GOTපසුබිම​

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පදනම් වූ රෝස යුද්ධ - පසුබිම​
    mCciH3u.jpg

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාව ඇතැම් විට ඔබ නරඹලා ඇති. ඇතැම් විට නරඹලා නැති වුණත් ඒ ගැන අසා ඇති. සමහර විට එම පොත් මාලාව කියවා ඇති. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවට පදනම වූයේ ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින් විසින් ලියන ලද එම පොත් මාලාව යි.

    15 සියවසෙහි එංගලන්තයේ සිහසුන සම්බන්ධව සිදු වූ "රෝස යුද්ධ" නම් සටන් මාලාවක් ඇසුරින් මාර්ටින් එම පොත් මාලාව සඳහා මූලික සංකල්පය ගොඩ නගාගත් බව සඳහන් වනවා. මෙහිදී ප්‍රධාන පවුල් දෙකක් සහ ඊට සම්බන්ධ විවිධ පිරිස් එංගලන්තයේ රජකම අරභයා සටන් වැදුණා. මේ විස්තර කිරීමට සූදානම් වන්නේ එම යුද්ධ සඳහා පසුබිම් වූ සිද්ධීන් පිළිබඳව යි.

    රෝස යුද්ධවලට සම්බන්ධ වූ පවුල් දෙක වන යෝර්ක් සහ ලැන්කැස්ටර් පවුල් සිය සංකේත ලෙස භාවිතා කළේ පිළිවෙලින් සුදු රෝසමල සහ රතු රෝසමල යි. මේ හේතුවෙන් රෝස යුද්ධවලට එම නම ලැබී තිබෙනවා.


    N8g2U6T.png

    යෝර්ක් සහ ලැන්කැස්ටර් පවුල්වල සලකුණු (Wikimedia Commons)

    සිහසුනට උරුමකරුවෝ
    රෝස යුද්ධ සිදු වුණේ 15 වන සියවසේ වුණත් ඊට අවශ්‍ය මූලික පසුබිම සකස් වුණේ 14 වන සියවසේ දි තුන්වන එඩ්වර්ඩ් රජුගේ පාලන සමයේ දි යි. තුන්වන එඩ්වර්ඩ් රජු එංගලන්තයේ රජකම් කළ ශ්‍රේෂ්ටතම රජෙකු ලෙස ඉතිහාසගත වනවා. ඔහුගේ පුතුන් පස් දෙනකු වැඩිමහල් විය දක්වා ජීවත් වුණා. එඩ්වර්ඩ් මේ පස් දෙනා වෙනුවෙන් ආදිපාද ප්‍රදේශ පහක් නිර්මාණය කළා. මේ අනුව රටේ ප්‍රධාන ඉඩම් හිමි පවුල් පහක් ගොඩනැගුණා. නමුත් මෙයින් සිදු වූ කරුණ නම් රජකමට උරුමකම් තිබෙන සහ ඒ සඳහා සටන් කිරීමට හැකියාව තිබෙන පවුල් කිහිපයක්ම රටේ නිර්මාණය වීම යි.

    cdPST0j.jpg

    තුන්වන එඩ්වර්ඩ් රජු (Wikimedia Commons)

    මෙම පුත්‍රයින් පස් දෙනා වූයේ:

    එඩ්වර්ඩ් හෙවත් "කළු කුමරුවා" (Edward, the Black Prince) - කිරුළ හිමි කුමාරයා වූ එඩ්වර්ඩ් කෝර්න්වෝල්හි ආදිපාද ලෙස පත් කෙරුණා. ඔහුට "කළු කුමාරයා" යන ආරූඪ නාමය පසුව ලැබුණක් බව යි විශ්වාස කෙරෙන්නේ.

