ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සිංහල චිත්‍රපට සෑම එකක ම පාහේ දෙබස් කැවීම කෘත්‍රිම ආකාරයෙන් ප්‍රේක්ෂකයාට දැනවෙන ආකාරයට හඬ පරිපාලනය කිරීම සිදුවන්නේ ඇයි? මේ තත්ත්වය මගහරවා ගැනීමට කිසි ම අධ්‍යක්ෂවරයෙකු හට නොසිතෙන්නේ මන්ද? දෙබස් බොහෝ විට කන් පැලෙන තරමට ඝෝෂාකාරී ය. විටෙක දෙබස් වල හඬ උඩින් ඇලවූ ස්ථරයක් ලෙස ස්වභාවිකත්වයෙන් තොරයි. ඊටත් වඩා දරුණු ම කරුණ වන්නේ පසුබිම් ශබ්ධ (Foley) ද ඉතාමත් පැහැදිලි ව ඉහල තීව්‍රතාවකින් මුසු කර තිබීම. උදාහරණයක් වශයෙන් ඇවිදින විට පාවහන් බිම ගැටෙන සියුම් හඬ, පරිසරයේ ගස් කොලන් සෙලවෙන හඬ, නගරයේ වාහන වල ඝෝෂාව, තේ බීමේදී කෝප්පය සහ පීරිසිය ගැටෙන හඬ සහ දුරකතන නාද වන විට ඇසෙන රිංග් ටෝනයේ නාදය ආදිය දෙබස් වල හඬට නොදෙවෙනි මට්ටමෙන් මිශ්‍ර කර තිබීම පෙන්වා දිය හැක. මේවා තීව්‍ර ලෙස ඇසීමට සැලසීමෙන් නිර්මාණයේ ඇති ස්වාභාවිකත්වයට සහමුලින්ම බාධා එල්ල වීම සිදු වන අතර ප්‍රේක්ෂකයා හට මෙහි ව්‍යාජ බව තේරුම් ගෙන එය ආයාසයෙන් හෝ හැකිතාක් නොසලකා හැර නිර්මාණය හා සම්බන්ධ වීමට ප්‍රයත්න දැරීමට සිදු ව තිබේ. මෙය මෙලෙස සිදු නොවන්නේ ටෙළිනාට්‍ය වල පමණි. මන්ද ඒවා බොහෝමයක් තවමත් සෘජුව මයික්‍රෆෝනයකට දර්ශන රූගත කරන අවස්ථාවේ ම පටිගත කරනා බැවින් හා පසුව නැවත හඬ කැවීමක් සිදු නොවන බැවින්. කෙසේ නමුත් ටෙළිනාට්ය තුලද මේ අඩුපාඩුව සිදු වූ අවස්ථා තිබේ. "කූඹියෝ" හි පසුබිමින් ඇසෙන දුම්රිය හඬත්, "සහෝදරයා" හි රාත්‍රී කාලයේ ඇසෙන බල්ලාගේ බිරුමත් මේ කෘත්‍රිම බවට ටෙළි උදාහරණ වේ. මේ දරුණු අඩුපාඩුව මගහරවා ගැනීමට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තවමත් නොසිතීම සහ නොසැලකිලිමත් වීම පුදුම සහගත ය. හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට වල මෙය දක්නට නැත. 2020දී වත් මේ වැරද්ද නිවැරදි වේයැයි සිතමි.
Last edited:

