඳින් කරන්න. ඒකට ඔහුගේ උපරිම සහයෝගය ලබාදෙනවා. මගේ ‘සූරයන් අතර වීරයා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රෝයි ද සිල්වා. මෙහි එක දර්ශනයක් තියෙනවා ප්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ සහ ක්ලීටස් මෙන්ඩිස් රඟපාන. මේ දර්ශනය රූපගත කරන හැටි විජය බලාගෙන සිටියා.
එහි පළමු දර්ශනය අධ්‍යක්ෂවරයා OK කළා. නමුත් විජය පැත්තක ඉඳල කිව්ව “නැහැ රෝයි ඒ ෂොට් එක ආපසු ගමු, මේ ගොල්ල ඒක හොඳට කරනව“ කියල. ඒක විජයට අයිති කාර්යයක් නෙමෙයි. නමුත් විජයට ඕනෑ කළේ වැඩේ හොඳට කෙරෙන්නයි. ඒක අහපු රෝයි නැවත ඒ දර්ශනය ගත්තා. කිව්ව වගේ ම දෙවැනි ෂොට් එක ඉතාම ලස්සනට ආවා. විජයත් චිත්‍රපට කීපයක් ම නිෂ්පාදනය කළා. ඒ චිත්‍රපට හදන අවස්ථාවල මමත් විජය සමඟ සිටියා. ඔහු ඔහුගේ චිත්‍රපට හදන විට දක්වන උනන්දුවට වඩා උනන්දුවක් මගේ චිත්‍රපට හදද්දී දැක්වූවා. මගේ චිත්‍රපට වලට ඔහු විශාල දායකත්වයක් ලබාදුන්නා.
විජය සතුව තිබුණු තවත් උතුම් ගති ලක්ෂණයක් තමයි තම මවට බිරිඳට සහ දරුවන්ට දැක්වූ අසීමිත ආදරය. අපි හැමදෙනාම තමන්ගෙ අම්මලට ගොඩක් ආදරෙයි. නමුත් අපි අපේ අම්මලට දක්වන ආදරයත් විජය තමන්ගෙ අම්මට දක්වපු ආදරයත් අතරේ විශාල වෙනසක් තියෙනව කියල මම හිතනව. ඒකට හොඳ උදාහරණයක් මට මතකයි. ඒ මින්නේරියේ අතුරු මැතිවරණය පැවැති කාලය. විජයත් මමත් ඡන්ද වැඩවල යෙදිල හිටියා. එදා අපි හිටියෙ හිඟුරක්ගොඩ. එදා රෑ මට විජය කතා කරල කිව්ව කොළඹ ගිහිං එමුද කියල. හා කියල මම විජයත් එක්ක කොළඹ එන්න පිටත් වුණා.
හිගුරක්ගොඩින් පිටත්වන විටත් රෑ 10 යි. ඔහු මේ රෑ යන්නෙ අම්මව බලන්න. ඡන්ද වැඩ නිසා අපි දෙන්නටම හරිම වෙහෙසයි; නිදි මතයි. දෙන්න මාරුවෙන් මාරුවට වාහනය එළවගෙන කොළඹ තලකොටුවෙ ගෙදරට ආවා. එතකොට පාන්දර ජාමෙ. අපි එතකොට අම්මා හොඳටම නිදි. ගෙදර බලාගන්න අය ඇවිත් දොර හැරියට පස්සෙ විජය කෙලින් ම ගියේ අම්මගෙ කාමරේට. එතකොට අම්මාව බලාගන්න ගෑනු කෙනා ඇහුව “මහත්තයා ලොකු නෝනට කතා කරන්නද” කියල.
විජය එතකොට කිව්ව “එපා; අම්මව නින්දෙන් ඇහැරවන්න එපා” කියල. ඊට පසුව විජය නෙට් එක අස්සෙන් අම්ම දිහා බලාගෙන ටික වෙලාවක් හිටියා. පසුව “යමු කොඩිකාර” කියල මට කිව්ව. අපි ආපහු හිඟුරක්ගොඩ ගියා. විජය හිගුරක්ගොඩ ඉඳල මහ රෑම කොළඹ ආවේ අම්මව බලල යන්න. තම මවට දක්වන එවැනි ආදරයත් මම වෙනත් දරුවකු තුළ දැකල නැහැ. අපිට හිතන්නවත් බැරි මව් සෙනෙහසක් විජයට තම මව කෙරෙහි තිබුණා.
