ඇයගේ ලස්සන දවසේ අවලස්සනම උපාධි ප්‍රදානෝත්සවය.
විශ්ව විද්‍යාලයෙන් සමුගෙන යන විට කුලපතිගෙන් ඇයට ලැබුණේ රැග් එකක්.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපා ආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30 න් 16 ක්ම දිනාගෙන.
කොළඹ වෛද්‍ය පීඨයට ඇතුලත් වන්නේ ලංකාවේ ඉහළම Z-Score අගය ඇති සිසුන් පිරිසයි. එනයින් හෂිනිගේ මේ දක්ෂතාව සුවිශේෂ එකක්.
උපාධි ප්‍රදානය කෙරෙන්නේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතින්. උපාධිධාරීන්ට පදක්කම් පැළඳවීමත් උන්වහන්සේ අතින් සිදුකෙරෙනවා.
එහෙත් හෂිනි කාන්තාවක වීම නිසා ඇයට සිදුවන්නේ පදක්කම් 16 ම තම දෑතින් පළඳාගැනීමටයි. ඒ කියන්නේ උපාධි ප්‍රදානෝත්සවයේ වඩාත්ම වැදගත් දේ වැදගත් විදියට සිදුවන්නේ නැහැ. (වීඩියෝව බලන්න)
සරලව කිව්වොත් ඇයට ප්‍රදානය කිරීමක් මෙතන නැහැ. ඇත්තේ හෂිනිකා තමන්ටම පුදාගැනීමේ උත්සවයක්. ඒකත් 16 වතාවක්.
වසර හතර පහක මහත් පරිශ්‍රමයක, කැපකිරීමක සාඩම්බර අග්‍රඵලය වෙනුවෙන් චරිතවත් කුලපතිවරයෙකු හෝ කුලපතිවරියකගේ දෑතින් මෙකී සම්මාන පැළඳවීම සිදුවූයේ නම් ඇයටත් සහෝදර ශිෂ්‍ය ප්‍රජාවටත් විශ්ව විද්‍යාලයටත් මීට වඩා අභිමානයක් නොවන්නේද?
උපකුලපති වැනි තනතුරකට මෙවැන්නන් කෙතෙක් ගැළපෙනවාද යන්න සිතීමට මෙයත් හොඳ අවස්ථාවක්.
අනෙක් අතට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුරුත්තෙට්ටුවේ හිමියන් කුලපති ධූරයට පත්කරනු ලැබුවේ දේශපාලන දොල පිදේණියක් ලෙස බව අප සැම දන්නා කරුණක්. එසමයේ සමහර සිසුන් උන්වහන්සේගෙන් උපාධිය ලබාගැනීම පවා ප්‍රතික්ෂේප කළා.
දේශපාලන හෙංචයියෙක් මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුට කුලපති ධූරය පිරිනැමීම පිළිබඳ එකල පැවති විරෝධතාව හමුවේ කියවුනේ එම ධූරයට පැවරෙන සැලකිය යුතු වැඩ රාජකාරියක් නොවන බවයි. උපාධි ප්‍රදානෝත්සවය පැවරෙන මූලිකම වගකීමක් බව කියවුනා.
එයටද උන්වහන්සේ වැන්නෙක් කෙතරම් නොගැළපෙනවාද යන්න මේ උපාධි ප්‍රදානෝත්සවයෙන් පේනවා.
හිමි නමක වීම නිසා වාඩි වී සිටීම මෙන්ම සිසුවියන්ට පදක්කම් නොපැළඳවීම සිසුන්ගේ ලස්සනම දවස අවලස්සන කරනවා.
ගෞරවණීය හෝ වැදගත් තෙර නමක් වූයේ නම් ඒත් කමක් නෑ. මේක ලිව්වේ බෞද්ධකමට ගහන්න නොවෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.
|මහින්ද රුබසිංහ