නොමේරූ සිත මේරීම සඳහා උපකාර වන කාරණා කිහිපයක්

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ප්‍රඥාවන්ත කෙනකුට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අසන්නට ලැබුණාම ඔහුගේ හිතේ ශ්‍රද්ධාව උපදිනවා. ඔහුට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ධර්මය තුළින් පෙන්වා දෙන ඉලක්කය සපුරා ගන්න ලොකු ආශාවක් උපදිනවා. නමුත් එය සුළු උත්සාහයකින් සුළු වීර්යකින් සුළු පුණ්‍ය බලයකින් කරන්න බැහැ. විශාල පුණ්‍ය බලයක් ඇතුව, කරදර බාධා මධ්‍යයේ අඛණ්ඩ වීර්යකින් මේ ධර්මය අවබෝධ කිරීම කළ යුතුයි. ඒ සඳහා හොඳින් මෝරපු පටු නැති පළල් හිතක් ඕන. ඒ නිවන් අවබෝධය සඳහා නොමේරූ සිත මේරීම සඳහා උපකාර වන කාරණා කිහිපයක් ගැන ඛුද්දක නිකායේ ‘’මේඝීය සූත්‍රයේ’’ සඳහන් වෙනවා.
    ආනන්ද ස්වාමින්වහන්සේ තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්න කලින් තවත් ස්වාමීන් වහන්සේලා කිහිප නමක් උන්වහන්සේට කලින් කලට උපස්ථාන කළා. මේ දේශනාව කරන දවස්වලදී බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේඝීය කියන ස්වාමින් වහන්සේ.
    ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ‘වාලිකා’ කියන නගරාසන්නයේ තිබුණ කන්දක. එක් දවසක් මේ මේඝීය ස්වාමින් වහන්සේ තථාගතයන් වහන්සේගෙන් අවසර අරගෙන ‘ජන්තු’ කියන ගමට පිණ්ඩපාතයේ වැඩියා. දානයෙන් පසු ඒ ළඟම තිබුණ ‘කිමිකාලා’ කියලා ලස්සන ගංගාවක්. ඒ ගංතීරේ දිගේ ඇවිදගෙන යද්දී දුටුවා ඒ ගඟ අයිනේ අතුපතර විහිදුන හොඳට හෙවන තිබෙන ලස්සන අඹ වනයක්. උන්වහන්සේ කල්පනා කළා ‘මෙතෙන හරි හොඳට මට භාවනා කරන්න පුළුවන්. භාවනා කරන කෙනකුට මේ ස්ථානය ඉතාමත් වටිනවා’ යැයි සිතා මම භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර අරගෙන මෙතැනට එන්න ඕන භාවනා කරන්න සිතා නැවත බුදුරජාණන් වහන්සේ වෙතට වැඩියා.
    ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම අද ජන්තු කියන ගමට පිණ්ඩපාතයේ වැඩම කර ඉවර වෙලා කිමිකාලා කියන නදිය ළඟට ගියා. ඒ නදීතෙර අසලදී මම දැක්කා අඹ වනයක්. ඒ අඹ වනය හරිම ලස්සනයි. ඉතින් ස්වාමිනි, මට සිතුනා මේ වනය හොඳයි භාවනා කරන කෙනකුට. භාග්‍යවතුන් වහන්ස, අවසර දෙනවානම් මම භාවනා කරන්න ඒ අඹ වනයට යන්නම්’ කියලා. එවිට තථාගතයන් වහන්සේ වදාළා ‘පින්වත් මේඝිය, පොඩ්ඩක් ඉන්න. දැන්ම කලබල වන්න එපා.තනියම යෑමට වඩා තව කවුරු හරි භික්ෂූන් වහන්සේ නමක් එන තුරු ඉන්න’ කියලා.
    එවිට මේඝිය ස්වාමින්වහන්සේ කියනවා ‘අනේ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේට නම් දැන් ඉතින් අමුතුවෙන් භාවනාවක් කියලා දෙන්න කරගන්න නැහැ. භාග්‍යවතුන් වහන්සේ සියල්ල සම්පූර්ණ කරගෙනයි වැඩ ඉන්නේ. අනේ මට තාම මේ ධර්ම විනය තුළ බොහෝ කළයුතු දේ තිබෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අවසර දෙනවානම් මම ඒ අඹ වනයට යන්න කැමැතියි. තථාගතයන් වහන්සේ කැමැති වුණේ නැහැ.
    සත්‍යපාරමිතා පුරන ලද බුදුරදුන් යමක් දේශනා කරන්නේ බුදු නුවණින් කරුණු දැනගෙන.මුත් මේඝිය තෙරුන්ට ඒවා නොතේරෙයි . .
    ඔබට කෙලෙස් නසන්න, වීය¸වඩන්න යන්න ඕනෑ කියද්දී මම විරුද්ධ වන එක සුදුසු නැහැ. කැමැති ආකාරයට ගොස් භාවනා කරන්න යැයි බුදුරදුන් මේඝිය තෙරුන්ට අවසර දුන්නා. සතුටට පත් මේඝිය සම්බුදු සිරිපා වැඳ එතනින් පිටත්ව ජන්තු ග්‍රාමයේ කිමිකාලා නදිය අසල රමණීය අඹතුරු මුලට ගොස් වාඩිවී, භාවනා කරන්න පටන් ගත්තේ නිසසල පරිසරයේ ඇති සුන්දරත්වය විඳගෙන,
    බද්ධ පර්යංකයෙන් වාඩිවී ඇස් පියාගෙන භාවනා කිරීමට ආරම්භ කරන විට මේඝිය හාමුදුරුවන්ගේ සිතට කාමවිතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ගලා එන්නට වුණා. ආරම්භ කළ භාවනාවට ඉඩක් ලැබෙන්නේ නැහැ. විවිධ කාම විතර්කයන්ගෙන් හිත කිළිටි වෙන්නට වුණා.
    බුදුරජාණන් වහන්සේගෙන් තෙවරක්ම ඉල්ලා අවසර ගෙන උදාකරගත් අවස්ථාවෙන් කිසිම ඵලක් නැහැ. මේ භාවනාවෙන් කිසි ඵලක් නොවන බව මේඝිය තෙරුන්ට කල්පනා වුණා. මෙම ස්ථානයේ මේඝිය හිමියන් පෙර ආත්ම පන්සියයක් රජකම් කළ කෙනෙක්. ඒ සිතිවිලි විතර්ක නැවත ගලා එන බව මේඝිය තෙරුන්ට අවබෝධයක් නැහැ.වැඩිහිටි වූ පමණින්, නොයෙක් විෂයන් ඉගෙනගත් පමණින් කෙනෙකුගේ සිත නිවන් අවබෝධය පිණිස මෝරන්නේ නැහැ.
    මේඝිය තෙරුන් භාවනාව අතහැර නැවත භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියා. තමන් භාවනාව ආරම්භ කරනවාත් සමඟම සිතට එන කාමවිතර්ක ආදිය පිළිබඳ බුදුරදුන්ට පවසා සිටියා. බුදුරජාණන් වහන්සේ තුන් කල් දක්නා නුවණ ඇති උත්තමයන් වහන්සේ.ඒ නිසා මේඝිය තෙරුන්ට කරුණාවෙන් කරුණු පහදා දුන්නා.
    ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ වදාළා ‘පින්වත් මේඝිය, නිවන් අවබෝධය පිණිස නොමේරූ සිත මේරීම සඳහා උපකාරක ධර්මයන් පහක් හේතු වෙනවා.
    1). නිවන් අවබෝධය පිණිස, නොමේරූ නොදැමුණු සිතකට උපකාර වෙන පළමු උපකාරක ධර්මය නම් කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයයි. -
    දිනක් ආනන්ද හිමි බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා ප්‍රකාශ කළා ‘ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මට හිතෙනවා මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තිබෙන්නේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මත’ කියලා. එවිට තථාගතයන් වහන්සේ වදාළා හා...හා... ආනන්ද එසේ කියන්න එපා. මේ බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්‍යාණ මිත්‍රයා මත. ‘පින්වත් ආනන්ද, කල්‍යාණ මිත්‍ර වූ තථාගත බුදුරජාණන් වහන්සේ ළඟට එන ජනතාව, ඉපදීමෙන්, ජරාවට පත්වීමෙන්, මරණයෙන්, ශෝක, වැළපීම්, දුක් දොම්නස් වලින් නිදහස් වෙනවා’ කියලා.
    2). දෙවැනි උපකාරක ධර්මය සිල්වත්වීම.
    බුදුරජාණන් වහන්සේ වදාළා ඒ ශික්ෂා පද සමාදන්වෙලා, ආචාරගෝචර සම්පන්නව, බොහෝම හොඳට වත් පිළිවෙත්වලින් යුක්ත වෙලා යහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්තව, අංශුමාත්‍ර වරදේ පවා බය දකිමින් වාසය කරන්න ඕන. සිල්වත් වීමට තිබෙන හොඳම දේ තමා අවංකකම. අවංක වන්න උත්සාහ කරන කෙනා සිල්වන්තයෙක් වනවා. මේ ධර්ම මාර්ගයේ දුස්සීල කෙනෙක් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට නිත්‍ය ශීලය ලෙස පනවා වදාළේ පංච ශීලය යි. පොහොය දවසට උපෝසථ අෂ්ඨාංග සීලය තුළ හික්මෙන්න කියා දේශනා කළා.
    3). තුන්වෙනි උපකාරක ධර්මය නිතර දසකතා අසන්නට ලැබීම.
