ගණිකා වත
ලෝකයේ පැරණිම වෘත්තිය ගණිකා වෘත්තිය බව අසත්‍යයක් නොවේ. මෙතෙක් පැවති හැම ශිෂ්ටාචාරයකින්ම ගණිකා වෘත්තිය බැහැර නොවිණි. අතීත ග්‍රීක හා භාරතීය ශිෂ්ටාචාරයන්හි ගණිකා වෘත්තියට හිමි වී පැවතුණේ විශිෂ්ට ස්ථානයකි. ශ්‍රී ලංකාවෙහි ශිෂ්ටාචාරයට පදනම වැටුණේ පුරාණ භාරතීය ශිෂ්ටාචාරයෙනි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණීමත් සමඟම භාරතීය මෞර්ය ශිෂ්ටාචාරයෙහි බොහෝ අංගද මෙරට පැමිණි අයුරු වංශකථා හෙළි කරයි. එහෙත් මෞර්ය පාලනය තුළ භාරතයෙහි පැවති ගණිකා දෙපාර්තමේන්තුව වැන්නක් මෙරට රාජ්‍ය පාලනයට එක් වූ බවට සාධක නැත.
ගණිකාවකගේ හැසිරීම් රටාව කෙබදු වියයුතුද යනු වාත්ස්‍යායන තම කාමසූත්රය නැමැති ග්රන්ථයෙහි හයවන අධිකරණයෙහි ඇතුළත් වන පරිච්ජේද හය මඟින් පහදා දෙයි. ඔහු පවසන අන්දමට ගණිකාවගේ අනුරතිය මෙන්ම දිවි පැවැත්මද රඳා පවත්නේ ඇය කරා පුරැෂයන්ගේ පැමිණීම ඇති කල්හි පමණි. ඒ සඳහා ගණිකාව අනුගමනය කළ යුතු උපාය මාර්ගද පහදන ඔහු ගණිකාවගේ ප්‍රේමය කෘතිම වුවත් එය ස්වාභාවික ප්‍රේමයක් සේ පැවැත්වියයුතු බවද අවධාරණය කරයි. ඒ වනාහී ධන ලාභය පිණිස අවශ්‍යම වෙයි. එහෙත් මෙහිදී ගණිකාව තම ව්‍යාපාරය ධනය පිළිබඳ අපේක්ෂාව මතම සිදු වන්නක් බව හැඟවීම පිණිස නිර්ලෝභීභාවයක් ප්‍රදර්ශනය කළ යුතුය. ධනය සූරාගතයුත්තේ උපාය මාර්ගයෙනි.
Last edited:










