ඔරිමජිනල් මානවම්ම රජ්ජුරුවො ගැන!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,013
    99,470
    113
    අද සටහන 'මානවම්ම රජ්ජුරුවො' ගැන,

    ඒ නම කියපු ගමන්ම බාගවෙලාවට කෙනෙක්ට මෑතකාලීනව ජනප්‍රිය වුණු එක්තරා දේශපාලනික චරිතයක් මතක්වෙන්න ඉඩ තියෙනව,

    හැබැයි මේ කියන්න යන්නෙ නම් එයා ගැන නෙවෙයි,

    "ඔරිමජිනල් මානවම්ම රජ්ජුරුවො ගැන!"

    මානවම්ම කියන්නෙ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වය දැරූ දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගෙ පුතා,

    වසර නවයක් රාජ්‍යත්වය දරාපු දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගෙ මරණින් පස්සෙ ලංකාද්වීපය ඇතුළෙ ඇතිවුණේ එසේමෙසේ අවුල්සහගත තත්වයක් නෙවෙයි,

    රාජ්‍ය පාලනයේ උඩින්ම උන්නු මෞර්‍යය සහ ලම්භකර්ණ වංශිකයො අතරෙ සිංහාසනය වෙනුවෙන් ලොකු සටනක් ඇරඹුණා,

    මේක එළිපිට සහ තිරය පිටිපස්සෙ රහසිගතව දෙවිදිහටම ඇවිළුණු තරමක් දරුණු සටනක්,

    හරියට ක්‍රිස්තු වර්ෂ 1455 සහ 1487 කාලසීමාව අතරෙ එංගලන්ත සිංහාසනය වෙනුවෙන් ලැන්කැස්ටර් සහ යෝක්ෂයර් වංශ අතරෙ ඇතිවුණු War of the Roses සිවිල් යුද්ධය වගෙ එකක්,

    එහෙම නැත්තං සුද්ධ සිංහලෙන් තේරෙන්න කියනව නම් අපි ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීරීස් එකේ දැකපු අයන් ත්‍රෝන් එක වෙනුවෙන් ඇවිළුණු සටන වගෙ එකක්,

    දෙපාර්ශ්වය අතරෙ බලය මූලික කරගෙන යුධ සංග්‍රාම වගෙම රහසිගත කුමන්ත්‍රණ වගෙ අටෝරාසියක් සිදුවීම් ඔය කාලෙ දිගින්දිගටම සිදුවුණා,

    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මේක 'සිහසුන් සටනක්'!

    වෙනවට කියනව නෙවෙයි මේ මෞර්‍ය - ලම්භකර්ණ ගැටුම මූලික කරගෙන ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටයිප් එකේ එපික් සීරීස් එකක් හදන්න බැරුවා නෙවෙයි, හැදෙයි කියල නම් හිතන්නෑ ඒත් හැදෙනව නම් මරු!

    ඉතින් ආයෙමත් මාතෘකාවට ආවොතින් මේ කියන අර්බුදකාරී වාතාවරණය නිසාවෙන් දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගෙ පුත්‍රයා වුණු මානවම්ම කුමාරයගෙ ජීවිතය තිබුණෙ අන්තරාදායක තත්වෙක,

    සිංහාසනයෙ උරුමක්කාරයා නිසා කොයිවෙලේ අනිත් පැත්තෙන් ශොට් එක හම්බුවෙයිද කියල දන්නෑ,

    අවසානෙ හැමදේකටම වඩා ජීවිතය වටින නිසා මානවම්ම කුමාරයට සිදුවෙනව රජකම අතෑරල දාල ඉන්දියාවට පනින්න,

    එයා යන්නෙ ඉන්දියාවෙ එවකට බලගතු රාජ්‍යයක් වුණු පල්ලව රාජ්‍යයට,

    එවකට පල්ලව රාජ්‍යයෙ පාලකයා වුණු පළවෙනි නරසිංහවර්මන් රජ්ජුරුවො මානවම්ම කුමාරයව සාදරයෙන්, ආදරයෙන් පිළිගන්නව,

    ඒ වගෙම කුමාරයාට සකලවිධ රජසැප සම්පත්ති මැද්දෙ හැදෙන්න වැඩෙන්න අවස්ථාව ලබාදෙනව,

    කාලය ඊයක වේගයෙන් ගතවෙනව,

    ඒ ගතවෙන කාලපරාසය මානවම්ම කුමාරයා රජසැප විඳිමින් ආතල් එකේ ඉන්නෑ,

    පල්ලව රාජ්‍යයෙ උන්නු සංග්‍රාම අත්දැකීම් බහුල, පරිණත, සුවිශිෂ්ඨ සටන්කරුවන් ඇසුරේ කඩු ශිල්ප, දුනු ශිල්ප, හස්ති ශිල්ප, අශ්ව ශිල්ප ආදී වූ සෑමසියලු කම්බැට් සබ්ජෙක්ට් එකක් ම මාස්ටර් කරමින් විශිෂ්ඨ ගණයේ රණශූරයෙක් බවට පත්වෙනව,

    කොයිතරම් සුපිරියටම මානවම්ම කුමාරය සටන් ශිල්ප මාස්ටර් කරනවද කියනව නම් අවසානෙ පල්ලව රාජ්‍යයෙ උන්නු විශිෂ්ඨතම රණශූරයා බවට පත්වෙනව,

    හව්හරණක් නැතුව උන්නු තමන්ව ආදරෙන් භාරගත්තු නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ හමුදාවට බැඳෙන මානවම්ම ක්‍රමක්‍රමයෙන් රෑන්ක්ස් අප් කරමින් රජ්ජුරුවන්ගෙ හමුදාවෙ සෙන්පතිවරයෙක් වෙනව,

    ඔය කාලෙ තමයි කාංචිපුරම්හි පල්ලවයන් සහ ඩෙකෑන් හි චාලුක්‍යයන් අතරෙ යුද්ධය සැරටම ඇවිළෙන්නෙ,

    චාලුක්‍යයන්ගෙ අගනුවර වුණු වටාපි, වර්තමානයේ නම් බදාමි අසළ බිහිසුණු සහ තීරණාත්මක සටනක් ඇවිළෙනව,

    මේ සටන ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ 'වටාපි සංග්‍රාමය' නමින්,

    මේ සංග්‍රාමයේදී පලව හමුදාවෙන් විශාල කොටසක් ලීඩ් කරන්නෙ අපේ මානවම්ම කුමාරයා,

    චාලුක්‍ය හමුදාවන් සුන්නත්දූලි කරමින් ඔවුන්ගේ රජු වුණු දෙවැනි පුලකේශීන්ගෙ අවසානය සනිටුහන් කරමින් අවසානයෙ වටාපි නුවර පල්ලවයන්ගේ ධජ ලෙළවමින් මානවම්ම කුමාරයා දක්වන සුවිශිෂ්ඨ ගණයේ සංග්‍රාමික දක්ෂතාවයන් නිසාවෙන් එයා පල්ලවයන් අතරෙ යුධ වීරයෙක් බවට පත්වෙනව,

    කීර්තිය, යසස, ගෞරවය හැමදේම පල්ලවයන් කෙරෙන් මේ ලාංකික කුමාරයා වෙතට මුහුද ගොඩගලන්නාක් සේ ඇදී එනව,

    ඒ වගෙම නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ ගෞරවාදරයත් මානවම්ම කුමාරයට නොඅඩුව ලැබෙනව,

    වෙන රජෙක් යටතේ හැදීවැඩුණත්, වෙන රජෙක් යටතේ සටන්වැදුණත් මානවම්ම කුමාරයට තමන් ලංකාද්වීපයේ සිංහාසනයෙ නීත්‍යනුකූල උරුමක්කාරයා වග අමතක වුණේ නෑ,

    නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ මාලිගයෙ සීමැඳුරු කවුළුවකින් පෙනුණු විසල් වපසරියක පැතිරීගත් පල්ලව රාජ්‍යය දිහා බලාගෙන එක්තරා හවස් යාමෙක මානවම්ම කුමාරයා දැඩි කල්පනාවක ගිලී උන්නා,

    'මම කොහොමහරි මට අයිති රජකම ලබාගන්න ඕන!'