    ලයනල් - ක්ලැරන්ස්හි ආදිපාදවරයා

    ගෝන්ට්හි ජෝන් (John of Gaunt) - ලැන්කැස්ටර්හි ආදිපාදවරයා

    එඩ්මන්ඩ් - යෝර්ක්හි ආදිපාදවරයා

    තෝමස් - ග්ලොස්ටර්හි ආදිපාදවරයා

    මේ අතර​, ප්‍රංශය හා එංගලන්තය ද මීට සමකාලීනව යුද්ධයක පැටලී සිටියා. සියක් අවුරුදු යුද්ධය ලෙස නම් කර ඇති මෙම යුද්ධය 1337 සිට 1453 දක්වා කාලය තුළ සිදු වූ අතර දෙරට අතර යුද්ධ ඇවිලී ගියේ විටින් විට යි. ඔවුන් අවුරුදු 116ම එක දිගට යුධ වැදුණේ නැහැ. නමුත් මෙම සමයෙහි එංගලන්තයේ මෙන්ම ප්‍රංශයේ ද සිංහාසන කෙරෙහි මෙම යුද්ධය බලපෑමක් කළා.

    එඩ්වර්ඩ් හෙවත් කළු කුමරුවා යුධ සෙන්පතියකු ලෙස විශාල​ කීර්තියක් ගොඩ නගාගත් අයකු වුණා. 1376 දී ඔහුගේ පියා මිය යාමට වසරකට පෙර එවකට 46 හැවිරිදි වූ කළු කුමරුවා මිය ගියා. මෙය එංගලන්ත ඉතිහාසය වෙනස් කිරීමට හේතු වූ බව කිව හැකියි.

    1377 දී තුන්වන එඩ්වර්ඩ් මියගිය පසු කළු කුමරුවාගේ පුත්‍රයා දෙවන රිචර්ඩ් ලෙස සිංහාසනාරූඪ වුණා. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 10ක් පමණ යි. රිචර්ඩ්ගේ පාලන සමයේ මුල් කාලය ව්‍යාකූලතා පිරුණු සමයක් වුණා. එක් අතකින් 1381 ගොවි කැරැල්ලත්, රදළයින් අතර බල අරගලත් මීට හේතු වුණා.

    1397 දී ඔහු තමන්ට එරෙහි වූ රදළයින්ගෙන් පළි ගැනීමට වුණා. 1398 දී ගෝන්ට්හි ජෝන් ගේ පුත්‍රයා වූ බොලිංග්බ්‍රොක්හි හෙන්රි පිටුවහල් කරනු ලැබුණා. ගෝන්ට්හි ජෝන් 1399 දී මියගිය පසු රිචර්ඩ් විසින් බොලිංග්බ්‍රොක්ට සිහසුන සඳහා වූ අයිතිය නැති කළා.


    ලැන්කැස්ටර් රජවරු
    මෙහිදී බොලිංග්බ්‍රොක් කළේ කුඩා හමුදාවක් සමග එංගලන්තය ආක්‍රමණය කිරීම යි. මේ වෙද්දී රිචර්ඩ් අයර්ලන්තයේ යුධ ව්‍යාපාරයක නියැලී සිටියා. හෙන්රි බොලිංග්බ්‍රොක් වටා සැලකිය යුතු පිරිසක් එක් වූ අතර ඔහු රජකම පැහැර ගැනීමට සමත් වුණා. ඒ හතරවන හෙන්රි ලෙස යි. රිචර්ඩ් ආපසු පැමිණි පසු හෙන්රි විසින් රිචර්ඩ් අත් අඩංගුවට ගෙන සිරගත කෙරෙන අතර, 1400 පෙබරවාරියේ දී ඔහු මියගියා. රිචර්ඩ්ගේ කිරුළ හිමි කුමරුවා ලෙස නම් කර සිටි එඩ්මන්ඩ් මෝටිමර්ගේ අයිතිය නොසළකා හැරුණා.

    7x8ortF.jpg

    හතරවන හෙන්රි රජු (Public Domain)

    1413 දී හතරවන හෙන්රි මියගිය අතර, ඔහුගේ පුත්‍රයා පස්වන හෙන්රි ලෙස සිංහාසනාරූඪ වුණා. ඔහු ප්‍රංශය සමග යුද්ධය අලුත් කිරීමට කටයුතු කළා. 1415 දී ඇජින්කෝර් සටන ජයගත් ඔහු ඊළඟ වසර කිහිපය තුළ ප්‍රංශයේ සැලකිය යුතු ප්‍රදේශයක් යටත් කරගත්තා. 1420 දී ප්‍රංශය සමග ටුවා ගිවිසුම (Treaty of Tours) අත්සන් කළ හෙන්රි, ප්‍රංශයේ කැතරින් කුමරිය විවාහ කරගත්තා. හෙන්රිගේ සහ කැතරින්ගේ ළමුන්ට ප්‍රංශ රජු වූ හයවන චාර්ල්ස් හෙවත් "උමතු චාර්ල්ස්" මියගිය පසු එරට සිහසුන අයත් වන ලෙස යි ගිවිසුම අත්සන් කෙරුණේ.

    diIOTxO.jpg

    පස්වන හෙන්රි රජු (Public Domain)

    1422 දී පස්වන හෙන්රි මෙන්ම හයවන චාර්ල්ස් ද මියගියා. ඒ අනුව ඒ වෙද්දි අවුරුද්දක්වත් වයස නොවූ ඔහුගේ පුත්‍රයා හයවන හෙන්රි ලෙස එංගලන්තයේ රාජ්‍යත්වයට පත් වූ අතර ප්‍රංශයේ ද රජු ලෙස නම් කෙරුණා. ප්‍රංශයේ ඔහු වෙනුවෙන් රාජ්‍යත්වයෙහි වැඩ බැලුවේ පස්වන හෙන්රිගේ සහෝදරයකු වූ බෙඩ්ෆර්ඩ්හි ජෝන් විසින්. මේ අතර පස්වන හෙන්රිගේ බාලම සහෝදරයා වූ ග්ලොස්ටර්හි හම් ප්‍රි එංගලන්තයේ රාජ්‍යත්වය පිළිබඳ වැඩ බැළුවා.

    හයවන හෙන්රිගේ අවනතිය​
    මේ අතර ප්‍රංශයේ හයවන චාර්ල්ස්ගේ පුත්‍රයා එරට රජකමට අයිතිවාසිකම් කීමට වුණා. ජෝන් බෙඩ්ෆර්ඩ් අදක්ෂ හමුදා නායකයකු නොවුණත්, විශේෂයෙන්ම ආර්ක් හි ජෝන් (Joan of Arc) නම් තරුණියගේ ආගමනයත් සමග ප්‍රංශ සටන්කාමීත්වය ඉස්මතු වුණා. ඉංග්‍රීසි සේනා පසුබස්වන්නට වූ අතර 1429 දී චාර්ල්ස් කුමාරයා හත්වන චාර්ල්ස් ලෙස රෙම් (Reims) නගරයේ දී සිංහාසනාරූඪ වුණා.

    හයවන හෙන්රි තනිව රාජ්‍ය පාලනය සඳහා සුදුසුයැ යි ප්‍රකාශ වුණේ 1437 දී යි. ඒ වන විට ජෝන් බෙඩ්ෆර්ඩ් මියගොස් සිටියා. මේ අතර ප්‍රංශයෙහි ඉංග්‍රීසීන් කෙමෙන් පසු බසිමින් සිටි අතර ආර්ථික අපහසුතා හේතුවෙන් ද ඉංග්‍රීසීන් පීඩනයට පත් වුණා. රජු දුර්වල පාලකයකු වූ අතර ඔහුට සමීප රදළයින් ඔහුට බලපෑම් කළා.

    මේ වනවිට ඉංග්‍රීසි රදළයින් අතර සාමයට පක්ෂ සහ යුද්ධය දිගටම පවත්වාගෙන යාමට පක්ෂ කඳවුරු දෙකක් ඇති වුණා. සාම කඳවුරෙහි ප්‍රධාන නායකයින් වුණේ සමර්සෙට් හි ආදිපාද එඩ්මන්ඩ් (Edmund of Somerset) සහ සෆක්හි අර්ල්වරයා වූ විලියම් ඩෙ ලා පෝල් (William de la Pole, Earl of Suffolk) යන අය යි. ඔවුන් විසින් පසෙකට තල්ලු කළ යුධ කඳවුරේ නායකයින් වූයේ හයවන හෙන්රි වෙනුවෙන් රාජ්‍යත්වයෙහි වැඩ බැළූ ග්ලොස්ටර්හි හම්ප්‍රි සහ යෝර්ක්හි ආදිපාද රිචර්ඩ් යන දෙදෙනා යි. රිචර්ඩ් යනු තුන්වන එඩ්වර්ඩ් පුත්‍රයකු වූ එඩ්මන්ඩ්ගේ මුණුබුරකු වුණා.


    ZcuKCCc.jpg

    හයවන හෙන්රි රජු (Public Domain)

    මේ අනුව ප්‍රංශය සහ එංගලන්තය අතර සාම ගිවිසුමක් යළිත් ටුවාහි දී 1444 වසරේ අත්සන් කෙරුණා. මේ අනුව මේන් සහ අන්ජූ ප්‍රදේශ ප්‍රංශයට පවරා දීමට එංගලන්තය එකඟ වුණා. හයවන රිචර්ඩ් රජු ප්‍රංශයේ හත්වන චාර්ල්ස්ගේ ලේලියක වූ අන්ජූහි මාග්‍රට් විවාහ කරගැනීමට ද එකඟ වුණා. 1445 දී මෙම විවාහය සිදු කෙරුණා.

    එංගලන්තය තුළ මෙම විවාහය මෙන්ම සාම කොන්දේසි පිළිබඳව ද වූයේ දැඩි අප්‍රසාදයක්. ඊට විරුද්ධ වූ ග්ලොස්ටර් 1447 දී සිර කෙරුණා. කෙටි කලකින් ඔහු මියගියා. ප්‍රංශයේ ඉංග්‍රීසි සේනා භාරව සිටි යෝර්ක්ව අයර්ලන්තය වෙත යවනු ලැබුණා. කෙසේ නමුත්, සෆක් වෙත මතු වූ දැඩි විරෝධය හමුවේ ඔහුව තනතුරෙන් ඉවත් කරනු ලැබුණ​ අතර පසුව​ ඔහු ඝාතනයට ලක් වුණා.​ මේ අතර 1450 දී නැවත ප්‍රංශය හා යුද්ධය අළුත් වූ නමුත් කෙටි කලකින්ම ඉංග්‍රීසීන්ට කැලේ වරාය හැර උතුරුදිග ප්‍රංශයේ සියළුම පාලන ප්‍රදේශ අහිමි වුණා.


    g5w7Mup.jpg

    යෝර්ක් හි රිචර්ඩ් (Public Domain)

    මේ වෙද්දී රජතුමාව පාලනය කළේ සමර්සෙට් සහ රැජිණ විසින්. නමුත් රාජාණ්ඩුව සිටියේ බරපතල ලෙස දුර්වල වූ සහ අප්‍රසාදයට පත් වූ තැනක යි. ප්‍රංශයේදී ඉඩම් අහිමි වූ ඉංග්‍රීසි රදළයින් රජු කෙරෙහි අප්‍රසාදයෙන් පසු වුණා. තව ද​, පසුගිය සියවසේ පිහිටවන ලද ආදිපාද ප්‍රදේශ සිය බලය වැඩි කරගෙන තිබුණා. මේ අදිපාදවරුන්ට රජුට වඩා විශාල පිරිස් සිටියා. මේ වෙද්දී ඒවා පාලනය කළේ තුන්වන එඩ්වර්ඩ් රජුගේ මුණුබුරන් හෝ ඔහුගෙන් පැවතෙන අන් අය විසින්. ඔවුන් රජුගෙන් තනතුරු, ඉඩකඩම්, සහ අනෙකුත් වරප්‍රසාද ලබාගැනීමට තම බලය භාවිතා කළා.

