එංගලන්තයේ සහ වේල්ස්හි වෙසෙන දෙමාපියන් තම පිරිමි දරුවන් සඳහා වැඩිපුරම තෝරාගත් නාමය ලෙස "මුහම්මද්" (Muhammad) නාමය පිට පිටම තෙවන වසරටත් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලයේ (ONS) නවතම දත්තවලට අනුව, 2025 වසරේදී පමණක් බිළිඳුන් 6,000කට ආසන්න සංඛ්‍යාවකට මෙම නම තබා ඇති අතර, එය දෙවන ස්ථානයට පත් වූ "නෝවා" (Noah) නාමයට වඩා 2,000ක පමණ පැහැදිලි වැඩිවීමක් පෙන්නුම් කිරීම විශේෂත්වයක්. මීට අමතරව 'Mohammed' සහ 'Mohammad' යන වෙනත් අක්ෂර වින්‍යාසයන් (Spellings) ද්විත්වයද එරට වඩාත්ම ජනප්‍රිය නාමයන් 100 අතරට ඇතුළත් වී ඇති අතර, එමඟින් තවත් බිළිඳුන් 2,600කට වැඩි පිරිසකට මෙම නාමයේම විවිධ සංස්කරණයන් තබා තිබෙනවා. 2016 වසරේ සිටම ප්‍රමුඛතම නාමයන් 10 අතර රැඳී සිටින මුහම්මද් නාමය, 1996 වසරේ සිට මේ දක්වා සෑම වසරකම ජනප්‍රියම නාමයන් 100 අතරට අඛණ්ඩවම තේරී පත්ව තිබෙනවා.
මෙම ප්‍රවණතාවය කෙරෙහි බ්‍රිතාන්‍යයේ වෙසෙන මිලියන හතරකට ආසන්න (එනම් සමස්ත බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 6%ක් පමණ වන) මුස්ලිම් ප්‍රජාවගේ වර්ධනය සෘජුවම බලපා ඇති බවයි ජනගහන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. ඉතිහාසඥයින් පවසන පරිදි 1800 අග භාගයේ සිටම බ්‍රිතාන්‍යයේ වරාය ආශ්‍රිත නගරවල මුස්ලිම් ප්‍රජාව ජීවත් වී ඇති අතර, පරම්පරා ගණනාවක් පුරා මෙම නාමයේ ජනප්‍රියතාවය ක්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා. මේ අතර, එම වසරේම වඩාත්ම ජනප්‍රිය ගැහැණු බිළිඳු නාමය ලෙස "ඔලිවියා" (Olivia) සිය ස්ථානය රැකගෙන ඇති අතර, ලිලී (Lily), ඇමේලියා (Amelia), අයිස්ලා (Isla) සහ ෆ්ලෝරන්ස් (Florence) යන නාමයන්ද ඊට පසුපසින් පසුවනවා. සියවසකට අධික කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය සමාජය තුළ සිදුවෙමින් පවතින සංස්කෘතික විවිධත්වයේ සහ ජනගහන රටාවන්හි වෙනස්වීම් මෙම නාමකරණ ප්‍රවණතාවයන් හරහා මැනවින් පිළිබිඹු වන බව විචාරකයින් පවසනවා.
#UKNews #BabyNames2025 #ONS #Muhammad #CulturalDiversity #TrendingNews #Demographics