    එයා තමන්ටම කියාගත්තා,

    ජීවිතය බේරාගැනීම වෙනුවෙන් මෙහේට ආපු දා පටන් මේ දක්වා වුණු සෑමසියලු දෙයක්ම එයාට තමන්ගෙ හිත ඇතුළෙ ඒ මොහොතෙ මැවී පෙනුණා,

    'දැන් මෙහෙම හිටියා ඇති! දැන් මම මට උරුම දේ ලබාගන්න වැඩකරන්න ඕන!'

    මානවම්ම තමන්ටම කියාගත්තෙ දෑත් මිට මොළවන ගමන්, ඒ වගෙම තමන්ගෙ අභිමතාර්ථය මුදුන්පත් කරගැනීම වෙනුවෙන් හිත ඇතුළෙ ප්ලෑන් එකක් ගොඩනඟන ගමන්,

    එක පැත්තකින් තමන් වයසට යනව, අනිත් පැත්තෙන් නරසිංහවර්මන් රජ්ජුරුවො දැන් වයස්ගතයි, කොයි මොහොතේ හොක් ගාල යයිද දන්නෙ දෙයියො තමයි, රජ්ජුරුවන්ගෙ පුතා තමන්ට උදව් කරාවිද කියන එක අවිනිශ්චිතයි,

    ඒ නිසා ඉක්මනින්ම කරන දෙයක් කළ යුතුව තිබුණා,

    හෝරා කීපයක් පුරාවටම දැඩි කල්පනාවක නිමග්න වුණු මානවම්ම ඈත ක්ෂිතිජය දිහාවෙන් ඉර ගිලිලා යන මොහොතේ ඒ සඳළුතලාවෙන් පිටතට ආවා,

    ඔහුගේ ඇස්වල සටහන් වෙලා තිබුණෙ කොයිතරම් කාලයක් ගියත් එක් අබමල් රේණුවක හෝ වෙනසක් නොවුණු දැඩි අධිෂ්ඨානයක සලකුණු,

    පන්දම් විලක්කුවලින් ආලෝකමත් වුණු, දෙපස බිත්ති නෙක කැටයමින් සැරසූ, පොළොව අගනා බුමුතුරුණුවලින් ආවරණය වුණු මාලිගයේ ශාලාවන්, කොරිඩෝ මැද්දෑවෙන් මානවම්ම ගියේ නරසිංහවර්මන් රජ්ජුරුවන්ව මුණගැහෙන්න,

    අවේලාවක වුණත් රජ්ජුරුවො තමන්ගෙ අතිශූර සෙන්පතිවරයා ව බොහොම ආදරයෙන් පිළිගත්තා,

    මානවම්ම වටරවුම් නොගහ කෙළින්ම කතාවට බැස්සා,

    තමන්ට හිමි ලංකාද්වීපයේ රාජ්‍ය උරුමය ලබාගන්න නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙන් සේනාවක් ඉල්ලුවා,

    නරසිංහවර්මන් රජ්ජුරුවන්ට තමන් වෙනුවෙන්, පල්ලව රාජ්‍යය වෙනුවෙන් මේ තරම් දෙයක් කරපු මේ තරුණ ලාංකික කුමාරයාගෙ ඉල්ලීම අහක දාන්න බැරිවුණා,

    මානවම්ම කුමාරයා ඊට හෝරාවකට විතර පස්සෙ ඒ ශාලාවෙන් පිටවුණේ සිනහමුසු මුහුණෙන්, ඔහුගේ හදවත ප්‍රීතියෙන් ඉපිළෙමින් තිබුණෙ, ඒත් ඒ ප්‍රීතිය ට, ආතල්මය හැඟීමට යටින් පොඩි ත්‍රිල් එකක් නොතිබුණා නෙවෙයි,

    සති කීපයක් ගතවුණා,

    ලංකාද්වීපයෙ අනුරාධපුර රාජධානියෙ ඔය කියන කාලයෙ රාජ්‍යත්වය දරමින් උන්නු දාඨෝපතිස්ස රජ්ජුරුවන්ගෙ රාජසභාවට එක්තරා උදෑසනක හතිදමමින් දුවගෙන ආවෙ පයිණ්ඩකාරයෙක්,

    රජ්ජුරුවො පයිණ්ඩකාරයා දුන්නු හසුන කියෙව්වා,

    එක් ක්ෂණයකින් රජ්ජුරුවන්ගෙ මූණ අඳුරු වෙලා ගියා,

    හසුනෙ තිබුණෙ ලංකා වෙරළට ගොඩබැහැපු සුවිශාල පල්ලව සේනාවක් ගැන, සහ ඒක ලීඩ්කරන මානවම්ම කුමාරයා ගැන,

    මානවම්ම කුමාරයා කියන්නෙ මොන වගෙ කෙනෙක්ද කියල ඉන්දියාවෙන් ආපු නිව්ස්වලින් දාඨෝපතිස්ස රජ්ජුරුවො නොදැන උන්නා නෙවෙයි,

    කමින් කලර්ස් නොට් ගුඩ් බවත්, තමන්ගෙ අවසානය කමිං සූන් බවත් දාඨෝපතිස්ස රජ්ජුරුවන්ට තේරුණා,

    මොකද අතිප්‍රබල පල්ලව සේනාවන් සහ ඔවුන්ව ලීඩ් කරන රණශූර මානවම්ම කුමාරයා එක්ක සටන්කරල දිනන එක අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්!

    මානවම්ම කුමාරයා සුවිශාල සහ බලසම්පන්න පල්ලව සේනාවන් පිරිවරාගෙන අනුරාධපුර දිහාවට ඇදෙන්න ගත්තා,

    ඒ අතරමඟදි සුළු සුළු සටන් කීපයක් ඇතිවුණත් ඒ හැම සටනක්ම ගේමක් නැතුව ජයග්‍රහණය කරන්න පල්ලව සේනාවන්ට පුළුවන් වුණා,

    අවසානෙ ඔවුන් අනුරාධපුරයට උතුරු දෙසින් සහ වයඹ දෙසින් කඳවුරු බැඳගත්තා,

    'හෙටින් පස්සෙ මේ රාජ්‍යයෙ රජ්ජුරුවො මම!'

    මානවම්ම තමන්ටම කියාගත්තෙ සඳ එළියෙන් ආලෝකමත් වුණු ඈත අනුරාධපුර ස්කයිලයින් එක දිහා බලාගෙන,

    ඒක පුදුමාකාර ලස්සන දර්ශනයක්!

    චන්ද්‍රාලෝකයෙන් නැහැවුණු ආකාසෙ සිඹින මහාසෑය, අභයගිරිය, ලෝවාමහාපාය, නගරයේ රජමාලිගා සහ අවශේෂ ගොඩනැගිලිවල වහළ, සඳමඬල හා තාරුකා කැට සුපිපි රාත්‍රී අහසෙ ප්‍රතිබිම්භය තමන් මත්තෙ සටහන් කරගත්තු පෙර රජ දවස ඉදිවුණු මහා වැව්,

    කොයිතරම් බලාන උන්නත් එපාවෙන්නෑ!

    'මේ සා ලස්සන රාජධානියක රජ්ජුරුවො වෙන්න තරම් තමන් කොයිතරම් නම් වාසනාවන්ත ද?'

    මානවම්ම හිතුවෙ බසවක්කුළම වැව දිහාවෙන් හමාගෙන ආපු සිහිලැල් සුළඟේ ආශ්වාදය වින්දනය කරමින්,

    ඔහුගේ සමාධිය බිඳලමින් එතැනට ආවෙ කාලවර්ණයෙන් සැරසීගත්තු මිනිසෙක්,

    ඒ මානවම්ම විසින් අනුරාධපුර රාජධානියෙ ඔත්තු බැලීම වෙනුවෙන් යොදවා සිටි අතිශූර ඔත්තුකාරයෙක්,

    ඔහු ආවෙ හිස් අතින් නෙවෙයි, සුබාරංචියක් අරගෙන,

    'දාඨෝපතිස්ස රජ්ජුරුවො මලය රටට පැනල ගිහිල්ල!'

    ඔත්තුකරුවා කියපු ඒ පණිවුඩය හමුවේ මානවම්මගෙ මුවඟට නැඟුණෙ මන්දහාසයක්,

    දැන් ඉතින් සටන දිනුවා හා සමානයි!

    ඒත් මානවම්ම කලබල වුණේ නෑ,

    තමන්ගෙ රට වුණත්, තමන්ට අයිති රාජධානිය වුණත් තමන් මේ ඇවිල්ල ඉන්නෙ නුහුරු ප්‍රදේශයකට,

    ඒ නිසා තමන් කරන කියන හැම දෙයක් ම බොහොම පරෙස්සමට, සූක්ෂමව කරන්න ඕන,

    එක වැරදි පියවරකින් හැමදේම ක්ෂණයෙන් විනාශ වෙලා යන්න පුළුවන්,

    මේ රැයේම අනුරාධපුරය වටළන්න පුළුවන් වුණත් මානවම්ම ඉර උදාවෙනකල් තවත් පැය කීපයක් ඉවසන්න තීරණය කරා,

    මානවම්මගෙ හිතේ තිබුණෙ ලේ වැගිරීමකින් තොරව අනුරාධපුරය තමන් සන්තක කරගැනීමේ අරමුණක්, මොකද මේ වැගිරෙන්නෙ තමන්ගෙම රටේ මිනිස්සුන්ගෙ ලේ බව එයා දැනං උන්නා,

    දාඨෝපතිස්ස රජ්ජුරුවො පැනල ගියපු නිසා අනුරාධපුරය දැන් තමන්ගෙ වගේ තමයි,

    තව පැය කීපයකින් ඉර උදාවෙනව, ඊටපස්සෙ අනුරාධපුරය වටලනවා, දැනටමත් චරපුරුෂයින්ගෙන් එන තොරතුරුවලට අනුව දාඨෝපතිස්ස රජ්ජුරුවන්ගෙ සේනාවෙන් විශාල කොටසක් මානවම්ම ට සපෝට් කරන්න රෙඩිපිට උන්නෙ, ඒ නිසා බොහෝවිට අනුරාධපුරය සටනකින් තොරවම යටත් කරගන්න පුළුවන් වේවි,

    ඊටපස්සෙ...

    'අවුරුදු ගාණක් පුරාවටම දැකපු ඒ සිහිනය එළිවෙන්න තව පැය කීපයයි!'

    ඒත් දෛවය කියන්නෙ පුදුමාකාර දෙයක්,

    ඒක මනුස්සයෙක්ට තමන්ට උවමනා දේ පහසුවෙන්, ලේසියෙන් දෙන්නෙ නැති තරම්!

    සටන ඇරඹෙන්න පැය කීපෙකට කලියෙන් මානවම්ම හොයාගෙන ආවෙ හසුනක්,

    ඒ හසුන හැමදේම උඩුයටිකුරු කරාවි කියල මානවම්ම සිහිනෙකින්වත් නොහිතන්න ඇති...
    .
    දිනන්න ඔන්න මෙන්න තියෙද්දි ආපු ඒ හසුන කාගෙන්ද?

    ඒකෙ තිබුණෙ මොකක්ද?

    ඒක හෙට, මේ සටහනේ දෙවැනි කොටසින් කියවමු,

    සටහන ටිකක් දිග නිසා කොටස් දෙකක් විදිහට දාන්න හිතුවා, ඒ ගැන අමනාප වෙන්නෙ නැතිවෙයි කියල හිතනවා,

    දැනට ප්‍රොෆයිල් එක ෆලෝකරල නැත්තං ෆලෝ පාරක් දාන්න, ඒ වගෙම තව කෙනෙක්ට කියවන්න ශෙයා කරනවා නම් මැනවි,

    එහෙම නම් හෙට සෙට්වෙමු! 💖
    .
    ~ ✍️| විකුම්...
    .
    .
    .
    .
    .
    #WIKUM #HISTORY #srilanka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,470
    113
    මානවම්ම තමන්ගෙ අතට පත්වුණු පල්ලව රාජ්‍ය ලාංඡනය සහිත තල්පත දිගහැරියෙ ගැහෙන හදවතින්,

    මේ ඊයෙ ලියපු මානවම්ම රජ්ජුරුවන්ගෙ කතන්දරේ දෙවැනි කොටස, මුල් කොටස මිස්වුණු කෙනෙක් ඉන්නව නම් ෆස්ට් කමෙන්ට් එකේ ඒකෙ ලින්ක් එක ඇති,

    එතැනින් ගිහින් කියවල ආයෙ මෙතැනට එන්න,

    අනිත් අය යමු කතාවෙ ඉතුරු කොටස දිහාවට,

    කූඩාරම ඇතුළෙ දල්වා තිබුණු පහන්වල ආලෝකයෙන් තල්පත කියවපු මානවම්මගෙ මුහුණ අඳුරුවුණේ එක් ක්ෂණයකින්,

    ඔහුගේ හුස්ම සහ හදගැස්ම එක මොහොතකට නැවතුණා,

    තමන්ගෙ දෙපා අප්‍රාණික වෙනව වගෙ දැනුණු නිසා ඔහු ඒ ආසන්නයෙ තිබුණු පුටුවකට බරවුණා,

    'මේක වෙන්න බෑ!'

    මානවම්ම තමන්ටම කියාගත්තෙ වෙව්ළමින්, ඔහු දැඩි කම්පනයක ගොදුරක් වෙලා උන්නෙ,

    ඒ කම්පනයට හේතුවුණු පයිණ්ඩය සහිත තල්පත ඔහුගේ වෙව්ළන අතැඟිලි අස්සෙ හිරවෙලා තිබුණා,

    'නරසිංහවර්මන් රජ්ජුරුවො අභාවප්‍රාප්ත වෙලා, අලුත් රජෙක් රාජ්‍යත්වයට පත්වෙලා...'

    භයානකම කාරණය ඒක නෙවෙයි,

    'නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ අභාවයත් එක්ක චෝලයින් පල්ලව දේශය ආක්‍රමණය කරන්න අවදානමක් තියෙන නිසා අලුත පත්වුණු රජ්ජුරුවො ලංකාද්වීපයට ආපු පල්ලව සේනාවන්ට වහාම පල්ලව දේශයට එන්න අණ කරල...'

    තොලකට සිඳුණු මානවම්ම වේගවත් හුස්මන් හෙළමින්, දැඩි මානසික කම්පනය සමඟ ඔට්ටුවෙමින් කල්පනා කරන්න ගත්තා,

    මේක තීරණාත්මක මොහොතක්,

    රජ්ජුරුවන්ගෙ නියෝගයට පිටුපාලා සේනාවන් මෙහේ තියාගෙන සටන් කරල ලේසියෙන්ම අනුරාධපුරය දිනාගන්න පුළුවන්,

    ඒත්, ඒ හිතුවක්කාර තීරණය මිලාධික එකක්, ඒකට මිල ගෙවන්න වෙන්නෙ ජීවිතයෙන්,

    පල්ලව රාජ්‍යය කොහොමහරි චෝලයින්ගෙ ආක්‍රමණය ව්‍යර්ථ කළොත් එයාල ඊළඟට හැරෙන්නෙ ලංකාද්වීපය දිහාවට, තමන්ට නිසැකවම එයාලගෙ උදහසට මුහුණදෙන්න වෙනව,

    අනික් අතට චෝලයො දිනුවොත් උ.න් හැරෙන්නෙත් ලංකාද්වීපය පැත්තට,

    එහෙම වුණොත් ඒක ඊටත්වඩා අවුලක්,

    කොහෙන් ගියත් කෑමක් සෙට්වෙනව,

    මානවම්ම පැටළිලා උන්නෙ පඹගාලක,

    'මේ පැටළුණු නූල්බෝලය කොහොමහරි ලෙහාගන්න ඕන.'

    කූඩාරමෙන් එළියට ආපු මානවම්ම ඈතින් ඉර උදාවෙනව බලාගෙන හිතුවා,

    'පල්ලව සේනාව ආපහු එහේට යවනව, මම දෙකෙන් එකක් විසඳගන්න මෙහේ ඉන්නව,'

    මානවම්ම අවසානයෙ ඒ අසීරු තීරණයට ආවා,

    ඒ, උද්ගත වෙලා තිබුණු තත්වය ගැන හෝරා කීපයක් මුළුල්ලේම තමන්ගෙ දෙස් විදෙස් හිතෛෂින් සමඟ සාකච්ඡාවෙන් පස්සෙ,

    මේ වෙනකොට මානවම්ම සන්තකව ලාංකික සේනාංකයන් කිහිපයක් තිබුණා,

    ඔවුන් සහ මානවම්ම ලංකාවෙ ඉඳිද්දි පල්ලවයන් ආයෙමත් තමන්ගෙ රට බලා යන්න නැව් නැග්ගා,

    'අතට ගත්තු දේ කටට දාගන්න බැරිවුණා'

    අනුරාධපුර වටළන්න උන්නු පල්ලව සේනාව තමන්ව අතහැරල දාල යන දිහා බලාගෙන මානවම්ම සෝසුසුම් හෙළුවා,

    ජයග්‍රහණය පෙනි පෙනී වුණු මේ අබග්ගය ගැන හිතහිතා ලතැවුණා,

    මේ අතරෙ අනුරාධපුරයේ උන්නු දාඨෝපතිස්ස රජ්ජුරුවන්ගෙ සේනාවන් අතරෙ පල්ලව සේනාවන්ගෙ නික්මීම ගැන පැතිරුණේ වෙනත් වෙනස් කතන්දර,

    'මානවම්මට දරුණු අසනීපයක්, පල්ලවයො එයාව අතෑරල ගියේ ඒ නිසා,'

    'මානවම්ම සහ පල්ලවයො අතරෙ මතගැටුමක් ඇතිවෙලා. අවසානෙ පල්ලවයො මානවම්ම අතෑරල ගිහිල්ල,'

    මේ ආරංචිවලට තටු ලැබුණා, ඒවා මලය රටේ හැංගිලා උන්නු දාඨෝපතිස්ස රජ්ජුරුවන්ගෙ කනට වැටුණා,

    'මානවම්ම දුර්වල වෙලා ඉන්නෙ, මේක තමයි පහරදෙන්න සුදුසුම වෙලාව'

    නොහිතූ මොහොතක දෙවියො තමන් දිහා බලල ලබාදුන්නු මේ චාන්ස් එකට ස්තූතිවන්ත වෙමින් දාඨෝපතිස්ස තමන්ගෙ සේනාව ප්‍රතිසංවිධානය කරා,

    ඊටපස්සෙ අනුරාධපුරය දිහාවට ඇදෙන්න ගත්තා,

    'මේ සේනාව එක්ක මට අනුරාධපුරය අල්ලගන්නවත්, දාඨෝපතිස්ස රජ්ජුරුවන්ගෙ සේනාව එක්ක සටන්වදින්නවත් බෑ,'

    මානවම්ම චරපුරුෂයින්ගෙන් ලැබුණු තොරතුරු සහ අනෙකුත් තොරතුරු බේස්කරගෙන උද්ගත වෙලා තිබුණු තත්වය ඇනලයිස් කරමින් හිතුවා,

    'මේ වෙලාවෙ අඩියක් පස්සට ගන්න ඕන,'

    ඒත්...රජකම තිබුණෙ පේනමානෙ, ආයෙමත් මෙහෙම චාන්ස් එකක් එන්නෑ,

    ඒත්, ඒ හැමදේකටම වඩා වටින්නෙ ජීවිතය,

    ඇස්පනාපිට බිඳුණු සිහිනයක සුන්බුන් කැබිලිති දෝතින් දරාගෙන, බිඳුණු හදවතක් ඇතිව මානවම්ම ආයෙමත් පල්ලව දේශයට පැනගත්තා,

    පල්ලව දේශයෙ රජ්ජුරුවො මානවම්ම ට කලින් තනතුරම ලබාදුන්නා,

    කාලය ගතවෙනව,

    අවුරුද්දක්, දෙකක්, තුනක්, පහක්, දහයක්, විස්සක්,

    මේ අවුරුදු විස්සක කාලපරාසය මානවම්ම ගතකරන්නෙ පල්ලව රජවරු දෙන්නෙක්ගෙ පක්ෂපාතී සෙන්පතියෙක් විදිහට,

    ඒ කාලය පුරාවටම ඇස්පනාපිට බිඳුණු රජවීමේ සිහිනය තමන්ගෙ හිත ඇතුළෙ කීවතාවක් නම් හොල්මන් කරාද කියල දන්නව ඇත්තෙ මානවම්ම ම විතරයි,

    එක්තරා හවස් යාමෙක මානවම්ම සෙන්පතියා තමන්ගෙ සේනාව සමඟ පල්ලව රාජ්‍යයෙ රජමාලිගා පරිශ්‍රයට සැපත් වුණා, ඔවුන් මේ එන්නෙ සති කිහිපයක යුධ ව්‍යාපාරයකට පස්සෙ,

    හිස් අතින් නෙවෙයි, ජයග්‍රහණ කීපයකුත් එක්ක, ඒ ගැන දූතයින්ගෙ මාර්ගයෙන් දැනගෙන උන්නු දෙවැනි නරසිංහවර්මන් රජ්ජුරුවො බලා උන්නෙ මානවම්ම ව ගෞරවාදරයෙන් යුතුව පිළිගන්න,

    මානවම්ම තමන්ගෙ අසුපිටින් බැහැල පහන්වලින් අලංකෘත මාලිගා අංගණය හරහා රජමාලිගය තුළට ඇවිද එන විදිහ දිහා නරසිංහවර්මන් රජ්ජුරුවො සඳළුතලයෙ ඉඳන් බලාගෙන හිටියා,

    'මේ ඉන්නෙ එසේමෙසේ මනුස්සයෙක් නෙවෙයි, ලංකාද්වීපයේ සිංහාසනයෙ උරුමක්කාරයා,'

    දෙවැනි නරසිංහවර්මන් රජ්ජුරුවො මානවම්ම ගැන තමන්ට අහන්න ලැබුණු දේවල් එකිනෙක මතක් කරා,

    අවුරුදු විස්සකට කලියෙන් ජයග්‍රහණය පෙනි පෙනී ඔහුට මුහුණපාන්නට වුණු අබග්ගය ගැන අහල තිබුණු කතන්දර රජ්ජුරුවන්ට සිහිපත් වුණා,

    'දෛවයෙ හැටි,'

    නරසිංහවර්මන් තමන්ටම කියාගත්තා,

    ඒත් දෛවය කියන්නෙ විටෙක තමන්ට උවමනා විදිහට හසුරුවන්න, වෙනස්කරන්න පුළුවන් දෙයක්,

    ජීවිතයෙ හැමදේම දෛවයට ම භාරදීල පැත්තකට වෙන මිනිස්සු ඒ බව දන්නෑ,

    'මානවම්ම ට ඇවිල්ල මාව බැහැදකින්න කියන්න,'

    නරසිංහවර්මන් රජ්ජුරුවො තමන්ගෙ ළඟ උන්නු හේවායෙක්ට අණකරා,

    ඊට අඩහෝරාවකට පමණ පස්සෙ නරසිංහවර්මන් රජ්ජුරුවො මුණගැහෙන්න මානවම්ම සෙන්පතියා පැමිණියා,

    සැපපහසු ආසනයක අසුන්ගෙන උන්නු නරසිංහවර්මන් රජ්ජුරුවො තමන්ගෙ සෙන්පතියාට අසුන්ගන්නැයි සන්කළා, ඊටපස්සෙ මානවම්මගෙ මුහුණ දිහා බැලුවා,

    ඔහු දැන් අර ඉස්සර උන්නු තරුණයා නෙවෙයි, සම රැළිවැටිල, හිසකෙස් සහ දිගු රැවුළෙ තැනින් තැන සුදුපැහැගැන්විලා,

    නරසිංහවර්මන් රජ්ජුරුවො කෙළින්ම කතාවට බැස්සා,

    'මම ඔබට ලංකාද්වීපයෙ රාජ්‍යත්වය ලබාගන්න උදව්කරන්න කැමතියි,'

    මානවම්ම නරසිංහවර්මන් රජ්ජුරුවන්ගෙ මූණ දිහා බැලුවෙ පුදුමයෙන්,

    ඒත් ඒ පුදුමය පිරුණු බැල්ම එක මොහොතකින් හැඟීම් විරහිත හිස් බැල්මකට වෙනස් වුණා,

    මානවම්ම ට කලින් වතාවෙ වුණු දේ මතක්වුණා, ඇස්පනාපිට බිඳුණු හීනයෙ කම්පනය තවමත් මානවම්ම කෙරෙන් බිඳක්වත් පහවෙලා තිබුණෙ නෑ,

    නරසිංහවර්මන් රජ්ජුරුවන්ට මානවම්මගෙ නිහැඬියාව සහ එය පිටිපස්සෙ තිබුණු වේදනාව තේරුණා,

    දවස් කීපෙකට පස්සෙ රාජ සභාව රැස්වුණා,

    එතනදි නරසිංහවර්මන් රජ්ජුරුවො මානවම්ම සෙන්පතියා ව ඉස්සරහට ගෙන්නුවා,

    'මේ ඉන්නෙ ලංකාද්වීපයෙ රාජ්‍යත්වයේ උරුමකාරයා!'

    නරසිංහවර්මන් රජ්ජුරුවො මානවම්මගෙ උරිස මත සුරත තබමින් කිව්වෙ සාඩම්බරයෙන්,

    ඊටපස්සෙ ඔහු තමන්ගෙ උරිස්සෙ තිබුණු රාජකීය සළුව ගැලෙව්වා, ඒක මානවම්මගෙ උරිස්සට උඩින් පෙරෙව්වා,

    පල්ලව රාජසභාව ඉස්සරහ අනපේක්ෂිත මොහොතක කරපු මේ වැඩෙන් මානවම්මට අමුතුම ගැම්මක් ආවා,

    මානවම්මගෙ වෙනස නරසිංහවර්මන් රජ්ජුරුවන්ට දැනුණා,

    'පල්ලව සේනාව සමඟ ලංකාද්වීපයට යන්න, තමුන්ට අයිති රාජ්‍යත්වය ලබාගන්න,'

    නරසිංහවර්මන් රජ්ජුරුවො කිව්වෙ මානවම්ම ට ආශිර්වාද කරමින්,

    සති කිහිපයක් ගතවුණා,

    ලංකා ආක්‍රමණය වෙනුවෙන් අවශ්‍ය සේනාව, අවිආයුධ ආදී සෑමසියලු දෙයකින්ම සන්නද්ධ වුණු මානවම්ම ප්‍රමුඛ පල්ලව සේනාවන් නෞකා සියගාණක නැඟල ලංකාව බලා යාත්‍රාකරන්න ගත්තා,

    හමාගෙන ආපු සුළං පහර එක්ක ලංකාද්වීපය බලා වේගයෙන් ඇදුණු නෞකා පෙළේ ඉදිරියෙන්ම යාත්‍රාකරපු රාජකීය පෙනුමැති නෞකාවෙ පිටුපස දාරුමය වැටට බරවෙලා උන්නු මානවම්මගෙ බැල්ම යොමුවුණේ ක්‍රමක්‍රමයෙන් මැකී වියැකී යන භාරත දේශය දිහාවට,

    ඒ දෑස්වල සටහන් වෙලා තිබුණෙ දශක ගාණකට කලියෙන් කාගෙවත් හව්හරණක් නැතුව පණ බේරගන්න ලංකාද්වීපයෙන් පැනල ආපු තමන්ව සාදරෙන්, ආදරෙන් වැළඳගත්තු, තමන්ට ගොඩනැඟෙන්න උදව් උපකාර කරපු මේ දේශය කෙරෙහි තමන්ගෙ හදපත්ලෙන්ම නැඟුණු කෘතඥතාවය,

    තමන් ආයෙමත් භාරතයට එන්නෙ නැහැ,

    තමන් මේ යන්නෙ ආයෙමත් නොඑන ගමනක්,

    'එක්කො රාජ්‍යත්වය, එහෙම නැත්තං මරණය'

    මානවම්ම මෙදා සැරේ පල්ලව රාජ්‍යයෙන් පිටවුණේ ඒ අධිෂ්ඨානය එක්ක,

    ක්‍රමයෙන් භාරත දේශය ක්ෂිතිජයෙන් මැකීයත්ම මානවම්ම නෞකාවේ ඉදිරියට පා නැඟුවා, දැන් දැන් ලංකා භූමිය ඈතින් යන්තමට යන්තමට වගෙ දිස්වෙනව,

    මොහොතින් මොහොත මානවම්ම ප්‍රමුඛ සියගණනක් වූ පල්ලව නෞකාවන් ලංකාද්වීපයට සමීප වෙනව,

    මේ කොටස එක ලියනකොට මට මැවිල පෙනුණෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් සීරීස් එකේ ඩැනේරිස් ටාගේරියන් එයාගෙ සේනාව එක්ක ටාගේරියන් ලෝගෝ එක සිත්තම් කරපු රුවල් සහිත නෞකා සියගාණකින් වෙස්ටරෝස් බලා එන ඒ එපික් සීන් එක,

    මේ ස්ටෝරිය කවමහරි දවසක හැදෙනව නම් ඒ වගෙ හැදුණොත් මරු!

    අවසානයේ මානවම්ම ලංකාද්වීපයට පය තබනවා, ඒ අවුරුදු විස්සකට පස්සෙ!

    මුලින්ම යාපනය ඇතුළු උතුරුකරයේ බලය අල්ලගන්න මානවම්ම අනුරාධපුරයේ පාලකයින්ගෙන් ඩිරෙක්ට්ලි ගේම ඉල්ලනව,

    මේ වෙනකොට අනුරාධපුර රාජධානියෙ රාජ්‍යත්වය දැරුවෙ හත්ථදාඨ කියල හාදයෙක්,

    එයා ඇවිල්ල චෝලයින්ගෙ රූකඩයක්, ලිටරලි ලංකාව තිබුණෙ චෝලයින්ගෙ අතේ,

    මේ කියන හත්ථදාඨගෙ ගාව පොත්ථකුට්ඨ කියල ඇමතියෙක් හිටියා, මිනිහා ඇවිල්ල ගල් ඇම්ඩා, රජ්ජුරුවන්ව තමන්ට ඕන ඕන හැටියට අල්ලෙ නටවපු හාදයෙක්,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,470
    113
    මානවම්මගෙ සම්ප්‍රාප්තිය සහ උතුරුකරයේ බලය අල්ලාගැනීම ගැන චරපුරුෂයින්ගෙන් ආරංචි වුණු හත්ථදාඨ, පොත්ථකුට්ඨ ඩබලට හීක් ගෑවුණා,

    'දැන් මොකද කරන්නෙ?'

    සර්වාංගෙම දාඩියෙන් පෙඟුණු හත්ථදාඨ වෙව්ළනසුළු ස්වරයකින් පොත්ථකුට්ඨගෙන් ඇහුවා,

    'වෙන මොනව කරන්නද? සටන්වදිනව මිසක්?'

    පොත්ථකුට්ඨ උත්තර දුන්නා, හැබැයි මිනිහ ඉන්තේරුවෙන්ම දැනන් උන්නා මේක දිනන්න බැරි සටනක් වග,

    ඒත් ඒ වග නොකියා හත්ථදාඨ ව ෆෝම් කරා, ඒ තමන්ගෙ ගැලවීම වෙනුවෙන් රහසිගතව ප්ලෑන් බී එකක් ලෑස්තිකරන ගමන්,

    මානවම්ම ප්‍රමුඛ බලසම්පන්න පල්ලව සේනාවන් මාර සේනාවක් වගේ අනුරාධපුරය දිහාවට ඇදුණා,

    ඔවුන් එනකල් අනුරාධපුර වාසල් ද්වාර අභියස ඉඳන් සේනාවන් සමඟ බලාඋන්නෙ පොත්ථකුට්ඨ කියන ලෝක ඇම්ඩා විසින් ෆෝම්කරනු ලැබූ හත්ථදාඨ රජ්ජුරුවො,

    පව් අසරණයා!

    මිනිහා එහෙම බලන් ඉන්න අතරෙ පොත්ථකුට්ඨ තමන්ගෙ ප්ලෑන් බී එක ඉනීශියේට් කරන්න ලකලෑස්ති වුණා,

    මොකද රූකඩ රජෙක් විසින් මෙහෙයවන දුර්වල සේනාවක් සහ සංග්‍රාම භූමියෙ අත්දැකීම් බහුල අතිශූර රණශූරයෙක් අතරෙ ඇවිළෙන්න නියමිත මේ සටන කෙළවර වෙන්නෙ කොහෙන්ද කියල මිනිහා දැනන් උන්නා,

    දෙසේනාවන් එකිනෙක ගැටුණා,

    හත්ථදාඨගෙ සේනාවන්ට මානවම්මගෙ සේනාවන් හමුවේ අත්වුණේ අන්ත පරාජයක්,

    රූකඩ හත්ථදාඨ ට තමන්ගෙ ජීවිතය බේරගන්න ලැබුණෙ නෑ, මිනිහා සංග්‍රාම භූමියේදීම මාරයා සම්මුඛ වුණා,

    මේ පරාජය කලින්ම ප්‍රෙඩික්ට් කරගෙන උන්නු සටකපට ලෝක ඇම්ඩන් පොත්ථකුට්ඨ ප්ලෑන් කරගෙන උන්නු විදිහටම මලය රටට පැන්නා,

    පොත්ථකුට්ඨගෙ හැටි දැනං උන්නු මානවම්ම මිනිහව තමන්ගෙ දෙපාමුලට කුදලගෙන එන්න සෙබළ ඛණ්ඩයක් මලය රටට යවන්න අමතක කළේ නෑ,

    ඒත් ඊටකලින් පොත්ථකුට්ඨ වස බීලා තමන්ගෙ අවසානය තමන්ම ලියාගත්තා,

    ඒ මානවම්මගෙ ජයග්‍රහණය තහවුරු කරමින්,

    විජයග්‍රාහී මානවම්ම අවසානයෙ තමන්ට පිය උරුමයෙන් හිමිවුණු, එහෙත් බලහත්කාරයෙන් උදුරාගනු ලැබූ අනුරාධපුරයට ඇතුළු වුණා,

    රූකඩ රජෙක්ගෙ පාලනයට නතුවෙලා, හැම පැත්තෙන්ම කළකිරිල උන්නු අනුරාධපුර ජනයා තමන්ගෙ අලුත් රජ්ජුරුවො, ඒ කියන්නෙ නැසීගිය දෙවැනි කාශ්‍යප රජ්ජුරුවන්ගෙ පුත්‍රයා ව, පල්ලව රණශූරයා ව දැකබලාගන්න මඟ දෙපසට එක්රැස් වුණා,

    ඒ හැම මූණකම සටහන් වෙලා තිබුණෙ අලුත් රටක ගෙවෙන යහපත් හෙට දවසක් ගැන අවිහිංසක බලාපොරොත්තුවක්,

    ඔවුන්ගේ ජයඝෝෂා මැදින් මානවම්ම අනුරාධපුර රජමාලිගයට ළඟාවුණා,

    ඒ වෙනකොටත් ඒක මානවම්මගෙ සේනාවන් විසින් අත්පත්කරගෙන තිබුණෙ,

    මාලිගා අංගණයේ රැස්වුණු අවිගත් සෙබළුන්, මාලිගයේ නිලධරයින් සහ දැසිදැස්සන්, භික්ෂූන් වහන්සේ, අනුරාධපුර නුවරවාසී ප්‍රභූවරුන්, සාමාන්‍ය ජනතාව ඇතුළු හැමෝම බලාඋන්නෙ අභිනව රජ්ජුරුවන්ගෙ සම්ප්‍රාප්තිය වෙනුවෙන්,

    ඔවුන් පමණක් නෙවෙයි,

    මානවම්ම ට නිතැනින්ම උරුම වුණු, එහෙත් බලහත්කාරයෙන් උදුරාගනු ලැබුණු, අවසානයේ දැඩි පරිශ්‍රමයකින් ඉක්බිති උරුම වුණු සිංහාසනයත් මානවම්මගෙ සම්ප්‍රාප්තිය බලාන උන්නා,

    අවසානයේ මානවම්ම පැමිණියා,

    අලංකෘත කැටයමින් සැරසුණු ගල්කණුවලින් නිර්මාණය වුණු, ධජපතාකාදිය ලෙළදුණු මහා ශාලාව මැද්දෙන් එළා තිබුණු රතු විල්ලුද පාවඩය මතින් කේසර සිංහරාජයෙක් වගේ මානවම්මයන් සිංහාසනය දිහාවට පා නැඟුවා,

    ජයසක් හඬින්, බෙර හඬින් හාත්පසම ගිගුම් දුන්නා,

    රැස්වෙලා උන්නු සියගණනක් වූ සෙනඟ කෙරෙන් ජයඝෝෂාවන් නැඟුණා,

    ඒ හැම මැද්දෑවෙන් ගරුගාම්භීර ගමනින් ඉදිරියටම ඇවිදගෙන ආපු මානවම්මයන් කැටයමින් අලංකෘත වුණු ශෛලමය වේදිකාව තරණය කර සිංහාසනය මතින් අසුන්ගත්තා,

    මානවම්මයන් රුහුණු, මායා, පිහිටි ආදී වූ තුන්සිංහලේටම රජ්ජුරුවො බවට අභිසෙස් ලැබුවා,

    දැන් එයා නිකංම නිකං මානවම්ම නෙවෙයි, පල්ලව රජ්ජුරුවො යටතේ උන්නු සේනාපතියා නෙවෙයි,

    වන් ඇන්ඩ් ඔන්ලි 'ත්‍රීසිංහලාධීශ්වර මානවම්ම'

    සති කීපෙකට පස්සෙ උදාවුණු එක්තරා අවිවේකී, විඩාබර දවසක් අවසන මාලිගා මතුමහල් තලයට මහරජ මානවම්ම ඈතින් පෙනුණු චන්ද්‍රාලෝකයෙන් නැහැවුණු අනුරාධපුර නගරය දිහා බලාන උන්නා,

    ඒත් ඒ සුන්දරත්වය වින්දනය කරන්න තරම් නිවුණු මානසිකත්වයක් මානවම්ම සන්තකව තිබුණෙ නෑ,

    ගතවුණු සති කීපයක කාලපරාසය තුළ සාක්ෂිසාධක, ගණන් හිලව් සහිතව දැනගන්න ලැබුණු 'රටේ හැබෑ තත්වය'
    මානවම්ම ව සෑ...හෙන තරමකට ප්‍රකම්පනයට පත්කර තිබුණා,

    'රජකම ලබාගත්ත වගේ නෙවෙයි කරන්න ගියහම'

    මහරජ මානවම්ම තමන්ටම කියාගත්තෙ බසවක්කුළම දිහාවෙන් හමාගෙන ආපු සීතල හුළං පහර හමුවේ ලෙළදුන්නු උඩුකය සළුව සකසාගනිමින්,

    අන්ධකාරෙ ආකාසෙ මැද්දෑවෙ පායාපු අනන්ත දුරකින් තිබුණු තාරුකා කැට දිහාවට දෑස් යොමාගෙන මානවම්ම රටේ යථා ස්වභාවය මනසින් මෙනෙහි කරන්න ගත්තා,

    තමන්ට ලැබුණෙ නානාවිධ නානාප්‍රකාර අභ්‍යන්තර ගැටුම් නිසාවෙන් හැම අතින්ම අස්ථාවර වෙලා තිබුණු රටක්,

    අවුරුදු හැටක් විතර තිබුණු මෞර්‍ය ලම්භකර්ණ සිංහාසන සටන රටේ හැම ක්ෂේත්‍රයකටම කණකොකා හඬවන්න සමත්වෙලා තිබුණා,

    එක පැත්තකින් සිවිල් යුද්ධ සහ දූෂිත පාලනයන් නිසාවෙන් රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වෙලා, රාජ්‍ය භාණ්ඩාගාරය විතරක් නෙවෙයි විහාරාරාමවල සහ ආගමික ආයතනාදියේ තිබුණු වස්තුව පවා ඒ වෙනුවෙන් වැයවෙලා,

    තත්වය සෝචනීයයි!

    අනිත් පැත්තට එක එක්කෙනාගෙ පදේට නටාපු රූකඩ රජවරු නිසා රටේ පාලන තන්ත්‍රය අන්ත දූෂිත තත්වයකට පත්වෙලා,

    ඒ අස්සට අනවශ්‍ය විදිහට පරිපාලනය ගැන මෙලෝ අලබෝලයක් නොදන්න ඇම්බැට්ටයො සහ අදාළම නැති චෝල නිලධාරීන් රිංගල එකම කැඳ හැලියක් වෙලා,

    හරිහමං නඩත්තුවක් නැතිකම නිසාවෙන් පෙර රජ දවස නිර්මිත වැව් අමුණු ආදී වාරිමාර්ගයන් බිඳිල ගිහිල්ල,

    රටේ ජීවනාලිය වුණු ගොවිතැන තිබුණෙ බිංදුවටත් පල්ලෙහා තැනක,

    ගොවිතැන වැටෙනව කියන්නෙ ගොවිතැන් බතක් කරල තමන්ගෙ ජීවිකාව සරිකරගත්තු සාතිශය බහුතරයක් වුණු සාමාන්‍ය පොදු ජනතාවගෙ ජීවන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන යැ?

    ඒ මිනිස්සුන්ගෙ ජීවිත තිබුණෙත් බිංදුවටත් පහළ තැනක,

    ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම, වැටුණු රට යථාතත්වයට පත්කිරීම, දේශපාලනිකව, ආර්ථිකව, සමාජීයව ස්ථාවර කිරීම සම්පූණයෙන්ම තියෙන්නෙ තමන්ගෙ උර මත්තෙ,

    තමන්ට ඉන් පැන යන්න බැහැ, තමන් ඉන් පැන යන්නෙත් නැහැ,

    'වහාම ක්‍රියාත්මක වෙන්න ඕන'

    ඔහු තමන්ටම කියාගත්තෙ දැඩි අධිෂ්ඨානයකින්,

    මානවම්ම මොකද කරේ?

    කලින් උන්නු පාලකයින්ට බැණ බැණ හිටියද? එහෙම නැත්තං ලම්භකර්ණ මෞර්‍ය සිවිල් යුද්ධවලට දොස්දෙවොල් තියමින් හිටියද?

