අවුරුදු ෂොපින් කරලා ඉවර වෙලා මේ දවස්වල ක්‍රෙඩිට් කාඩ් බිල් එක එනකම් අපි හැමෝම බලන් ඉන්නේ පොඩි බයකින්. හැබැයි ඒ අතරතුර, බොහෝ වෙළඳසැල් වලදී අපි නොදැනුවත්වම "නීතිවිරෝධී ලෙස" අපේ සාක්කුවෙන් රුපියල් දහස් ගණන් කොල්ලකන්න ඉඩ දීලා තියෙනවා.
ඔව්, ඔබ කාඩ් එකෙන් ගෙවද්දී කඩේ මුදලාලි ඉල්ලන ඒ "සියයට 3" අමතර ගාස්තුව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී වැඩක්!
බැංකු කාඩ්පතකින් හෝ ඩෙබිට් කාඩ්පතකින් ගෙවීමේදී, වෙළඳසැලේ සඳහන් කර ඇති මුදලට (Marked Price) වඩා ශතයක්වත් වැඩියෙන් අය කරන්න කිසිම වෙළෙන්දෙකුට නීතියෙන් අවසරයක් නැහැ.
මේක අපි දන්නා හඳුනන "කඩකාරයෙක්" අහම්බෙන් කරන දෙයක් නෙවෙයි. මේ ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා: "වෙනත් ගාස්තු අය කළ නොහැකි බවට බැංකුව සහ ආයතනය අතර ඇති ගිවිසුමේ ඉතා පැහැදිලි වගන්තියක් තියෙනවා."
ඇයි අපි මේ ගැන කතා කරන්න ඕනේ?
ඔබ රුපියල් 100,000ක ලැප්ටොප් එකක් ගන්නවා කියමු. 3%ක් කියන්නේ රුපියල් 3,000ක්. ඒ රුපියල් 3,000න් ඔබට මාසෙකට ඕන කරන හාල් කිලෝ 13ක් ගන්න පුළුවන්. නැත්නම් කිරිපිටි පැකට් 2-3ක් ගන්න පුළුවන්. අපි මහන්සි වෙලා හම්බ කරන මේ සල්ලි මුදලාලිගේ සාක්කුවට නිකන්ම දෙන්න ඕනද?
ඇත්තම කතාව මේකයි:
වෙළෙන්දා ළඟ තියෙන කාඩ් පියවන මැෂින් එක (POS Machine) එයාට බැංකුවෙන් දෙන්නේ එක්තරා ගිවිසුමකට යටත්ව. ඒ ගිවිසුමේ තියෙන ප්‍රධානම කොන්දේසියක් තමයි "පාරිභෝගිකයාගෙන් අමතර ගාස්තු අය නොකරන බව". වෙළෙන්දා ඒක කඩ කරනවා නම්, බැංකුවට පුළුවන් ඒ මැෂින් එක කඩෙන් අයින් කරලා එයාලව බ්ලැක්-ලිස්ට් කරන්න.
විශේෂයෙන්ම ලංකාපේ (LankaPay) කාඩ් පාවිච්චි කරනවා නම්, වෙළෙන්දාට යන්නේ 1% වැනි ඉතා සුළු ගාස්තුවක්. හැබැයි ඔහු ඔබෙන් 3%ක් ගන්නේ තනිකරම ලාභයක් විදිහටයි.
ඊළඟ පාර කඩේකදී 3%ක් වැඩියෙන් ඉල්ලුවොත් ඔබ කළ යුත්තේ මෙයයි:
රිසිට් එක ඉල්ලන්න: අමතරව අය කරන 3% ගාස්තුව ඒ රිසිට් එකේ පැහැදිලිව සඳහන් කරගන්න.
බැංකුවට කියන්න: ඔබට කාඩ් එක නිකුත් කරපු බැංකුවට මේ ගැන පැමිණිලි කරන්න. ඔවුන්ට පුළුවන් ඒ සල්ලි ආපහු අරන් දෙන්න විමර්ශනයක් පටන් ගන්න.
1977 අමතන්න: පාරිභෝගික සේවා අධිකාරියේ (CAA) ක්ෂණික ඇමතුම් අංකය වන 1977 ට හෝ මහ බැංකුවේ (CBSL) මූල්‍ය පාරිභෝගික සබඳතා අංශයේ 1935 අංකයට කතා කරලා විස්තර කියන්න.
විශේෂයෙන්ම විදේශ රටවල ඉන්න අපේ අය ලංකාවට එවන සල්ලි වලින් ගෙදර අය බඩු ගනිද්දී මේ වගේ දේවල් වලට අහුවෙනවා වැඩියි. මේ ගැන ගෙදර අයටත් අනිවාර්යයෙන්ම කියලා දෙන්න.
නීතිය දන්නා පාරිභෝගිකයා කවදාවත් රැවටෙන්නේ නැහැ. ඔබත් කඩේකදී මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා තියෙනවා නේද?

