එච්.ජි. දයාසිසිර
කථිකාචාර්ය (තාවකාලික), පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය.කොත්මලේ යන නම වර්තමානයේ එක්වරම සංඥා කරන්නේ කොත්මලේ ජලාශය යි. සමනළ වැව දිය කඳින් වසර දෙදහස් තුන්සියක සිට එම ප්‍රදේශයේ පැවත ආ යකඩ හා වානේ කර්මාන්තයට අයත් අවශේෂ යට වී ගියේ ය. එම ජලාශය ඉදිකිරීමට ප්‍රථම ප්‍රමාණවත් පුරාවිද්‍යා ගවේෂණ හා කැනීම් සිදු වූ බැවින් එහි තාක්ෂණික සම්ප්‍රදාය ලොවට දායාද කිරීම ට හැකි වි ය. එ නමුත් කොත්මලේ ජලාශයෙන් එවැනි ම වූ ඉතිහාසයක් යට වී ගියේ කිසිදු පුරාවිද්‍යා සොයා බැලීමකින් තොරව ය. මෙම ලිපියෙන් එම ඉතිහාසයේ ඡායා මාත්‍රයක් පමණක් සටහන් කිරීමට සිදු වී ඇත්තේ එහෙයිනි .
කොත්මලේ, නැගෙනහිරින් හේවාහැට දකුණින් ඌව, බටහිරින් උඩ බුලත්ගම, උතුරින් උඩ පලාත සීමාවන් කරගත් වර්ග සැතපුම් 236ක ප්‍රමාණයෙන් යුතු මහනුවර රාජධානියට අයත් කලාපයකි. අවුරුදු මිලියන හයසියයකට වඩා පැරණි ප්‍රාග් කේම්බ්‍රිය යුගයේ නිර්මාණය වූ පාෂාණවලින් සැදුම් ලත් මධ්‍ය කඳුකරය දළ වශයෙන් දිවයිනේ මධ්‍යයට වන්නට පිහිටා ඇති මුහුදු මට්ටමේ සිට අඩි 500ක් පමණ දක්වා උස් වන භූමියකි. නිවර්තන වනාන්තරයන් ගෙන් ගහණ වූ වසර මුළුල්ලේ වර්ෂාපතනය ලැබෙන හා වසර මුළුල්ලේ ම ගලා බසින දිය දහරා වලින් සමන්විත ප්‍රදේශයකි. මධ්‍ය කඳුකරය නිර්මාණය වී ඇති තිරුවානා, පළිඟු, ගානට් තීරු සහිත උස් බිම් ශ්‍රේණියේ පාෂාණ වල විශේෂ ලක්ෂණයක් නම් එම පාෂාණ තීරුවල විශාල ජල ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකිවීම යි. මෙම ආභ්‍යන්තරික ලක්ෂණය, නිවර්තන වැසි වනාන්තර සහිත වීම සහ මෝසම් ක්‍රියාකාරීත්වයට දායක වීම වැනි කරුණු නිසා උල්පත්, කඳුරු, දොල, දිය ඇළි මධ්‍ය කඳුකරයෙන් පැනනැගී ගංගා ඔය බවට පත් වී අර්ධ තැනිතලා හා තැනිතලා ප්‍රදේශ සාරවත් කරමින් මුහුදට ගලා බසී. ඉහත සඳහන් කළ පාෂාණ තීරුවල මැණික්, මිනිරන්, ලෝපස් වැනි වටිනා ඛණිජයන් අන්තර්ගතය. විශේෂයෙන් මැග්නයිට් ලෝ පස මෙම තීරු වල අන්තර්ගත වේ. එම මැග්නටයිට් ඔක්සීකරණය වී හිමටයිට්, ලිමොනයිට් වැනි ඔක්සයිඩ් යපස් ලෙස ද පවතී. කඳුවල පස් සැකැස්ම තුළ අන්තර්ගත මෙවැනි යපස් හා වෙනත් ඛණිජ සේදී යාමට ලක්වීමෙන් පොළොව මතුපිට පැමිණී ම, කඳු පාමුල තැන්පත්වීම හෝ දිය කඳුරු, දොල, ඔය, ගංගා ඔස්සේ ගෙන යමින් ඒවායේ තැන්පත්වීම හෝ සිදු වේ.
දිවයිනේ තැනිතලා ප්‍රදේශවලට සාපේක්ෂව ගිරිදුර්ග, වන දුර්ග සහිත මධ්‍ය කඳුකරය මිනිසුන් අතර සබඳතා සීමා කරන බැවින් සම්ප්‍රදායක් දිගුකල් පවත්වාගෙන යාමේ හැකියාව ඇත. මධ්‍ය කඳුකරයේ භෞමික ලක්ෂණ නිසා ශිෂ්ටාචාරයේ එක් අවධියක දී එය සාපේක්ෂ ව හුදකලා වීම ත් එම භෞමික ලක්ෂණ නිසා ම තවත් අවධියක දී ජනාකීර්ණ ආකර්ෂණ ප්‍රදේශයක්වීම ත් අපූර්ව ලක්ෂණය කි. දඩයම් යුගයේ මානවයා ට ආහාර, සෙවන, ආරක්ෂාව සැපයූ තෝතැන්නක් ලෙස එම යුගයේ මධ්‍යම කඳුකරය ආකර්ෂණීය විය. පසුව ලෝහ තාක්ෂණය රට තුළට පිවිසෙන ක්‍රිස්තු පූර්ව 10 වැනි සියවස පමණ කාලයේ සිට දිවයිනේ වියළි කලාපීය තැනිතලා ප්‍රදේශ වඩාත් ආකර්ෂණ ප්‍රදේශ වෙමින් මධ්‍ය කඳුකරය සාපේක්ෂව හුදකලා කරයි. එහෙත් යකඩ තාක්ෂණය හඳුනා ගත් මුල් යකඩ යුගයට අයත් සුසාන ජනාවාස, බ්‍රාහ්මීය ශිලා ලේඛන ගණනාවක් මධ්‍ය කඳුකරයෙන් හමු වී ඇති බැවින් එය නොවැදගත් කලාපයක් වූවා යැයි කිව නොහැක. ක්‍රිස්තු වර්ෂ 1,300 පමණ වන තුරු උතුරු දිග තැනිතලාව (රජරට) ප්‍රමුඛ කලාපය වූව ත් මධ්‍ය කඳුකරයේ ද රජවරුන් ප්‍රධානීන් (පරුමක), ග්‍රාමනායකයන් (ගමණි) බමුණන්, ගෘහපතිවරුන්, කාර්මික ශිල්පීන්, භ්‍රමණයින් සිටි බව එහි හමුවී ඇති 80 කට අධික බ්‍රාහ්මී ශිලා ලේඛන වලින් හෙළි වේ.
බත සුමනස තිසහ උපසික (සුම් නවා උපසක නිසලයා උපසක (කු) මරස ගපති දුටකස කුබකර දසික සුමනස මණිකර දතෙ පතික
මණිකර වුඩ සපතිකෙ මණිකර දනෙ පතික මණිකර වූඩ සපනිකෙ
(අංක 807 : වේගිරිය ලිපිය, පරණවිතාන, 1970, පි 62)
මවුඩි රජස මණිකරස ශිලා ඉතක කනයා අහකාසේ ගතාසේ
(අංක 730 : දෙමැදඔය ලිපිය, පරණවිතාන, 1970, පි 64)
ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට පමණ අයත් වන මහනුවර වේගිරිය දේවාලයේ හා මාතලේ දෙමැදඔය ශිලාලේඛන වලින් පෙනී යන්නේ කුඹලුන් (කුඹකර), මැණික් කපන්නන් (මණිකර), ඇත්දත් කැටයම්කරුවන් (දටික) යන ශිල්පීන් එම යුගයේ ද මධ්‍ය කඳුකරයේ සිටි බව යි. රසවාහිනියේ ලංකාදීප උප්පත්ති කථා යටතේ දැක්වෙන අම්බාමච්ච කථාවෙහි (ඤාණවිමල, හංස: 1961:249) දැක්වෙන පරිදි රජරට නියං සමයක දී අම්බ අමාත්‍යයා සිය දාසයන් කැදවා මලය රටට ගොස් කහ (හලිද්දි) ඉගුරු (සිඹහිවෙර) ආදිය ගෙන ඒවා තැනින් තැනට දී වී ගෙනව් යැයි නියෝග කර ඇත. රසවාහිනියට අනුව මලය දේශයේ අමරුප්පල නම් ලෙන සමීපයේ නේසා ද ගමක් තිබී ඇත. මෙම ලෙන කොත්මලේ සමීපයේ තිබූ එකකි. වලගම්බා රජුගේ තිස නමැති ඇමතියා මෙම ලෙන තුළ සැගවී සිට ඇති බව ජනප්‍රවාදයේ එයි. නේසාද යනු රොඩී කුලයේ උප කුලය කි. ශිලා ලේඛන හා වංශ කථාගත තොරතුරුවලින් පෙනෙන්නේ කර්මාන්ත, කෘෂි කර්මාන්ත, ආගමික ස්ථාන සමාජ පංතීන් සහිත සංවිධිත සමාජ ක්‍රමයක් ක්‍රිස්තු පූර්ව සියවස්වල සිට ම මධ්‍යම පළාතේ තිබී ඇති බව යි.
ශිෂ්ටාචාරය ආශිර්වාදයක් වූ වියළි කලාපීය තැනිතලා ප්‍රදේශ සතුරු උවදුරු දුරභික්ෂ වසංගත නිසා ක්‍රමයෙන් අනාරක්ෂිත වෙද්දී වෙළෙඳාම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය හසුරුවන පාලන මධ්‍යස්ථානය වූ රාජධානිය ගම්පොල, හඟුරන්කෙත, මහනුවර වැනි ආරක්ෂිත ප්‍රදේශ වලට දාහතර වන සියවසෙන් පසු වරින්වර මාරු විය. ක්‍රි.ව. 1592-1604 දක්වා පළමුවන විමලධර්මසූරිය ක්‍රි.ව. 1604-1635 දක්වා සෙනරත් ක්‍රි.ව. 1635-168 දක්වා දෙවන රාජසිංහ ක්‍රි.ව. 1687-1707 දක්වා දෙවන විමලධර්මසූරිය ක්‍රි.ව. 1707-1739 දක්වා නරේන්ද්‍රසිංහ ක්‍රි.ව. 1739-1747 දක්වා විජයරාජසිංහ ක්‍රි.ව. 1747-1781 දක්වා කීර්ති ශ්‍රී රාජසිංහ ක්‍රි.ව. 1798-1815 දක්වා ශ්‍රී වික්‍රමරාජසිංහ යන රජවරුන් මහනුවර රාජධානිය කරගෙන රට පාලනය කර ඇත. 1815 දී කන්ද උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට යටත් වූ පසු ද මධ්‍ය කඳුකරය ඔවුන ගේ වැවිලි ආර්ථිකයේ මධ්‍යස්ථානය විය. මහනුවර රාජධානි සමයේ ස්ථාපිත වූ කාර්මික හා කෘෂිකාර්මික වැඩවසම් සේවාගම් තව දුරටත් අඛණ්ඩ ව පැවතිණි. ඉංග්‍රීසි පාලන සමයේ දී රජමාළිගාවට අදාළ සේවාවන්වලට මෙම ගම්මාන බැදී නොසිටිය ද දළදා මාළිගාවට සතර දේවාලයට, ඇම්බැක්ක, ගඩලාදෙණිය දේවාලය ඇතුළු මධ්‍යම පළාතේ විහාරස්ථාන හා දේවස්ථානවලට අදාළ සේවාවන්ට බැදී සිටියේ ය.
මධ්‍ය කඳුකරයේ පරිසරය, මහනුවර රාජධාණි සමයේ හා ඉංග්‍රීසි පාලන අවධියේ ගොඩනැගුණු වාස්තු විද්‍යාත්මක හා වෙනත් සංස්කෘතික අංග නිසා දේශීය හා විදේශීය සංචාරකයින් ගේ ආකර්ෂණ ප්‍රදේශයක් වූ බැවින් ද මධ්‍ය කඳුකරයේ වැවිලි ආර්ථිකය අඛණ්ඩ ව පැවතී එන බැවින් ද වෙනත් ආර්ථික හා සමාජ හේතූන් නිසා ද මධ්‍යම පලාතේ ශිල්ප ගම්මානවල නිෂ්පාදනවලට (ඒවායේ ස්වරූපය වෙනස් වුව ද) අඛණ්ඩ ඉල්ලුමක් ඇත. එබැවින් එම ගම්මාන බොහෝමයක (විශේෂයෙන් මහනුවර අවට) පැවැත්ම තහවුරු වී ඇත. රන්, රිදී, පිත්තල වැනි ලෝහ කර්මාන්ත, ශිලා කර්මාන්තය, හණ, නියද හා පන්වලින් කරන කර්මාන්ත, ලාක්ෂා, වේවැල්, කුඹල් කර්මාන්ත, වාස්තු ශිල්පය ආදී ශිල්ප කර්මාන්ත මහනුවර නගරය වටා කේන්ද්‍රගත වීමත් කන්ද උඩරට රාජධානි සමයේ දක්නට ලැබේ.
ඇම්බැක්ක, ගඩලාදෙනිය, කිරිවවුල, කඩුගන්නාව, මංගලගම, ඒදඬුවාව, කිරිබත්කුඹුර, දවුලගල, තලවතුර, මීවතුර, ලුණුගම, ගම්පොල, මැදවල, මඩවල, නත්තරම්පොත, අරන්තන, දන්තුරේ, උල්ලදුපිටිය, නීලවල, කෑරගල, වල්ගොව්වාගොඩ, ගෝවින්දගල, කුරුකුන්තල, මැද්දගොඩ, ගගුල්දෙනිය, යන ගම්වල අද දක්වාම රන්, රිදී, පිත්තල කර්මාන්ත පවතී. මාතලේ දිස්ත්‍රික්කයේ ඕවිල, ගුරුබැවිල, කෑගල්ල දිස්ත්‍රික්කයේ වේකොලදෙනිය, දනාගම, කොට්ටලබද්ද ගම් වල ද රන්, රිදී හා පිත්තල කර්මාන්ත පවතී. යටිනුවර යහලතැන්න, උඩුදුම්බර හදගනාව යහල, හේන්දෙනියේ යාලේගොඩ, ඉහල දුම්බර කන්ද, පල්ලේ කෝරළයේ යහල, යටි නුවර ගඟපළාත කෝරලයේ යහලතැන්න, උඩුනුවර ගඟ පළාතේ යාලේගොඩ, අකුරම්බොඩ, යමන්මුල්ල, කොත්මලේ හපුගස්තලාව, යහලේකුඹුර යන ස්ථාන එම ස්ථාන නාමය අනුව යපස් වලින් යකඩ පෙරූ ස්ථාන ලෙස සටහන් කළහැකි කොත්මලේ උඩපනේ කෝරළයේ සමන්තේගම, පාතදුම්බර, ගෝනාගම, මාතලේ, කඩුවෙල, මාතලේ කවුඩු පැලැල්ල, මාතලේ පල්ලේපොල, යටිනුවර පෑලව, තෙල්දෙණිය, උඩගම, ඉහළ හේවාහැට, උකුතුලේ, මාතලේ වරදමුණ, හාරිස්පත්තුව, යටිහලගල, පාතදුම්බර පල්ලේ ගම්පහ කෝරළය, මාතලේ අලුගොල්ල, යටවර පන්නගම, නාපාන ගල්බොඩවත්ත යන ගම්වල (යපස් වලින් යකඩ නිස්සාරණය කරන) යමන්නුන් සිටි බව ලොරි (1896-98) වාර්තා කරයි. ලෝහ ශිල්පීන් ගේ මෙම දැවැන්ත ව්‍යාපෘතියට ප්‍රබල හේතුවක් වන්නේ අතිදක්ෂ ශිල්පීන් උඩරට රජවරුන්ගෙන් නිදන්ගම් ලැබීම ය.
මෙම ලිපියෙ හි කොත්මලේ ඉතිහාසය මධ්‍යම පළාතේ ලෝහ කර්මාන්තයේ ව්‍යාප්තිය කෙරෙහි බැදී ඇති අයුරු සාකච්ඡා කිරීමට දීර්ඝ පෙරවදනක් ලියැවුණු එවැන්නක් පුළුල් පසුබිමක් තුළ සාකච්ඡා කිරීමට යි.
