මීට වසර 12කට පමණ පෙර කරනු ලැබූ ප්‍රකාශයකින් ඉස්ලාම් දහමට නින්දාවක් කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය හමුවේ අද (අප්‍රේල් 30) අධිචෝදනා භාර දුන්නේ ය.
මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ සිතාසියකට අනුව විත්තිකාර ඥානසාර හිමියෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
රු. ලක්ෂ 05ක ඇප මත මුදා හැරේ
විත්තිකාර ස්වාමීන් වහන්සේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල, විත්තිකරු රුපියල් ලක්ෂ 05ක පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස නියම කළේ ය.
එමෙන් ම, මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව කැඳවීමට පියවර ගන්න ලෙසත් මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කළේ ය.
ඊට අමතරව මෙම සිද්ධියෙන් අගතියට පත්වූවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේ ය