    නෑ,

    මානවම්ම වහාම වැඩේට බැස්සා, තත්වය ඇනලයිස් කරා, වෙලාවෙ හැටියට ගතයුතු හැම පියවරක්ම නොබියව ගනිමින් හැම පැත්තකින්ම රට ස්ථාවර කරන්න පටන්ගත්තා,

    වැඩේ ලේසි වුණේ නෑ, ඒත් මානවම්ම කොහොමහරි වැඩේ ගොඩදැම්මා,

    රාජ්‍යත්වය භාරගන්නකොට සැලකිය යුතු වයසක උන්නු මානවම්ම පුරා අවුරුදු 35ක් ලංකාද්වීපයෙ රාජ්‍යත්වය දරනවා,

    ලේසිපහසු කාලපරාසයක් නෙවෙයි!

    ඉතිහාසය මේ කාලපරාසය ගැන සඳහන් කරන්නෙ ස්ථිරසාර, සාමකාමී රාජ්‍ය පාලනයක් පැවතුණු, සමෘද්ධිමත් යුගයක් විදිහට!

    සිවිල් යුද්ධ අනංමනං නිසාවෙන් නොසලකා හැරුණු, බිඳීගිය වැව් අමුණු ආදිය ප්‍රතිසංස්කරණය කෙරෙනවා,

    යථාතත්වයට පත්වෙන වාරිමාර්ග පද්ධතිය නිසාවෙන් රටේ ජීවනාලිය වුණු කෘෂිකාර්මික ක්ෂේත්‍රය පණගහල එනව,

    'රාජාවලිය'ට අනුව රජ්ජුරුවො වැව් අටක් කරවනව,

    දිරාපත් වෙහෙර විහාර ප්‍රතිසංස්කරණයට ලක්වෙනව,

    උතුරමුළ, වාදුමුල, දෙමටමල් පිරිවෙන, සත්වැලිය පිරිවෙන, උතුරු පිරිවෙන ආදී වූ අලුත් පිරිවෙන් ලාංකේය පිරිවෙන් පද්ධතියට එක්කාසුවෙනව,

    ඒ වගෙම මානවම්ම රජ්ජුරුවො ලාංකේය පාලන තන්ත්‍රය සිසාරා කැන්සර් එකක් වගෙ පැතිරෙමින් තිබුණු චෝල බලය මුලිනුපුටා දානව, එටුවක් කාලයක් පුරාවටම රටේ පාලන තන්ත්‍රයෙ උසස් තානාන්තර හොබවමින් රට කාබාසිනියා කරපු චෝල ලොකු ලොක්කො ඒවයෙන් පන්නල දාල ඒවට සුදුසු දේශීය නිලධරයින් පත්කරනව,

    කලින් කිව්ව වගෙම මානවම්ම කියන්නෙ තමන්ගෙ ජීවිත කාලයෙ ලොකු කොටහක් පල්ලව රාජ්‍යයෙ ගෙවාපු කෙනෙක්,

    එයා අවසානෙ රාජ්‍යත්වයට පත්වෙන්නෙත් පල්ලවයන්ගෙ සපෝට් එක ඇතිව,

    ඉතින් මහරජ මානවම්ම තමන්ට උදව්කරපු පල්ලව රාජ්‍යය එක්ක තිබුණු මිත්‍ර සම්බන්ධතාවයන් අතෑරල දැම්මෙ නෑ, ඒව එහෙම්මම තියාගෙන ගියා,

    ඒ නිසාම පල්ලව බලපෑම් රටේ නානාවිධ නානාප්‍රකාර ක්ෂේත්‍රයන්ටත් පැතිරුණා,

    අනුරාධපුරයේ ඉසුරුමුණි විහාරයෙ එහෙම තියෙන සමහර කැටයම් පල්ලව කලා සම්ප්‍රදායන්ට අයිතියි,

    සිංහල අක්ෂර මාලාවටත් මේ කාලයෙ පල්ලව බලපෑම් එනව,

    ඒ වගෙම විශේෂයෙන් කියන්ටෝන රජ්ජුරුවන්ව ඇතැම් මූලාශ්‍රවල හඳුන්වන්නෙ 'මානවර්මන්' කියල, මේ 'වර්මන්' කෑල්ල පල්ලවයින්ගෙන් ලැබුණු එකක් කියල විශ්වාස කරනව,

    වසර තිස්පහක සමෘද්ධිමත් රාජ්‍ය පාලනයකින් පස්සෙ මානවම්ම රජ්ජුරුවො අභාවප්‍රාප්ත වෙනව,

    ඉතිහාසයට අනුව රජ්ජුරුවන්ට පුත්තු තුන්දෙනෙක් ඉඳල තියෙනව,

    පසුකාලීනව පිළිවෙලින් පළවෙනි අග්බෝ, තුන්වෙනි කාශ්‍යප සහ පළවෙනි මහින්ද කියන නම්වලින් රාජ්‍යත්වයට පත්වෙන්නෙ එයාල,

    ඉතින් මේ තමයි ලංකා ඉතිහාසයේ සහ රාජාවලියෙ තවත් සුවිශේෂී චරිතයක් වුණු මානවම්ම රජ්ජුරුවන්ගෙ කතන්දරේ,

    මේ සටහන් ගැන, ඉස්සරහට ලියවෙන්න ඕන දේවල් ගැන ඔයාලගෙ මතය පල්ලෙහා කමෙන්ට්ස් තීරුවෙ නිදහසේ සටහන් කරන්න,

    ඒ වගෙම තව කෙනෙක්ට කියවන්න ශෙයාකරන්න,

    ප්‍රොෆයිල් එක ෆලෝකරල තියාගන්න,

    තවත් මේ වගෙම සටහනක් එක්ක සෙට්වෙමු! 💖
    .
    ~ ✍️| විකුම්...
    .
    .
    .
    .
    .
    #WIKUM #HISTORY #SRILANKA
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,013
    99,470
    113
    මේ මොනාද නූතන මානවම්ම රජු තාම ඉන්නවා තනි ධමණියකින් . රටේ අභිවෘද්ධිය කරා ඕනෑම මොහොතක සේවයට එන්න ලෑස්ති

    උබල කැමති නැනේ
    මේ රජතුමත් අවුරුදුම 30ක් විතර රජ වෙන්න try කරලා තමා වැඩේ ගොඩදාගෙන තියෙන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    ඔකේ නොකියවෙන පැත්ත තමයි, ඔය ඉන්දියාවෙන් ආපු හමුදාව ලංකාවේ පදිංචි වෙනවා. රජ්ජුරුවෝ ඒ ගොල්ලොන්ට හොදට සලකනවා. තනතුරු දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්දියාවෙන් ආක්‍රමණයක් එනකොට ඔත්තු දෙනවා. මෙහෙන් සහයෝගය දෙනවා.
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    856
    1,298
    93
    මෙක මෙ සිර සීන් එකක් ද
    මානවම්මය ගැන අහල නැ ස්කොලෙ කාලෙ වැඩිය

    එ කාලෙ දුටුගැමුනුට එහා එකෙක් හිටියෙ නෑනෙ ඉතින්
     
    • Like
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,210
    86,420
    113
    ආශ්චර්යමත් රටක
    මේ මොනාද නූතන මානවම්ම රජු තාම ඉන්නවා තනි ධමණියකින් . රටේ අභිවෘද්ධිය කරා ඕනෑම මොහොතක සේවයට එන්න ලෑස්ති

    උබල කැමති නැනේ

    ඒ නූතන බුවා සියදිවි නසාගත්තොත් තමයි රටට සේවයක් වෙන්නෙ 🙏🏼