පිය රජු දෙවන වර වැදීම (වප් මඟුල් උත්සවය )
ටික කලකට පසු කුඹුරු සී සෑමේ කාලය ලඟා වුණි. මෙය ආරම්භ වන්නේ රජතුමා සහභාගී වන රාජකීය උත්සවයකිනි. එම උත්සවය වප් මඟුල් උත්සවය නමින් හඳුන්වයි. කුමරුට පස් මසක් වන විට වප්මඟුල් උත්සවය සංවිධානය කෙරුණි. කුමාරයාගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා අනෙකුත් කිරිමවුවරුන්ද, සේවිකාවන්ද උත්සවයට සහභාගී වූහ. සේවිකාවන්ද කුමාරයාට හිරුරැස් නොවැටෙන සේ තිර රෙදිවලින් ආවරණය කර උත්සවය බැලීම පිණිස ගියහ.
වටපිට බැලූ සිදුහත් කුමාරයාට දැක ගැනීමට හැකිවූයේ තමන් පමණක් සිටින බවත්, අවට කිසිවෙකුත් නැති බවත්ය. එවිට කුමාරයා සංසාරික පුරුද්දට අනුව තමන් පුරුදු පුහුණු කල ආනාපාන සති භාවනාව වඩන්නට වූහ. ටික වෙලාවක් යද්දී ධ්‍යානයක් උපදවා ගත් කුමාරය අහසේ පලක් බැඳ භාවනා කරන්නට විය.
ටික වෙලාවකින් එහි පැමිණි කිරිමවුවරුන් සහ සේවිකාවන් දුටුවේ අහසේ පලක් බැඳ භාවනා කරන කුමාරයාය. ඔවුන් වහා ගොස් රජතුමාට මේ සිද්ධිය සැළකලෝය. එවිට රජතුමා මහ පිරිවර සමඟින් මේ විශ්මිත දර්ශනය බැලීමට පැමිණියෝය. එහි පැමිණි රජතුමා භාවනා කරන කුමාරයා දැක මේ මාගේ දෙවන වැඳීමයි යනුවෙන් පවසා දෙවෙනි වරටද තම පුතුණුවන් වැන්දේය.