ඒ වගේ ම තමයි විජය තම දරුවන්ට සහ බිරිඳ වන චන්ද්‍රිකා මැඩම්ට දක්වපු ආදරය. විජයගෙ නිවෙසේ රියදුරන් දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් චන්ද්‍රිකා මැඩම්ගේ වාහනයට. අනෙක් රියදුරා විජයගෙ වාහනයට. ඒ කවුරු සිටියත් දරුවන් දෙන්නව පාසල් ගෙනියන්නේ විජය. දරුවන්ගේ පාසල්වලට ගිහිල්ල විජය සෑම විටම උත්සාහ කළේ අනික් දෙමව්පියන් වගේ ම සාමාන්‍ය තාත්ත කෙනෙක් වෙන්න. දුව පාසල් ගියේ මියුසියස් විද්‍යාලයට.
ඒ ලංකාවේ යුද්ධය තදින් ම පැවතුණු කාලය. පාසල් වලත් බෝම්බ බිය තිබුණු කාලය. ඒ දවස්වල පාසලේ දරුවන්ගෙ මවුපියන් දින බෙදාගෙන තම දරුවන්ගේ ආරක්ෂාවට සෝදිසි කිරීම්වල යෙදෙනව. එදා දුව වෙනුවෙන් විජය පාසල ළඟ සෝදිසි කිරීම්වලට යන්න ඕන දවස.
ඔහු ගියේ මාත් එක්ක. එතැනට ගිහිං අනෙක් තාත්තල වගේ ම විජයත් සෝදිසි කිරීම්වල යෙදුණා. එතැනදී වුණේ මහ සෙනඟ පිරිසක් එතැනට රැස්වීමයි. මහා වාහන තදබදයක් පාසල ඉදිරිපිට ඇතිවීමයි. ඒ විජය බලන්න. ඒ වෙලාවෙ විදුහල්පති තුමිය ඇවිත් කිව්ව මිස්ටර් විජය ඔයා මෙතන ඉන්න එපා. ඔයා යන්න කියල. ඊට පස්සෙ විජය ගෙදර ආවා. එයින් විජය පෙන්නුම් කළේ තම දරුවන්ගේ වැඩ කටයුතු වලට තමන් උපරිමයෙන් දායක වෙන බවයි.
විජය මියගොස් වසර 28 ක් ගත වෙලත් විජයට අපේ සමාජයේ මිනිසුන් තවමත් හරිම ආදරෙයි. ඒ විජය තුළ තිබුණු උතුම් මිනිස් ගතිගුණ සමාජයට හොඳින් දැනුණු නිසා. ඔහු පිට පිටම පස්වතාවක් සිනමාවේ ජනප්‍රියම නළුවා බවට පත් වුණේ ජනතාව ඔහුට ආදරය කළ නිසා; ඔහු ජනතාවට ආදරය කළ නිසා.
ජෝති ගැනත් කියන්න තියෙන්නේ මේ දේමයි. දැන් ඔහු මියගොස් වසර 29 ක් ගතවෙලා. නමුත් ලංකාවේ සෑම ගුවන් විදුලි නාලිකාවකම දිනකට වැඩිපුරම ප්‍රචාරය වෙන්නේ ජෝතිගේ ගීත. ජෝති තවමත් අපේ රටේ මිනිසුන්ගේ හදවත් තුළ ජීවත්වෙනවා. නමුත් මේ උතුම් දක්ෂ කලාකරුවන් වූ මනුෂ්‍යයින් දෙදෙනාම ඔවුන් ජීවත්ව සිටියදී නිසි ඇගයීමකට ලක් වුණා ද කියන එකයි ගැටලුව.