ඇත්තටම 2020දී මගේ පළවෙනි දකුණු ආසියානු වාර්තාව තිබ්බ දවසෙම රෑ, එවකට හිටපු ක්‍රීඩා ඇමතිතුමා, නාමල් රාජපක්ෂ මැතිතුමා මට කතා කරා. කතා කරලා මට ඒ වෙලේ කිව්වේ, 'යුපුන්, මට ඔයාව 2021 ටෝකියෝ ඔලිම්පික්වලට යවන්න ඕනා, ඔයාට ඒ වෙනුවෙන් මම මොනවද කරන්න ඕනේ?' කියලා. ඉතින් මම මේ වෙලේ ඒක මතක් කරනවා. ඒ වගේ දෙයක් මගෙන් අහපු එකම ඇමතිවරයා එයා. මම කිව්වා ඇමතිතුමා, මම පුහුණුකරු එක්ක කතාබහ කරලා කියන්නම් කියලා. එතකොට අපි බොහොම පොඩි ටීම් එකක්, මමයි කෝච්ච විතරයි හිටියේ. ඉතින් අපි ඒ කාලේ අපිට අවශ්‍ය කරන වියදම් ටික අපි කිව්වා. ඉතින් මට බොහොම කෙටි කාලයක් තුළ මට ඒ ටික දුන්නා. ඉතින් අපි ඒ විදිහට කරගෙන ගියා. මම ටෝකියෝ ගියා, ලංකාව වෙනුවෙන් සුදුසුකම් ලබා සහභාගි වුණා. ඒක තමයි මම අන්තර්ජාතික වේදිකාවක මීටර් 100 ඉසව්ව වෙනුවෙන් සහභාගි වුණු පළවෙනි තරගය. සාමාන්‍යයෙන් ක්‍රීඩකයෙක් පටන් ගන්නේ සවුත් ඒෂියන් ලෙවල් එක, ඒෂියන් ලෙවල් එක ඔහොම ඔහොමනේ, නමුත් මම පටන් ගන්නේ ඔලිම්පික් ලෙවල් එකෙන්. ලෝකේ තියෙන උඩම තැන.
ඉතින් ඒකත් මම ලංකාව වෙනුවෙන්, ලංකාවේ කොඩිය මම එතන්ට අරන් ගියා. එතනින් පස්සේ මොකද වෙන්නේ, මේ අපේ ස්පෝට් එක පියවරෙන් පියවර යන්න ඕන ස්පෝට් එකක්. ඒ කියන්නේ අද නැවැත්තුවොත් අපිට ඒක හෙට ආය පටන් අරන්, ඒ නවත්තපු තැනින් පටන් අරන් යන්න බැහැ ඉස්සරහට. ඉතින් අපි ඒකත් එක්ක කෝච් කිව්වා, 'යුපුන්, 2022 කොමන්වෙල්ත් ගේම්ස් අපිට ටාගට් කරන්න පුළුවන්. අපිට ඒකෙදී ෆයිනල් එකක් දුවන්න පුළුවන් වෙයි. සහ හිතෙනවා අපි මේ ප්ලෑන් එක දිගට කරගෙන ගියොත්, කන්ටිනියු වුණොත් ඔයාට ලබන අවුරුද්දේ තත්පර 10ට වඩා අඩුවෙන් දුවන්න පුළුවන් වෙයි' කියලා. ඉතින් අපි සම්පූර්ණ කටයුතු ඒකට ප්ලෑන් කරලා සිද්ධ කරේ.