    රාජාණ්ඩුවේ දුර්වලත්වය දුටු යෝර්ක්හි රිචර්ඩ් 1452 දී එංගලන්තයට පැමිණියා. ඔහුගේ හමුදාවට විවිධ පිරිස් එක් වූ අතර සමර්සෙට්ව අත් අඩංගුවට ගන්නා ලෙස උද්ඝෝෂණ එල්ල වුණා. නමුත් රැජිණගේ පාර්ශවය තවමත් ප්‍රබල තත්ත්වයක සිටියා. 1453 දී ප්‍රංශයේ බෝර්ඩෝ ප්‍රදේශය ඉංග්‍රීසීන්ට අහිමි වූ පසු මේ තත්ත්වය වෙනස් වුණා. රජු මානසික රෝගී තත්ත්වයකට පත් වූ අතර ඒ සමගම ඔහු සතු දේශපාලන බලය කඩා වැටුණා.


    උතුරුදිග ආරවුලෙන් යුද්ධය කරා
    මේ අතර මධ්‍යම රජයේ දුර්වලත්වය ප්‍රයෝජනයට ගත් උතුරුදිග එංගලන්තයේ නෙවිල් සහ පර්සි යන පවුල් දෙක​, තම තමන් අතර වූ පුද්ගලික කෝන්තරයක් පිරිමසාගැනීම සඳහා ආරවුලක පැටළුණා. පර්සි පවුලට සමර්සෙට් සහය දුන් අතර නෙවිල් පවුල යෝර්ක් හා එක් වුණා. මේ අතර යෝර්ක්හි රිචර්ඩ් සිය බලය ඉහළ නංවා ගත්තෙන් රාජකීය​ ආරක්ෂකයා (Royal Protector) ලෙස පත් වීමට ඔහුට හැකි වුණා. සමර්සෙට් අත් අඩංගුවට ගනු ලැබුණා.

    1455 දී හෙන්රි රජුගේ මානසික ව්‍යාධි තත්ත්වය පහව ගියා. මේ අවස්ථාවේදී රැජිණ යළිත් සිය බලපෑමට යටත් කරගත් අතර යෝර්ක්හි රිචර්ඩ්ව පිටුවහල් කරනු ලැබුණා. මේ වතාවේ යෝර්ක්හි රිචර්ඩ් සටන් කිරීමට තීරණය කළා.

    රෝස යුද්ධ සඳහා පසුබිම හැදුණේ මේ ආකාරයෙනුයි. අපි මේ යුද්ධ ගැන වෙනත් ලිපියකින් සලකා බලමු.


    Cover Image: hinckleypastpresent.org

    මූලාශ්‍රයයන්:

    Battle of Towton - Wars of the Roses Documentary (Kings and Generals Youtube Channel)
    Wars of the Roses (history.com)


    FytLzMl.png
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Thanks!! Rep ++

    වෙන සයිට් එකක තියෙන ආටිකල් එකක් කොපි කරලා මේකට දාද්දී ඒ ගත්තු තැනත් සදහන් කරපන්
    උන් මහන්සි වෙලානේ ලියන්නේ
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,406
    11,129
    113
    හඳට කිට්ටුව
    වෙන සයිට් එකක තියෙන ආටිකල් එකක් කොපි කරලා මේකට දාද්දී ඒ ගත්තු තැනත් සදහන් කරපන්
    උන් මහන්සි වෙලානේ ලියන්නේ

    :yes::yes::yes:

    elakiriyeth meeta samana post ekak giyada manda, podiyata nikan mathakai wage.....