MΞGAN
ත්‍රාසජනක සහ අද්භූත කතා මාතෘකා රැගත් චිත්‍රපට සැලකීමේ දී ජේසන් බ්ලම් සහ ජේම්ස් වෑන් යනු ඉහළින් ම කතා බහට ලක්වන නිර්මාණකරුවන් දෙදෙනෙක්. බොහෝවිට ජේසම් බ්ලම් නිෂ්පාදනයෙන් එවැනි චිත්‍රපට සඳහා දායක වන අතර, ජේම්ස් වෑන් අධ්‍යක්ෂකවරයෙක් සහ රචකයෙක් ලෙස දායක වෙනවා. ඔවුන් දෙදෙනා ගේ සුසංයෝගයකින් එළිදැක්වෙන නිර්මාණයක් තිබේ නම් එය අවධානයට ලක් වෙන්නේ නිරායාසයෙන්ම යි.” MΞGAN” යනු ජේසන් බ්ලම් සහ ජේම්ස් වෑන් යන දෙදෙනා ම නිෂ්පාදනයෙන් සම්බන්ධ වන විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක කාණ්ඩයේ චිත්‍රපටයක්. “MΞGAN” හි කතාව රචනය කිරීම සඳහා ජේම්ස් වෑන් සහ අකිලා කූපර් එක් ව කටයුතු කර තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෙරාඩ් ජොන්ස්ටන්.
චිත්‍රපටය පාදක වන්නේ “Model 3 Generative Android” හෝ කෙටියෙන් “MΞGAN” ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධිය වටා යි. එය සජීවි බෝනික්කකු පරිද්දෙන් නිර්මාණය කර තිබෙනවා. “MΞGAN” සැලසුම් කර තිබෙන්නේ පවුලක දරුවන් සහ මාපියන්ට ඉතා සමීප සහ දරුවන් රැක බලා ගන්නා තැනැත්තියකු ලෙසට යි. මේ අතර අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් දුෂ්කර කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින ජෙමා නම් රොබෝ විද්‍යාඥවරියට “MΞGAN” කෘත්‍රිම බුද්ධියේ සහාය පැතීමට සිදු වෙනවා.
ඉතින්, ජෙමා බලාපොරොත්තු වන සේවය කෘත්‍රිම බුද්ධියෙන් ලැබේවි ද?
නව තාක්ෂණයත් සමඟ පැමිණිය හැකි අනපේක්ෂිත ගැටලුවක් සාකච්ඡාවට බඳුන් කරන “MΞGAN”, ජනවාරි 06 සහ 13 වශයෙන් අදියර දෙකක් ඔස්සේ ප්‍රදර්ශන කටයුතු ඇරඹීමට නියමිත යි.
roar.media

