සොබා දහමේ දඬුවම් බිහිසුණු බව කියා දෙමින් පුක කුණු වී, අපා දුක් විඳ බිලියනපතියකු වූ “කුඩු තමිල්" මිය ගියේය....
ඕල්කට් සහ ජිබෝයිට පසු බොරැල්ල හොල්ලාගෙන සිටි මහා පරිමාණ කුඩු ජවාරම්කාර වනාතේ බිම්සර පසුගිය දා බූස්සේ සිය සිර මැදිරිය තුළ ගෙල වැල ලාගෙන මිය යන්නේය. අපරාධකරුවෙකුට සිය දිවි නසා ගන්නට තරම් ඇතිවන මානසික පීඩනය අපායේ ගින්නක් වැනිය.
ටොන් ගණන්වලින් ලංකාවට කුඩු ගෙනැවිත් දේශපාලනය සහ පොලිසියේ හයියෙන් හතර අතේ ගේම් ගසාගෙන නොමැරී සිටි නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් දෙවුන්දර කුඩු තමිල් සිකුරාදා (04) උදෑසන පිළිකා රෝගයකින් අන්ත දුක් විඳිමින් සිට මිය යන්නේය. මරණය උන්ට වෙනත් මිනිස්සුන්ට වඩා වේදනාකාරීය.
කවුද මේ දෙවුන්දර කුඩු තමිල්..?
මොහු මීට අවුරුදු 25කට පමණ පෙර මත්කුඩු ව්‍යාපාරයේ මහාපාරිමාණ ජාවාරමෙක් ලෙස එළියට එන පුද්ගලයෙකි. එම වකවානුවේ සිදුවූ මිනී මැරුම්වල චූදිතයෙකි. වර්ෂ 2001 වසරේදී ඉතා මිල අධික Hummer H1 රථයක හිමි කරුවෙකි. එය ඔහු විසින් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙන්වන ලදී.
තමිල් සෑහෙන කාලයක් ජීවිතය අල්ලාගෙන සිටියේය. තමිල්ට පෙර මෙසේ කාලයක් ජීවත් වූ පාතාල නායකයා නාවල නිහාල්ය. නාවල නිහාල් මුල් පාතාල කණ්ඩායමේ සිටි පරණම එකාය. පාතාලය පෝෂණය කරමින් තමන් යටතේ හදා වඩාගත් කාලකණ්ණියෙකි. නිහාල් හිටියේ රජගෙදර පරවියා වගේය. මචං කියා කතා කරන මැති ඇමතිවරුන් ගණනාවක් නිහාල්ගේ මිතුරු සංසදයේ උන්නේය. මුල් වකවානුවේ දී රටටම මත්කුඩු පෙව්වත් ඌ මත්ද්‍රව්‍ය පානය කළේ නැත. එහෙත් ජීවිතයේ අවසන් කාලයේ ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී උන්නේය. කළ පවු කර්මය ලෙස පඩිසන් දෙන්නේ මහා චිත්තාවේගයන් සමගිනි.
ඉන් බේරෙන්නට කුඩු ගැසූ නිහාල් 2004 වසරේ අතුරුදහන් වන්නේ අලුත්කඩේ උසාවියේ නඩුවකට ගොස් නැවත යන අතරය. ඔහු අපා දුක් විඳ මිය යන්නට ඇතැයි සිතෙන කතන්තර ඇසෙමින් ඇත.
තමිල් රටට කුඩු ගෙනාවේය. මහා පරිමාණයෙන්ම ගෙනාවේය. රටේ සිට වෙනත් රටවලටත් කුඩු විකුණුවේය. අඩුම තරමින් මාසයකට කිලෝ 500කට එහා මත්ද්‍රව්‍ය බෝට්ටුවලින් ගෙන එන ජාවාරම ඒ දවස්වල තිබුණේ තමිල් අතේය. තමිල් වටේ එවකට ප්‍රබල දේශපාලකයෝ සිටියහ. සමහරු ගැන නම් වශයෙනුත් කියැවුනේය. පොලිසියේ මහඋන්ද උන්හ. නාකොටික් එකේ සිටියේත් තමිල්ගේ මිතුරන්ය. ටොන් ගණන්වලින් රටට කුඩු ගේන්නට ඔහුට ගේමක් තිබුණේම නැත. අවුරුද්දකට අඩුම තරමින් ටොන් හතරක් පහක් ඔහු ලංකාවට ගෙනාවේය. අපි කතා කරන්නේ මධුෂ්ලා ගැනය. තමිල් එක්ක බලනකොට මධුහ්ලා මොන්ටිසෝරි සයිස්ය. මධුෂ් හැදුනේත් තමිල්ගේ සෙවනේය. ආරවුලක් නැතිව ගේම ගසාගෙන හිටි තමිල් ලෝකය දැක්කේ ප්‍රකෝටිපතියෙක් ලෙසය. ගමන් බිමන් යන්න හැමර් දෙකකි. බහුදින යාත්‍රා 10කට වඩා ඔහු සතුව තිබුණේය.නිමක් නැති වත්කම්ය. මේ අතර තමන්ගේ විරුද්ධවාදීන්ට ද ඔහු ඔලුව උස්සන්න දුන්නේ නැත.