වංසකතාවල මධ්‍යම පළාත පිළිබඳ ව ඇති සඳහන් කිරීම් පවා අල්ප ය. එම අල්පයක් වූ සදහන් කිරීම් අතරට කොත්මලය සම්බන්ධ වී තිබේ. බෝධිවංශයේ සදහන් පරිදි (ගුණපාල සේනාධීර, 1970:280) ශ්‍රී මහා බෝධියේ ඵළරුහ බෝධීන් රෝපණය කළ ස්ථාන අතර කොත්මලේ පුසුල්පිටිය වේ. මධ්‍යම පළාතේ අනෙක් ස්ථානය මාතලේ රුසිගමයි. පුසුල්පිටිය පිහිටා ඇත්තේ නවත්ගමයි. පූජාවලිය, සිංහල ථූපවංශය, සද්ධර්මාලංකාරය යන ග්‍රන්ථවල කොත්මලේ ගැන සඳහන් වේ. වංසත්ථප්පකාසිනියෙහි කොට්ඨානාමක මලයේ යනුවෙන් කොත්මලේ ගැන සඳහන් වේ. කොත්මලේ ජනප්‍රවාද වලට අනුව දුටුගැමුණු රජුට නැකැත් සාදා දී ඇත්තේ කොත්මලේ නැකතින් විසිනි. රජුට අවශ්‍ය යුද්ධායුධ ද කොත්මලේ නිපදවූ බව කියති. කොත්මලේ ගණිතයා පිළිබඳ ඇති පුරාවෘත අනුව එම අතිදක්ෂ ගණිතයා දුටුගැමුණු රජුට නැකැත් තැනූ පරපුරේ ආභාසය ලබන්නට ඇත. දුටුගැමුණු කුමාරයා ආරක්ෂාව සඳහා කොත්මලේ කොටගෙපිටියේ ඌරුපැලැල්ලේ ගමරාළගේ ගුහාවේ සැගවී සිට ඇත. එහි සිටිය දී කුමරු ගමරාළ ගේ හරක් බැලීම හා පසුව දැනට රජතලාව යැයි හඳුන්වන ප්‍රදේශයේ අමුණු හතක අස්වැද්දීම කර ඇත. කුමාරයා එම කුඹුරු අස්වැද්දීමට කරවූ ඇළ, මැද මා ඇළ යැයි අද ව්‍යවහාර කෙරේ. කුමාරයා කම්මල්කරුවකු වෙතට ගොස් තමාට නඟුලක් සාදා දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. කම්මල්කරු උරණ වී ගමරාළ ගේ වැඩකාරයන් වෙනුවෙන් තමා වැඩ නොකරන බව පවසා අවශ්‍ය නම් යබොර (බොරකැට) උණුකර නඟුලක් සාදා ගන්නා ලෙසට කියා ඇත. කුමරු උදුනට බොරකැට එකතු කර දැමූ විට ඒවා නගුලක් බවට පත් විය. කම්මල්කරු බියට පත්වී මේ ළමයා බල සම්පන්න අයෙකු විය යුතු යැයි තේරුම් ගෙන කුමරුගේ පාමුල වැටී සමාව ගෙන ඇත. මෙම ජනප්‍රවාදයට සම්බන්ධ ඓතිහාසික සාක්ෂි ඇත. කුමාරයා අසුන් කියා පියාණන් මළ ශෝකයෙන් අඩා වැළප කොත්මලයෙන් නික්මුණු (සිංහල ථූපවංශය පි 217) කොත්මලේ නවනගම පුසුල්පිටිය විහාරයේ බෝධිය අසළ ඇති ක්‍රි.ව. 1765 කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ කරවූ ලිපියක “ගැමුණු නරෝත්තමයා වැඩ සිටි ශෛල මස්තකයේ දාගැබ” යැයි සඳහන් වේ. තවත් ජනප්‍රවාදයකට අනූව පරාක්‍රමබාහු රජ විසින් ඇති දැඩි කරගත් කුමරියක වූ හෙණකද බිසෝ බණ්ඩාර කොත්මලේ බැද්දෙගොඩ මාළිගයක ජීවත් වී ඇත. ඇය මෙහි සිටිය දී රන් ආභරණ වලින් පත්තිනි දේවිය පිදීමට පත්තිනි දේවාලයක් කරවා ඇත (ලොරි පි 481).