මේක "ඉරිදා සිළුමිණ" පුවත් පතේ ගිය කොලමක්..මට හිතුනා මේකෙ කියවලා විඳින්න දෙයක් ඔබටත් ඇති කියල..බලන්නකෝ..
71 කැරැල්ල සිද්ධවෙන අවස්ථාවේදී මම අවුරුදු එකොළහක ළමයෙක්.
”කොල්ලෝ ටික එකතු වෙලා ඔන්න පොලිසිවලට ගහනවා.”
මේ අපේ කනට වැටුණු දෙයයි. එදා කවුරුත් වගෙ මේ කොල්ලන්ව හැඳින්වූයේ ‘චේ ගුවේරා කාරයෝ’ කියලා.
”කවුරු වුණත් කමක් නැහැ පොලිසිවලට ගන්න එකනම් වටිනවා.” යැයි පොලිසිය කෙරෙහි බලවත් සේ කලකිරී හිටපු ඇතැමුන් තැන්තැන්වල කියනු අපේ කන්වලට ඇහුණා.
එදා 71 කැරැල්ල මෙහෙයවපු විප්ලවකාරි තරුණයන්ගෙන් කීපදෙනෙක් පසු කාලයක මට ඇසුරු කරන්න ලැබුණා.
පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් මෙන්ම පියසිරි කුලරත්නත් එයින් එක්කෙනෙක්. ඇත්තම කිව්වොත් පොඩි අතුලටත් වඩා මගේ ජීවිතයට හෘදයාංගම වුණේ පියසිරි.
ඒ ඔහු චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරයෙක් හා සිනමා විචාරකයෙක් වශයෙන් මගේ ක්ෂේත්‍රයට ළංවී කටයුතු කරපු නිසා විතරක් නෙමෙයි. ඔහු හරිම සුන්දර මිත්‍රයෙක් වූ නිසයි. චිත්‍රපට විචාරක සංගමය ක්‍රියාකාරිව තිබියදී පියසිරි මට නිතර නිතර මුණ ගැහුණා. අපේ හැන්දෑවල් ගතවුණේ අවන්හල්වල. ඊට පස්සේ ඔහු ‘උඹ, බං, බොලං, මචං’ මට්ටමකට වැටිලා නොබිඳිය හැකි මිත්‍රත්වයකට මා හා බැඳුණා. එදා ඉඳන් අපි එක කුසේ උපන් යාළුවෝ.
71 කැරැල්ල වෙලාවෙදි එවක රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අල්ලා ගැනීමේ සන්නද්ධ ක්‍රියාවලිය භාරව සිටියේ පියසිරි. එහෙත් ඒක ව්‍යාර්ථ වුණා. පියසිරි අප්‍රේල් මහා නඩුවේ 15 වැනි විත්තිකරු වශයෙන් අවුරුදු 7 ක් හිරේ විලංගුවෙ වැටුණා. දේශපාලනය මට අපි‍්‍රය, අමනාප, ජුගුප්සාජනක මාතෘකාවක් නිසා මම කිසිම දවසක පියසිරි එක්ක දේශපාලනය ගැන කතා කළේ නැහැ.
අපි නිරන්තරවම කතා කළේ සිනමාව හා පොදුවේ කලාව හා විචාරය ගැනයි. විචාරකයෙක් විදියට ඉතාම පුළුල් චින්තනයක් පියසිරිට තිබුණා. ඒ බව ඔහු ලියූ සිනමා විචාර කීපයෙන් ම ප්‍රත්‍යක්‍ෂ වෙනවා. පියසිරි ලියපු ‘භාවනා සක්මන’ කියන පොතේ කලාව අරභයා වූ ඔහුගේ මත චින්තාවන් අන්තර්ගත වෙලා තිබුණු බව මට මතකයි. ඔහු ඒ පොත හඳුන්වලා තිබුණේ ජීවිතය, ප්‍රේමය, මරණය, දේශපාලනය සහ භාවනාව යනුවෙන්. මම ඒ පොත ගැන විචාරයක් ඒ දවස්වල ‘සරසවිය’ පත්‍රයට ලිව්වා.
පියසිරි ගැන මට මේ විදියට ලියන්න හිතුණේ පසුගිය දිනෙක (අවුරුදු කීපයකට පස්සේ) ඔහු මා සොයා පැමිණි නිසයි. ඊට සතියකට, දෙකකට කලින් ඔහු තමාගේ අලුත්ම පොත (එහි නම ‘සිත නැසුම’) මට එවලා තිබුණා. සාමාන්‍යයෙන් පියසිිරි මොනව හරි පොතක් ලිව්වම එයින් පොතක් මට එවීම ඔහුගේ සිරිතක්. ඒක අපේ මිත්‍රත්වයේ සලකුණක්.
ඉස්සර වගේ දැන් මට පියසිරි මුණගැහෙනවා අඩුයි. ඔහු අවුරුදු දහයකට – පහළොවකට කලින් ඉඳන් දේශපාලනයෙන් හා කලාවෙන් මුළුමනින්ම ඉවත්වෙලා භාවනා මාර්ගයට පිවිසිලා. දැන් ඔහුගේ නමත් යෝගි පියසිරි කුලරත්න. පියසිරිගේ මේ ආධ්‍යාත්මික වෙනස මුලදි ගුණසිරි සිල්වටයි මටයි ඒ තරම් ඇල්ලුවෙ නැහැ.
’ඌ විඥානවාදියෙක් වෙලා’
ගුණසිරි වරක් කිව්වා මට මතකයි.
”ඔහොම වුණාම කොහොමද බං අඩියක්වත් ගහන්නේ?
මමත් ගුණසිරිට කිව්වා. අවුරුදු ගණනාවකට කලින් මගේ බිරිය පළමු දරුවා ප්‍රසූත කරන්න රෝහල් ගතවෙලා හිටපු දවසක හැන්දෑවේ පියසිරි, ගුණසිරියි, ජයන්ත කළුපහනයි, දයාවංශ විජයලතුයි එක්ක බෝතල් දෙකකුත් අරගෙන අපේ ගෙදර ආපු හැටි මට මතක් වුණා.
”උඹ තනියම ඉන්නවා කියලා ආරංචි වුණා. උඹ අප්සෙට් එකේ ඉන්න එපා. වයිෆ්ට කරදරයක් නැතුව බබා හම්බුවෙයි.”
පියසිරි මගේ වැඩිමහල් සහෝදරයෙක් වගේ දයාබරව කියූ අයුරු මට කිසිම දවසක අමතක කරන්න බැහැ.
මෙවර පියසිරි මා හමුවන්ට ආ වෙලාවේ මුලින්ම ඇහුවේ
’කොහොමද උඹේ ළමයි එහෙම. හොඳින් ඉන්නවද” කියායි.
දැන් පියසිරි යෝගියෙක්; භාවනානුයෝගියෙක්. දැන් ඔහු බ්‍රහ්මචාරි ජීවිතයක් ගත කරන්නේ. දුම්පානයෙන්, මත්පැන් බීමෙන් සපුරා වැළකිලා. අපි තවමත් සංසාර උගුලට අහුවෙලා දුක්විඳ විඳ ඉන්නවා.
පියසිරි ආධ්‍යාත්මික වශයෙන් අපි අභිභවා හුඟාක් දුර ගිහින්. අපිටත් මේ සකලවිධ ලෞකික බැඳීම්වලින් මිදිලා
එතැනට ළඟාවෙන්න පුළුවන් වෙයිද? ඇත්තටම පුළුවන් වේවිද?
සු.මී.