අදාල විදුහල්පතිනිය තමාටම චරිත සහතිකයක් ලියාගත් අවස්ථාවක්.
ලංකාවෙ පාසල් පද්ධතිය තුළ දරුවන්ව ප්‍රශ්න ඇසීමෙන් සීමා කිරීම, කියනා දේ අසාගෙන ඇස් කන් වසා කට පියාගෙන සිටීමට සැලැස්වීම, සෑම විටම දරුවන්ව තමාට පහළින් තබාගෙන කටයුතු කිරීම, ඉතා දැඩි නීති රීති සම්ප්‍රදායන් තුළ ගිල්වා දෑත් දෙපා බැඳ තබා තමා යටතේ තබා ගැනීම ආදී දේවල් අතිශය සුලභ කාරණයක්.
කොටු කර රාමුකර තමාට අවශ්‍ය විදිහට සකසා ගන්නා සිසුන්ට මිස, අත්තටු විහිදා ඉගිල යාමට, තමාගේම චින්තනයක් යටතේ ක්‍රියාත්මක වීමට කැමති සිසුන්ට ලංකාවේ පාසල් පද්ධතිය තුළ ඉඩහසරක් නැහැ. ඉතින් බොහෝ විට වෙනස් විදිහට හිතන ළමයින් එකට එක කිරීමට යාම මත ගුරුවරු සහ විදුහල්පතිවරුන් අතර ගැටුම් නිර්මාණය වෙනවා. ඒ කොහොම වෙතත් නියම පරිපාලකයෙක් මේ වගේ දරුවන් හික්මවා ගැනීමට හෝ ඔවුන්ව අවබෝධ කර ගැනීමට සමත් විය යුතුයි. ගුරුවරයෙක්ට විදුහල්පති කෙනෙක්ට දරුවෙක්ගේ වෙනස් චර්යාවන් අවබෝධ කරගන්නට බැහැයි කියලා කියන්නේ එහිදී සේල් දරුවා නෙවෙයි අදාල වැඩිහිටියා.
දරුවෝ අපිත් එක්ක ඇතැම් අවස්ථාවල නොයෙකුත් ප්‍රශ්න හදාගන්නවා. ඒත් ඒවස්ථාවන්වලින් කායික මානසික දඩුවමෙන් තොරව ඒ දේවල් පාලනය කරගන්න ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට පුළුවන් වෙන්න ඕනෙ. දරුවෙක්ගේ වැරැද්දක් තියෙනවා නම් ඒකට අදාළ දඬුවමක් දීලා පස්සේ ළඟට අඬ ගහලා පුතේ මෙන්න මේ නිසයි මේ දේ කළේ නැතුව ඔයත් එක්ක තරහකට නෙවෙයි කියලා කියන්න තරම් නිහතමානී බවක් මව්වත් කමක් ගුරුවරියකට ගුරුවරයෙක්ට විදුහල්පතිවරයෙක්ට විදුහල්පතිවරියකට තියෙන්න ඕනේ.
ඒ කොයික නැතත් දරුවා පාසල හැර යන අවස්ථාවේ දරුවා "දරුවා" ලෙස දැක දරුවාගේ අනාගතයට ඉඳිකටු තුඩක පමණකවත් හානියක් නොවන තැනට කටයුතු කර ආදරයෙන් පාසලෙන් යන්න දෙන්න ඕනේ. මොකද පාසල තුළින් සමාජයට, පුද්ගලයින්ට වෛර කරන පුද්ගලයෙක් එලියට දානවා කියන්නේ ඒක මුළු මහත් සමාජයටම හානියක්. ඒ වගේ බරපතල වරදක් කිසිදු ආකාරයකින් පාසලකින් සිදු නොවිය යුතුයි.
අපි දරුවන්ව දැකිය යුත්තේ දරුවන් ලෙස මිස තවත් එක් වැඩිහිටියෙක් ලෙස නොවෙයි. දරුවෙක්ව දරුවෙක් ලෙස දකින්න බැරි වැඩිහිටියෙක් පරිපාලන නිලයක් දරන්න සුදුසුත් නැහැ.
පාසලකින් පිටවන දරුවන්ගේ චරිත සහතික ලියන්නෙ විදුහල්පති නෙවෙයි. ඒ සඳහා පත් කරලා ඉන්න වෙනම ගුරුවරයෙක්. ඒත් අවසාන අත්සන යෙදෙන්නේ විදුහල්පතිගේ. එහි තේරුම මේය පැහැදිලිවම විදුහල්පතිගේ අනුදැනුම මත ලියූවක් යන්නයි.
මේ දරුවා දැන් මේ චරිත සහතිකය අලුත් දොළහ වසරට යන පාසලට ඉදිරිපත් කරන්නේ කොහොමද ?