    දසකථා කියන්නේ
    1. අල්පේච්ඡ ජීවිතයේ වටිනාකම ගැන කථා,
    2. ලද දෙයින් සතුටුවීම ගැන කථා,
    3. පිරිසට ඇලී ගැලී නො සිට පිරිසෙන් වෙන් වී සිටීම ගැන කථා,
    4. හුදකලා විවේකයෙන් වාසය කිරීම ගැන කථා,
    5. වීරියෙන් යුතුව ධර්ම මාර්ගය දියුණු කරගැනීම ගැන කථා,
    6. සීලය ගැන කථා,
    7. සමාධිය ගැන කථා,
    8. ප්‍රඥාව ගැන කථා,
    9. විමුක්තිය ගැන කථා,
    10. විමුක්ති ඥාන දර්ශනය ගැන කථා.
    මේ දසකථා නිතරම අහන්න ලැබෙද්දී ඔහු මේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න වෑයම් කරනවා. ආශාවන් අඩුකර ගන්න, ලද දෙයින් සතුටුවන්න, සිල්වත්වන්න, ඉන්ද්‍රිය සංවර කර ගන්න භාවනා කරලා සමාධිය ඇතිකර ගන්න, අකුසල් ප්‍රහාණය කරන්න, කුසල් වඩන්න වීරිය කරනවා.
    4)" හතරවෙනි උපකාරක ධර්මය ආරද්ධ වීරිය
    තමන්ගේ සිත තුළ හටගන්න ක්‍රෝධය, ලෝභය, බද්ධ වෛරය, එකටෙක කිරීම, පළිගැනීම, මසුරුකම, ඊර්ෂ්‍යාව, ගුණමකුකම, කුහකකම, මිත්‍යා දෘෂ්ඨිය, ප්‍රමාදය, සටකපට මායා ආදී අකුසල ධර්ම ප්‍රහාණය කිරීම පිණිස දැඩි වීරියක් ගන්න ඕන. ඒ වගේම මෛත්‍රිය, කරුණාව, සීලය, ඉන්ද්‍රිය සංවරය, සමාධිය, ප්‍රඥාව, සිහිනුවණ ආදී කුසල ධර්ම උපදවා ගැනීම පිණිසත් දැඩි වීර්යක් ගන්න ඕන. කුසල් දහම් දියුණු කරගැනීම සඳහා අත් නො හරින වීර්යකින් කටයුතු කරන්න ඕන. කුසල් දහම් උපදවා ගන්න තිබෙන පහසුම ක්‍රමය නිහතමානි වීම.
    5). පස්වෙනි උපකාරක ධර්මය ප්‍රඥාව.
    ආර්ය වූ අවබෝධයෙන් යුතු කළකිරීම ඇතිකරගෙන මනාකොට දුක් ක්‍ෂය වීම පිණිස පවතින ප්‍රඥාවෙන් යුක්ත වීම. ඒ ප්‍රඥාව තුළින් ඔහු අනිත්‍ය දේ අනිත්‍ය හැටියට තේරුම් ගන්නවා. දුක් දේ දුක් ලෙසත්, අනාත්ම දේ අනාත්ම දේ ලෙසත් බුදුරජාණන් වහන්සේ වදාළා ‘පින්වත් මේඝිය ඔය උපකාරක ධර්මයන් පහ මත පිහිටලා මෙන්න මේ කරුණු හතර දියුණු කරන්න ඕන. ඒ තමා,
    1. රාගය ප්‍රහාණය කිරීම පිණිස අසුභය වැඩීමද,
    2. ද්වේශය ප්‍රහාණය කිරීම පිණිස මෛත්‍රිය වැඩීමද,
    3. විතර්කය සංසිදීම පිණිස ආනාපානසතිය වැඩීමද,
    4. අස්මිමානය ( මමය යන හැගීම ) නැසීම පිණිස අනිත්‍ය සංඥාව වැඩීමද කළ යුතුයි කියා.එවිට අනාත්ම සංඥාව පිහිටන්නේය. අනාත්ම සංඥාවෙන් අස්මිමානය නැතිවී යන්නේය. මේ ආත්මයේදීම නිවන් දකින්න හැකියාව ලැබේ.
    මේ අයුරින් මේඝිය තෙරුන්ට නියම කල්‍යාණ මිත්‍රයෙකු මෙන් බුදුරජාණන් වහන්සේ කරුණු පහදා වදාළහ.
    එනිසා ඔබටත් මේ උතුම් ධර්මයන් තමන්ගේ ජීවිතය තුළ දියුණුකර ගැනීමටත්, උතුම් වූ නිවන් අවබෝධය පිණිසත් භාග්‍යය උදාවේවා.!
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,627
    2,134
    113
    අස්මිමානය ( මමය යන හැගීම ) නැසීම පිණිස අනිත්‍ය සංඥාව වැඩීමද කළ යුතුයි කියා
    මේ සම්බන්ද ව වැඩිපුර දෙයක් කියල දෙන්න. අනිත්‍ය සංඣ්ඣාව වඩන ක්‍ර්මය පිළිබඳව. තෙරුවන් සරණයි 🙏🏻