වර්ෂ 2013 දී රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක් සහිතව ලංකාවට පැමිණ රටින් පිටවී යෑමට සූදානම් වී සිටි ලයිබීරියානු ජාතිකයෙක් පිළිබඳ ඇති වූ සැකයක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලේ දී ඔහුගේ ගමන් මළු දැඩි පරීක්ෂාවකට ලක් කරන්නේය. ගමන් මල්ලක තිබී හෙරොයින් කිලෝ 30ක් හමුවන්නේ රේගු නිලධාරීන් ද මවිතයට පත් කරමිනි.
ලංකාවෙන් ලෝකයට කුඩු බෙදා හැරෙන බව සනාථවන ආකාරයේ සිද්ධියක් මුල් වරට සනාථ වන්නේ මේ අවස්ථාවේ දී ය. මින් පෙර මෙපමණ කුඩු තොගයක් රටින් එළියට ගිය අවස්ථාවක් වාර්තා වූයේ නැත.
සිද්ධිය පිළිබඳ දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේය. මෙහිදී වසන්ත මෙන්ඩිස් නැමැති පුද්ගලයෙකු අනාවරණය වන්නේය. කවුරුත් ඔහුව දැනගෙන සිටියේ මොරටුවේ සේල් වසන්ත කියාය. එවකට ගාල්ලේ ෆුඩ් සිටියත් තිබුණ විශාලම ගොඩනැගිල්ල අයත්ව තිබුණේ සේල් වසන්තටය. සේල් වසන්ත ගැන හොයනවිට ඔහු රටින් පැන්නේය. අන්තිමට විමර්ශනය කෙළවර වන්නේ දෙවුන්දර තමිල් ලඟිනි. මෙන්ඩිස් අල්ලාගෙන මේ ජවාරම සිදුකර තිබුණේ දෙවුන්තර තමිල් බව විමර්ශන අංශ සොයා ගත්තේය.
වර්ෂ 2013 දී සිදුවන මිනීමැරුමක් සමග තමිල් ලංකාවෙන් පැන සිංගප්පූරුවට යන්නේය. ඒ හොර පාස්පෝට් එකක් හදාගෙනය. යළිත් 2014 පෙබරවාරි මස 08 වෙනිදා එම පාස්පෝට් එක භාවිතයෙන්ම ලංකාවට පනින්නට හදන තමිල් කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගන්නේය. අත් අඩංගුවට ගත් තමිල්ට සම්බන්ධ මිනී මැරුම් නඩු විභාග වෙමින් තිබුණේය. එම මිනීමැරුම්වලට වරදකරු වූ ඔහු ජීවිතාන්තය දක්වා හිර දඬුවමට ලක් වූයේය. හිරේ හිටියත් තමිල් සිය සම්බන්ධතා හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වා තිබුණේ නැත. 2023දි දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක් සමග මත්කුඩු කිලෝ 212ක් අත් අඩංගුවට ගත්තේය. තොරතුරු හොයාගෙන යනවිට මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ අවසන් පුරුක තමිල්ය.
මිනීමැරුම් නඩුවෙන්නි යම වුන මරණීය දණ්ඩන තීන්දුවට එරෙහිව ඔහු අභියාචනා අධිකරණයට ඇපෑලක් ගොනු කර තිබිණි. එම මිනී මැරීමේ වරදට අභියානාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය. කෙසේ වෙතත් ඔහු තවත් නඩුවක් සම්බන්ධයෙන් යළිත් සිරගතව සිටියේය.
මොළයේ පිළිකාවක්. පසුගිය 04 වැනිදා දෙවුන්දර තමිල් මොළයේ පිළිකාවක් හේතුවෙන් මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි කීවේය. තමිල් මිය යන්නේ කරාපිටිය රෝහලේ දී ය. ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදිසියේ ඇති වූ ධරුණ අසනීපයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. ඔහුට පිළිකාවක් වැළඳී තිබුණු බව අනාවරණය විය.
ඇපෑලකින් මරණීය දණ්ඩනයෙන් බේරුණත් සොබා දහමේ දණ්ඩනයෙන් කිසිවෙකුට ගැලවෙන්නට ලැබෙන්නේ නැත. මේ පාතාලයා බන්ධනාගාරය තුළ සිර දඬුවමකට ලක්ව සිටිය දී මිය යන්නේ අන්ත දුක් විඳීමෙන් අනතුරුවය. පිළිකාව මුලින් ඔහුගේ ගුද මාර්ගයේ වර්ධනය වී පසුව කොඳු ඇට පෙළ හරහා මොළයට පැතිර ගොස් තිබිණි.
උපයා ගත් බිලියන ගණනක වත්කම් භාවිතා කිරීමට නොහැකව, මුළු සිරුරම අභ්‍යන්තරයෙන් කුණු වී යමින් සිටිය දී අපා දුක් විඳිමින් මිය ගිය කුඩු තමිල්ගේ ජීවිත කතාව පාතාලයන් සහ “වෙන්ට පාතායන්” කියවා තිබීම වැදගත්ය. පාදඩ වැඩ කර ජීවිතය ජයගත්ත එකෙක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. පරපීඩක මනෝ ලෝකයක් තුළ හුදකලා ස්වයං වින්දනයක යෙදෙන මේ සියලුම පාතාලයින්ගේ ජීවිත අවසානයේ දී නිමා වන්නේ බල්ලන් බළලුන්ට තරම්වත් ගෞරවයක් නොලබන කුණු කානු පල්ලෙන් බව ලියා තැබිය යුතුය.
Last edited:
