ලොව ප්‍රමුඛතම අන්තර්ජාල ආරක්ෂණ සහ CDN යටිතල පහසුකම් සහ ආරක්ෂක සේවා සපයන සමාගමක් වන Cloudflare, සිය ගෝලීය සේවක මණ්ඩලයෙන් 1,100 කට වැඩි පිරිසක් ඉවත් කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා. මෙම හදිසි තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කෘත්‍රිම බුද්ධිය (AI) සහ 'Agentic AI' යුගය සඳහා සමාගම අලුතින් හැඩගැස්වීමේ අවශ්‍යතාවය බව එහි සම-නිර්මාතෘවරුන් වන මැතිව් ප්‍රින්ස් (Matthew Prince) සහ මිෂෙල් සැට්ලින් (Michelle Zatlyn) සඳහන් කරනවා.
AI භාවිතයේ ශීඝ්‍ර වර්ධනය සමාගම වෙනස් කරයි
Cloudflare අද වන විට AI මෙවලම් සහ වේදිකාවන් නිර්මාණය කරනවා පමණක් නොව, ඔවුන්ම එම තාක්ෂණයේ ප්‍රධානතම පාරිභෝගිකයෙකු බවට පත්ව සිටිනවා. පසුගිය මාස තුනක කාලය තුළ පමණක් සමාගම අභ්‍යන්තරයේ AI භාවිතය 600% කින් ඉහළ ගොස් තිබීම මීට කදිම නිදසුනක්.ඉංජිනේරු අංශයේ සිට මානව සම්පත් (HR), මූල්‍ය සහ අලෙවිකරණය දක්වා සෑම අංශයකම සේවකයින් දිනකට AI නියෝජිත සැසි (AI agent sessions) දහස් ගණනක් භාවිතා කරමින් සිය රාජකාරි පහසු කරගනිමින් සිටින බව සමාගම පෙන්වා දෙනවා. මෙම තාක්ෂණික පිම්මත් සමග, පැරණි ආයතනික ව්‍යුහයන් මත තවදුරටත් රැඳී සිටිය නොහැකි බවත්, අනාගතයට ගැලපෙන පරිදි සමාගම ප්‍රතිව්‍යුහගත (Restructure) කළ යුතු බවත් ඔවුන් තීරණය කර තිබෙනවා.
මෙය කාර්ය සාධනය මත ගත් තීරණයක් නොවෙයි!
මෙම දැවැන්ත සේවක කප්පාදුව කිසිසේත්ම සේවකයින්ගේ දුර්වල කාර්ය සාධනයක් නිසා සිදු වන්නක් නොවන බව කළමනාකාරීත්වය දැඩිව අවධාරණය කරනවා. එලෙසම, මෙය හුදෙක් පිරිවැය අඩු කිරීමේ (cost-cutting) සාමාන්‍ය උත්සාහයක් ද නොවෙයි. නව AI යුගයට ගැලපෙන පරිදි සමාගමේ සෑම අභ්‍යන්තර ක්‍රියාවලියක්ම, කණ්ඩායමක්ම සහ භූමිකාවක්ම නැවත නිර්වචනය කිරීමක් ලෙස ඔවුන් මෙය හඳුන්වනවා.ඉතිහාසයේ වාර්තාගත දැවැන්ත වන්දි පැකේජයක්
මෙම තීරණය හේතුවෙන් රැකියා අහිමි වන සේවකයින්ට, තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ වෙනත් කිසිදු සමාගමක් මෙතෙක් ලබා දී නැති ආකාරයේ අතිවිශාල වන්දි පැකේජයක් (Severance package) ලබා දීමට Cloudflare කටයුතු කර තිබෙනවා.- 2026 වසර දක්වා වැටුප්: ඉවත් කෙරෙන සේවකයින්ට 2026 වසර අවසන් වන තුරු ඔවුන්ගේ සම්පූර්ණ මූලික වැටුපම හිමිවනු ඇත!
- සෞඛ්‍ය රක්ෂණ: ඇමරිකා එක්සත් ජනපදයේ සේවකයින් සඳහා වසර අවසානය දක්වා සෞඛ්‍ය ආවරණ අඛණ්ඩව ලබා දීම.
- කොටස් හිමිකම් (Equity): අගෝස්තු 15 දක්වා සමාගමේ කොටස් ලබා දීමට කටයුතු කරන අතර, වසරක් සම්පූර්ණ නොකළ සේවකයින්ට පවා සහනදායී ලෙස කොටස් හිමිකම් ලබා දීමට තීරණය කර ඇත.
එකවරම සිදු කරන තීරණාත්මක වෙනසක්
සුළු වශයෙන් සහ කාර්තු කිහිපයක් පුරාවට වරින් වර සේවකයින් ඉවත් කිරීම මගින් ඉතිරි වන සේවකයින් තුළ මානසික අවිනිශ්චිතතාවයක් ඇති වන බැවින්, මෙම කප්පාදුව එක් වරක් පමණක් සිදු කරන තීරණාත්මක පියවරක් ලෙස ක්‍රියාත්මක කර තිබෙනවා. කළමනාකරුවන් හරහා නොව, සමාගමේ නිර්මාතෘවරුන් විසින්ම සෑම සේවකයෙකුටම සෘජුවම ඊමේල් පණිවිඩයක් යවමින් මේ බව දැනුම් දී ඇත්තේ, "විනිවිදභාවය" (Transparency) සමාගමේ මූලික වටිනාකමක් ලෙස සලකන බැවිනි.Cloudflare ආරම්භ වූයේ Cloud තාක්ෂණය'මත පදනම් වූ ඩිජිටල් සමාගමක් ලෙසිනි. එදා යල්පැන ගිය පද්ධති භාවිතා කළ සාම්ප්‍රදායික සමාගම් අභිබවා යාමට ඔවුන්ට හැකි වුණා. අද, ඔවුන් Agentic AI යුගයට සූදානම් වන්නේද ඒ හා සමානම පෙරළියක් සිදු කරමිනි. තාක්ෂණික ලෝකයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියටම යාමට නම්, නවෝත්පාදනයන් සමග ආයතනික ව්‍යුහයද වේගවත්ව වෙනස් විය යුතු බව Cloudflare ගත් මෙම තීරණයෙන් තවදුරටත් සනාථ වේ.