ඉතින් ඒ කරගෙන යන අතරතුර තමයි ලංකාවේ අර ලොකු ප්‍රශ්න ගොඩක් වුණේ. අරගලය ඇවිල්ලා, ඊට පස්සේ බෙහෙත් නැතුව, තෙල් නැතුව, ඒ වගේ ප්‍රශ්න වුණා. ඉතින් ඒ අවස්ථාවේදී රජය පැත්තෙන් මට හම්බවෙන්න තිබුණු උදව් වගේ ගොඩාක් දේවල් නැති වුණා. මට ඒකට චෝදනා කරන්න බැහැ. නමුත් මගේ පැත්තේ තියෙන කාර්ය තමයි මොකද පුහුණුකරු එයාගේ ප්ලෑන් එකට තමයි යන්නේ. මම ඒකට ඇඩප්ට් වෙන්න ඕනේ, නැත්නම් මට වෙන විකල්පයක් නැහැ. මම ඒක නිසා ඉල්ලීම් කරා, 'මම ලොකු ජයග්‍රහණයකට යන්න හදන්නේ' කියලා. නමුත් ඒ කාලේ අමාත්‍යාංශයෙන් හෝ ඔලිම්පික් කමිටි එකෙන් හෝ මට කිසිම වෙලාවකට උදව් ලැබුණේ නැහැ. ඉතින් අර හැමවෙලේම මට ඒ දැනිච්ච ප්‍රෙෂර් එක ඒ විදිහටම තිබ්බා. මොකද අපි ඉස්සරහට යන්න හදනකොට ලංකාවෙන් දේවල් ලැබෙන්නේ නැහැ. එතකොට මම දුවන්නේ ලංකාවට. මට හරි අමාරුයි ඒ කාලෙත් එක්ක. නමුත් අපි කොහොම හරි අමාරුවෙන් අර කෝච්ලා දැනගත්තා මගේ අර තිබ්බ ප්‍රෙෂර් එක. එයාලා ගොඩක්ම අරගෙන, අර තිබ්බ පේමන්ට්ස් ඔක්කොම නවත්තලා නැහැ. 'යුපුන්, ප්‍රශ්නයක් නැහැ, ඔයා මේක කරන්න, ඔයාට මේක කරන්න පුළුවන්, අපිට සල්ලි පස්සේ හොයාගන්න පුළුවන්, ඉල්ලගන්න පුළුවන්, අපි මේක දැන් කරමු' කියලා කොහොමහරි අපි ඒක කරලා, ඒ ඉතිහාසගත කාලය මට වාර්තා කරන්න පුළුවන්කම ලැබුණා.
එතනින් පස්සේ තමයි මේ කතාව පටන් ගන්නේ, ඔය ක්‍රීඩා ඇමතිවරයා ඊයේ කියපු කතාව පටන් ගන්නේ. එතකොට ක්‍රීඩා ඇමතිවරයා විදිහට හිටියේ රොෂාන් රණසිංහ ඇමතිතුමා. එතකොට මම තත්පර 10ට අඩුවෙන් දුවනකොට මම 2015 ඉඳන් ඉතාලි තුළ තමයි ප්‍රැක්ටිස් කරේ. එතකොට ඒ අවුරුදු හතක කාලය ඇතුළත මම ඉතාලියේ ඉන්නවා, මම දුවනවා, මම දිනනවා කියන දේ ඉතාලියේ ක්‍රීඩාව තුළ ලොකු නිවුස් එකක්. එතකොට පුහුණුකරුවත් ඉතාලියේ මීටර් 400 වාර්තා ලාභියෙක් සහ ඉතාලි වෙනුවෙන් මෙඩල්ස් ගෙනාපු කෙනෙක්. ඒක නිසා එයා හරි ප්‍රසිද්ධයි. අපේ ක්‍රීඩකයෙක්ව හදලා තත්පර 10කට වඩා අඩුවෙන් දවනවා කියන එක මෙහෙ ලොකු නිවුස් එකක්. ඉතින් ඒ කාලේ ඉතාලිය ඇතුලේ ඒ වෙනකොට තත්පර 10ට වඩා අඩුවෙන් දුවලා තිබ්බේ ක්‍රීඩකයෝ දෙන්නෙක් විතරයි. හැබැයි ඒ ක්‍රීඩකයෝ දෙන්නෙක්ගෙන් ඉතාලිය 2021 ටෝකියෝවල මීටර් 4x100 රිලේ ටීම් එකේ ගෝල්ඩ් මෙඩල් එක දිනනවා.