ඔහුව උසස් පෙළ වර්ෂ දෙකෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කර බාහිර අයදුම්කරුවෙකු ලෙස උසස් පෙළට මුහුණ දීමට සලස්වන්නේ නම් එහි පූර්ණ වගකීම පූර්ණ වරද මේ අත්සන් කරන ලද විදුහල්පතිගේ
==========
අදාල සිද්ධිය හොයාගත්තා
මේ දවස් කීපයේ කොළඹ එක්තරා පාසලක දරුවෙකුට ලබා දුන්න චරිත සහතිකයක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් යනවා. මම දැක්කා මහාචාර්ය නිර්මාල් රංජිත් මේ ගැන අදහස් දක්වලා තියෙනවා. බොහෝ දෙනෙක් කියන්නේ මේ විදිහේ චරිත සහතිකයක් දුන්න එක හරි කියලා. හැබැයි මේ සිදුවීමේ ආරම්භය ගැන ඔබට හරියට දැනගන්න පුළුවන් වුනොත් ඒ වගේම ඔබ හරි යුක්තිගරුකව හිතන කෙනෙක් නම් ඇත්ත තේරුම් ගන්න පුළුවන් වෙයි. සිදුවීම ආරම්භ වුණේ මෙහෙමයි. අදාල පාසලේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පෙනී සිටින්නේ විභාගය ලියලා මාසයකට විතර පස්සේ. සංගීතය නැටුම් නාට්‍ය හා රංග කලාව කියන විෂයන්වලට ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වුණේ ජුනි මාසේ විසි ගණන් වල. මේ සිදුවීමට අදාල දරුවා විභාගය ලියලා මාසයකට වඩා වැඩි කාලයක් ගෙදර රැඳිලා හිටිය කෙනෙක්. අපි දන්නවා ළමයි තරුණ වයසේ විලාසිතාවලට කැමතියි. කොණ්ඩය වවනවා රැවුල වවනව විවිධ විදියේ ඇඳුම් අඳිනවා. ඒක සාමාන්‍ය දෙයක් විදියට තමයි ගුරුවරයෙක් විදිහට මම නම් සලකන්නේ. මේ ළමයින්ට විසිතුන්වෙනිදා ඇඩ්මිෂන් ආවා. ප්‍රායෝගික පරීක්ෂණයට පෙනී ඉන්න ඇඩ්මිෂන් එක අවශ්‍යයි.
මේ පාසලේ නාට්‍ය හා රංග කලාව හදාරන දරුවෝ දහ දෙනෙක්ට මේ ඇඩ්මිෂන් එක ලබාදීම විදුහල්පතිවරිය විසින් පැහැර හැරියා. බොහෝ ළමයි ඒත් එක්කම විභාගය පිළිබඳ බලාපොරොත්තු අතහැරලා ප්‍රායෝයෝගික පරීක්ෂණයට සහභාගී නොවී සිටියා. ඒත් මේ කියන දරුවා සහ තවත් දරුවෙක් තමන්ට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් බව දන්න නිසා අවස්ථා තුනකදී උපාසලට ගිහින් අදාළ ප්‍රවේශපත්‍රය ඉල්ලා සිටියා. විදුහල්පතිවරිය දිගින් දිගටම මේ දරුවන්ට බැණ වැදිලා පන්නා දැම්මා.
අවසානයේදී මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වීම නිසා මේ දරුවෝ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළා. පැමිණිල්ල ඉදිරිපත් කළේ දරුවෝ දෙන්නෙක්. අනිත් අය තමන්ගේ අයිතිය අතහැරලා නිකන් හිටියා. කොමිසම හමුවෙදි මේ වැඩ බලන විදුහල්පතිනිය දරුවන්ට කතා කළේ ගුරු වෘත්තීයයේ කෙනෙකුට කිසිසේත්ම නොගැලපෙන වචන වලින්. "මම මේ පාසල කරගෙන යන්නේ ගොඩනගා ගත්තෙ හරිම අමාරුවෙන්. වනාතේ ඉන්න රස්තියාදුකාර කුඩුකාරයන්ගේ ළමයි තමයි මෙයාලා. මුන්ට දඬුවම් නොදී හදන්න බෑ. එහෙමයි මම පාසල ගොඩනගා ගත්තේ."
මේ තමයි විදුහල්පතිවරියගේ අදහස්. ඇත්තටම මෙයා විදුහල්පති ධුරයට සුදුසුකම් තියෙන කෙනෙක් නෙවෙයි. මෙයා ගුරුවරියක් වැඩ බලන විදුහල්පති විදිහට කටයුතු කරනවා. ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙක් පාසලට අවශ්‍යයි එවැනි කෙනෙක් පත් නොකිරීම කලාප අධ්‍යක්ෂවරයා ඇතුළු බලධාරීන්ගේ වරදක්. කොණ්ඩය කපාගෙන ආවට පස්සෙත් ඇඩ්මිෂන් එක දීල තිබුනේේ නැහැ. මේ දරුවෝ කණ්ඩායම් ඉදිරිපත් කිරීම් දෙකකටත් සහභාගී වෙලා තිබුණා. නමුත් ප්‍රවේශපත්‍රය නිසි වෙලාවට ලබා නොදීම නිසා කේවල ඉදිරිපත් කිරීම් වලට දරුවන්ට අවස්ථාව ලබාදීමට පරීක්‍ෂණ මණ්ඩලය කටයුතු කර තිබුණේ නැහැ.
අවසානයේදී මානව හිමිකම් කොමිසමට විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කැඳවීමට සිදුවුණා. එහිදී තමයි මේ දරුවන්ට ලිඛිත පරීක්ෂණයට අදාළ ලකුණු පමණක් ලබාදීමට එකඟතාවය ඇතිවුණේ. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ ප්‍රායෝගික පරීක්ෂණයට ඉදිරිපත් නොවුනොත් විභාගයට පෙනී නොසිටි අයෙක් ලෙස සලකුණු කර තරු ලකුණක් ප්‍රතිඵලය ලෙස ලබා දීමයි. නමුත් කොමිසම ඉදිරියේ විභාග වන පරීක්ෂණයක් නිසා විභාග දෙපාර්තමේන්තුව මේ දරුවන්ට විශේෂ අවස්ථාවක් තමයි ලබා දුන්නේ. ඒ නිසයි මේ දරුවෝ දෙන්නට නාට්‍ය හා රංග කලාව විෂයට එස් සාමාර්ථ. මේ දෙන්නම දුර්වල ළමයි නෙවෙයි. ප්‍රායෝගික පරීක්ෂණයටත් සහභාගී වෙන්න ලැබුනනම් අනිවාර්යෙන්ම සම්මාන ලබා ගන්න තිබුන දරුවෝ දෙන්නෙක්. කොමිසම ඉදිරියේ මේ විදුහල්පති කියාගන්නා ගුරුවරිය කිව්වේ මේ ළමයි හැම විෂයටම අසමත් වෙන ළමයි කියලා. ඒ වෙලාවේ ළමයි අභියෝග කළා ප්‍රතිඵල එන්න කලින් කොහොමද එහෙම කියන්නේ කියලා. අවසානයේදී දරුවො දෙන්නටම හොඳ ප්‍රතිඵල ආවා. විදුහල්පති වරියගේ පූර්ව නිගමනය ප්‍රතිඵලවලදී සත්‍ය වුනේ නෑ. ඉතින් මේ චරිත සහතිකය තුළ ඇය සටහන් කරන දේ හරිද එතකොට. කොණ්ඩය නොකපා පැමිණීම පාසලේ විනයට අදාළ දෙයක්. ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීම විදුහල්පතිවරියගේ සහ විනය මණ්ඩලයේ කටයුත්තක්.
අපට ගැටළුව තියෙන්නේ කොණ්ඩය නොකැපීම නිසා මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමට විදුහල්පතිවරියට බලයක් ලැබුනේ කොහොමද කියන එකයි. විභාගයට පෙනී සිටීමට ප්‍රවේශපත්‍රය ලබා නොදීම බරපතල නෛතික වරදක්. ඒක සාධාරණීකරණය කරන්න කිසිවෙකුට බෑ. අවසානයේදී දරුවට වෙනත් පාසලකට යන්න උසස් පෙළ කරන්න තිබුණ අවස්ථාව තමයි ඔය චරිත සහතිකයෙන් විනාශ කරලා තිබුණේ. කොමිසම ඉදිරියේ පරීක්ෂණයක් පැවැත්වෙන අවස්ථාවක මෙවැනි චරිත සහතිකයක් නිකුත් කිරීම තුළ තමන්ට නැවත ගැටළුවක් ඇතිවෙන බව පස්සේ දැනගත්ත විදුහල්පතිවරිය නැවත මේ දරුවට හොඳයි කියලා චරිත සහතිකයක් දීලත් තියෙනවා. ඇත්තටම සිද්ධ වුනේ අධ්‍යාපන ලේකම්වරිය මෙම කාන්තාව කැඳවා දැඩි සේ අවවාද කිරීමයි. ඉන් පස්සේ තමා නැවත චරිත සහතිකයක් නිකුත් කරලා තිබුණේ. මේ සිදුවීමට සම්බන්ධ වුන බොහෝ දෙනෙක් මේක සුළු සිදුවීමක් ලෙස සලකනවා. මේ වගේ දරුවෙකුගේ සම්පූර්ණ අනාගතය තීරණය වෙන අවස්ථාවක් කොහොමද සුළු සිදුවීමක් වෙන්නේ. බලන්න ඒ දරුවො දෙන්නගෙම ප්‍රථිඵලය කොයිතරම් හොඳ එකක්ද කියල. දෙන්නටම උසස් පෙළ කරන්න සුදුසුකම් තියෙනවා. ඒ වගේම උසස් පෙළ හොඳින් කරගෙන විශ්වවිද්‍යාලේ යන්නත් පුළුවන් වෙයි සමහරවිට. ඒ දරුවෝ හැදෙන වැඩෙන පරිසරයේ යම් යම් ගැටලු තියෙන්න පුළුවන්.
ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ දරුවන්ට යහපත් අනාගතයක් උදාකර ගන්න ඉඩ දිය යුතු නැති බවක්. රෝහලට එන්නේ රෝගීන් ලෙඩුන් භාර නොගෙන නිරෝගී අයට බෙහෙත් දීමක් රෝහලේ සිදුවෙන්නෙ නැහැ. පාසලට එන්නෙත් යහමගට ගත යුතු දරුවෝ. ඒ රටේ අනාගතය ඔවුන්ගේ අඩුපාඩු හදලා හොඳ පුරවැසියෙක් විදිහට සමාජගත කිරීම පාසලේ වගකීමක්. වනාතෙ දරුවන්ට ඒ අවස්ථාව අහිමි කිරීමට මේ විදුහල්පතිවරියට බලයක් ලබා දුන්නේ කවුද. අවුරුදු එකොළහක් තමන් ළඟ හැදෙන දරුවෙක් විනය ගරුකව ගොඩනැගීම තමයි පාසලේ වගකීම. සුදුසු කාලයේදී ඒ තත්ත්වය උදාකර ගන්න කටයුතු නොකර තීරණාත්මක මොහොතක දරුවාගේ අනාගතය විනාශ කරන එක වරදක්. මේකට කිසිම සමාවක් දිය යුතු බව මම නම් හිතන්නේ නැහැ. විදුහල්පති ශ්‍රේණිධාරීන්ට එම ශ්‍රේණි ලබා දෙන්නේ ඔවුන්ට පාසල් පරිපාලනය සහ දරුවන් ගැන තීරණ ගැනීමට තියෙන සුදුසුකම් සලකා බලලයි. මෙම කාන්තාව එවැනි සුදුසුකම් සම්පූර්ණ නොකර වැඩ බලන විදුහල්පති ලෙස වසර තුනකටත් වඩා කාලයක් කටයුතු කරමින් ඉන්න කෙනෙක්.
මෙයා කරන්නේ කල්ලියක් හදාගෙන තමන් ගැන වර්ණනා කරවා ගන්න එක. අපි පහුගිය දවස්වල දැක්කා සමාජ මාධ්‍ය තුළ මැය පාසලේ මුරකරු විශ්‍රාම යන විට ඔහුට වන්දනා කළ බවක්. මේ තොරතුරු සමාජගත කිරීමෙන් අපේක්ෂා කරන්නේ තමන් දරුවන්ගේ අනාගතයට කරපු විනාශයන් පිළිබඳ තොරතුරු සමාජගත වීම වළක්වා තමන් හොඳ කෙනෙක් කියලා හිතවතුන් ලවා උලුප්පා දක්වා ගැනීමයි. වහාම මෙම ගුරුවරිය වැඩ බලන විදුහල්පති ධූරයෙන් ඉවත් කර ඇගේ විෂය ඉගැන්වීමට යෙදවිය යුතුයි. සුදුසුකම් සහිත ශ්‍රේණිධාරී විදුහල්පති කෙනෙක් එම පාසලට පත්කළ යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ තවත් දරුවන්ගේ අනාගතය මැය විසින් විනාශ කර දැමීමයි. කොමිසමේදී අර දරුවො දෙන්නා විදුහල්පතිවරියගෙන් වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. "මැඩම් දැන් ලබන අවුරුද්දේ විභාගේ ලියන මල්ලිලාටත් අපට කලා වගේ විනාසයක් කරනවද" කියලා. ඒ නිසා මේ සමාජ මාධ්‍ය තුළින් විවිධ අදහස් දක්වන අපේ රටේ පුරවැසියන්ට කියන්න තියෙන්නේ දඩුවමින් සමාජය යහමගට ගන්න පුලුවන්නම් ඔය පහුගිය අවුරුදු ගණනාව පුරාම එහෙම දඩුවම් කරලා හදපු සමාජය එච්චර හොඳ එකක්ද වර්තමාන සමාජයේ වැරදි කරන්නේ දරුවෝද වැඩිහිටියන්ද. මේ ගැන තාර්කිකව හිතලා බලන්න.
=අශෝක චනද්‍රසේකර =