දැන් එතකොට මම ඉතාලිය තුළයි ඉන්නේ. දැන් එයාලට ඕනේ මට පාස්පෝට් එක දීලා මාව එයාලගේ රටට ගන්න ඔෆර් කරන්න. ඒක ප්‍රසිද්ධ කරන්න බැරි දෙයක්. මම ඒක ප්‍රසිද්ධිය කරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එයාලට පාස්පෝට් එක ඕෆර් කරා. මොකද හේතුව? ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නකොට මාවත් ගත්තහම එයාලගේ ටීම් එක තවත් ස්ට්‍රෝන්ග් වෙනවා. ඒක නිසා තමයි එයාලා කරේ. එතකොට මට කෝච් මාර්ගයෙන් මේක ආවා. පාස්පෝට් එක... මට ඒ කාලේ පේනවා ලංකාවේ මිනිස්සු පාරවල් වල තෙල් පෝලිම් වල, ගෑස් පෝලිම් වල ඉන්නවා. මම දිනනවා, මිනිස්සු මා ගැන ආඩම්බරයෙන් කතා කරනවා, 'යුපුන්, ස්තූතියි මේ වෙනුවෙන් කරපු දේවල් වලට' කියලා. ඒවා කතා වෙනවා. සහ මේ පැත්තෙන් අවුරුදු ගානක් තිබ්බ මගේ ප්‍රශ්න ටික දැන් ඒකට උත්තරයක් ඇවිල්ලා තියෙනවා මගේ අතට. සහ මගේ තාත්තා කිව්ව දේ තියෙනවා, 'යුපුන් පුතේ, ඔයා මේක කරන්න එපා, මේක කරලා ඔයාට වැඩක් නැහැ, මොකත් හම්බවෙන්නේ නැහැ' කියලා. දැන් මම මේ ප්‍රශ්න අතර දෝලනය වෙනවා. මම දැන් මොකද කරන්නේ? මට රටට දුවන්න ආසයි, මගේ කොඩිය... මම දැන් මේක තමයි වෙලාව මේ රටේ ක්‍රීඩාව වෙනස් කරන්න. එක්කෝ මම රටේ ක්‍රීඩාව වෙනස් කරන එකට මම ඇතුල් වෙනවා, මම මේකට බහිනවා, මම මේක තනියම උර දෙනවා, නැත්නම් මම ගැන හිතලා මම පාස්පෝට් එක මාරු කරලා දුවනවා.
මට කෝච් කිව්වා, 'යුපුන්, ඔයාට හොඳටම ශුවර්ද ඔයා මේ ගන්න තීරණය කියලා?' මම කිව්වා, 'කෝච්, මට මේකට තනි තීරණයක් ගන්න බැහැ, මම අවශ්‍ය අයට කතා කරන්නම්' කියලා ක්‍රීඩා ඇමතිවරයාට මම කතා කරා. කතා කරලා මම පෞද්ගලිකව කිව්වා. මේ කතාව, එතකොට ලංකාවේ හිටියේ රොෂාන් රණසිංහ ඇමතිතුමානේ. ඔව්. ඒ කාලේ මේ කතාව ඉතාලියේ හිටපු ලංකාවේ තානාපතිතුමත් මේක දන්නවා. මොකද හේතුව, මම ඉන්න තැන තමයි මේක කතා වුණේ. ඉතින් මේ කතාව මම කිව්වට පස්සේ ක්‍රීඩා ඇමතිවරයා තනියම ලංකාවේ ඉඳන් ඉතාලියේ මම ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ් එකට ආවා. ඇවිල්ලා අපි මේක කතා කරා. ඒ ඇවිල්ලා ඇමතිවරයෙක් කතා කරනකොට මම විශ්වාස කළේ ඇමතිවරයාගේ වචන නෙමෙයි, රටක වචනයයි මම විශ්වාස කරේ. ක්‍රීඩා ඇමතිවරයා ඒ තනතුර, ඒ රටේ වචනය. ඉතින් ඒ වචනය විශ්වාස කරලා මට කියපු දේ තමයි, 'යුපුන්, මේ පාස්පෝට් එක ගන්න එපා. ඔයා ලංකාව වෙනුවෙන් දුවන්න, මම දන්නවා ඔයාට ප්‍රශ්න ගොඩක් වුණා කියලා. මේ ලෝකේ ක්‍රීඩාව තියෙන්නේ මෙතන නෙමෙයි ඉස්සරහ කියලා අපි දන්නවා. ඔයා වෙනුවෙන් අපිට මොකක්ද කරන්න පුළුවන්?' කියලා. ඉතින් ඒ කාරණයේදී මම එතුමාට පැහැදිලි කරා.
දැන් ඒ වෙනකොට තත්පර 9.96ක කාලයක් මම වාර්තා කරපු ගමන්ම ලෝකේ ප්‍රසිද්ධ සන්නාම ගොඩකින් - ඒ කියන්නේ ඇඩිඩාස්, පූමා වගේ දේවල් මාව රීච් කරා. මොකද තත්පර 10ට වඩා අඩුවෙන් මීටර් 100ක් දුවනවා කියන්නේ ඒ පුද්ගලයාට අනිවාර්යයෙන්ම ඒ වගේ ස්පොන්සර්ශිප් එක එනවා. ඒක ඇස් දෙක පියාගෙන වගේ හම්බවෙනවා, ඒ තරම් ලේසියි. ඉතින් මාව යුරෝප් වල මම බේස් වෙලා ඉන්න නිසා මට එයාලා සම්බන්ධ වුණා. එතනින් පස්සේ මාව එයාලා ඒක ගත්තා නම්... ඔව්, ඒක ගත්තා නම් ඔය කියනවා වගේ දහපහළොස් ගුණයක් ස්පොන්සර්ශිප් එක අනිවාර්යයෙන්ම ලැබෙනවා. මොකද මාව සම්බන්ධ කරා අපේ ඒෂියා වලට, ගල්ෆ් වලින් තමයි ඒවා ඔක්කොම ටික කන්ට්‍රෝල් වෙන්නේ. එයාලගේ මාකටින් ටීම් එකට තමයි මාව දැම්මේ. දාලා එයාලා ලංකාව රිසර්ච් කරලා ඔක්කොම කරලා ආපු පිළිතුර කියන්න කණගාටුයි, නෙගටිව්. මොකද මම ඒ වෙනකොට ආසියාවේ අංක එකේ මීටර් 100 ක්‍රීඩකයා. ඉන්දියාව, චීනය, පාකිස්ථානය, ජපානය, කොරියාව, බංග්ලාදේශය... ඔච්චර බිලියන් ගාණක් ඉන්න මිනිස්සුන්ගෙන් මම ආසියාවේ අංක එක. ඒ කියන්නේ ලෝකේ ජනගහනයෙන් තුනෙන් දෙකකට වැඩියෙන් මම අංක එක.
එතකොට ඒ වෙනකොට මට ස්පොන්සර්ශිප් එකක් දෙන්න බැහැ කියනවා මම ලංකාව වෙනුවෙන් දුවන නිසා. හේතුව, මගේ ඉමේජ් එක ලංකාව තුළ සෙල් කරලා ඉවර වෙලා ඒකට අවශ්‍ය කරන ROI (Return on Investment) එක එයාලට ගන්න බැහැ. මොකද ලංකාව දුප්පත් රටක්, ලංකාවේ මිනිස්සුන්ට ඒ වගේ දේවල් ගන්න පිරිසක් ඉන්නවා. ඒ බ්‍රෑන්ඩ් එකක් ගන්න, මගේ ඉමේජ් එක පාවිච්චි කරලා, 'යුපුන් මේකම අඳින්න ඕනේ, යුපුන් මේකම පාවිච්චි කරන්න ඕනේ' කියලා කියන පිරිස බොහොම අඩුයි ලංකාවේ. ඉතින් ඒක නිසා මට ඒක කරගන්න බැරි වුණා. සහ අනිත් කාරණය තමයි ඉතාලිය තුළ සහ යුරෝප් වල ඉන්න අනෙකුත් අනුග්‍රාහකයෝ. ඒ කියන්නේ ප්‍රෝටීන් සහ වාහන - ටොයෝටා වගේ දේවල් වලින් මට උත්තරයක් නැහැ. හේතුව මම යුරෝප් බේස් වුණාට මම දුවන්නේ ලංකාවට. එතකොට මට ඒ වගේ අනුග්‍රාහකයෙක්ගෙන් ගන්න කිසිම අවස්ථාවක් නැහැ. එතකොට මම ලංකාවත් එක්ක කතා කරනවා. ලංකාවත් එක්ක කතා කරද්දී මට ලංකාවෙන් එන උත්තරය තමයි, 'යුපුන් ඔයා දුවන්නේ තත්පර 10යි. අපිට තත්පර 10ට ඔයාට ස්පොන්සර් කරනවාට වඩා, වෙන ස්පෝට් එකකට ස්පොන්සර් කරන එක එයාලගේ ROI එක පැත්තෙන් වාසියි' කියන තැන තමයි එයාලා ඉන්නේ. මම තත්පර 10කින් මගේ ඔක්කොම දේවල් ඉවරයි, නමුත් වෙන ක්‍රීඩාවක් සමහරවිට මිනිත්තු ගණන් සෙල්ලම් කරනවා. එතකොට ටීවී වල, ඒ කියන්නේ කැම් ෂොට් වලට නිතරම පෙන්නනවා එයාලගේ ඇඩ් එක. ඉතින් ඒක ගන්න බැහැ. ඒක තමයි ලංකාවේ තිබ්බ තත්ත්වය.
ඒ කාලේ වෙනකොට එයාලගේ ටාගට් එක තියෙන්නේ ලංකාව, සවුත් ඒෂියා වගේ පොඩි එකක්. මම වැඩියෙන්ම රේසස් කරන්නේ යුරෝප් ඇතුලේ. එතකොට මගේ බ්‍රෑන්ඩ් එක දාගෙන යුරෝප් වල දුවද්දී එයාලට ලොකු විසිබිලිටි එකක් නැහැ, ඒ අයට ඒකේ වාසියක් එන්නේ නැහැ. ඒක නිසා මට ඒකත් ගන්න බැහැ. ඒ එක්කම ඉතාලියට දුවන්න මම තීරණය කරපු ගමන්ම අනිවාර්යයෙන්ම ඉතාලි ඇත්ලටික් ෆෙඩරේෂන් එකෙන් අපිට දෙනවා කන්ට්‍රැක්ට් එකක්. ඒ කියන්නේ ඔයා මේ කාලේ ඉඳලා මේ කාලේ වෙනකන් අනිවාර්යයෙන්ම මේ කන්ට්‍රැක්ට් එකට ඇතුල් වෙනවා. එතකොට ඒකෙදී අපි ඔයාට සාමාන්‍යයෙන් බේසික් එකක් දෙනවා අවුරුද්දකට මේ ගාන. එතකොට ඒ කාලය ඇතුළත ඔයා ඔයාගේ දක්ෂතාව වර්ධනය කරගත්තොත්, මේ ලෙවල් එකට ආවොත් මෙන්න මේ බෝනස් මුදල ඔයාට දෙනවා. එතකොට ඔයා ඊට වඩා වැඩි ලෙවල් එකට ආවොත් වැඩි මුදලක් දෙනවා. සහ ඉතාලිය තුළ තියෙන ත්‍යාග මුදල් ඒ ටික වෙනම හම්බවෙනවා. ඔය විදිහට තමයි ඔය කන්ට්‍රැක්ට් එක තියෙන්නේ. ඒවා අනිවාර්යයෙන්ම නීතියෙන් අපි බැඳිලා ඉන්නවා අපිට ගෙවන්න, සහ අපි මොකක් හරි වැරැද්දක් කරොත් අපිට ඒක දඩයක් විදිහට ගෙවන්නත් සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය ක්‍රීඩක ගිවිසුමක්.
ඉතින් දැන් ඔය ඔය කාලයේ ඔය ප්‍රශ්න ටික අතර මම දැන් ඉන්නවා. ඔය ඉන්නකොට තමයි ක්‍රීඩා ඇමතිවරයා මෙහෙටම ඇවිල්ලා මට පොරොන්දු වුණේ, 'යුපුන්, ඔයා පාස්පෝට් එක ගන්න එපා. මේ හැම දේම අපි කරලා දෙන්නම්. මට තේරෙනවා මේ ප්‍රශ්න ටික. ඔයා ලංකාවට ආවොත් ඔයාට තියෙන ප්‍රශ්න ටික තියෙනවා, ඔයා මෙහෙ හිටියොත් ඔයාට ඒ ප්‍රශ්න නැහැ. හැබැයි අපි මේක වෙනස් කරනවා. අපි මේ ක්‍රීඩාව වෙනස් කරමු, අපි මේක කරමු' කියලා ඉවරලා මට කිව්වා ඔයාගේ කන්ට්‍රැක්ට් එක දෙන්න කියලා. පස්සේ ඒ කන්ට්‍රැක්ට් එක ගන්න හරි අමාරුයි එළියට ගන්න. මොකද මගේ කණ්ඩායමේම ඉන්නවා නයිකි වෙනුවෙන් දුවන සහ ඉතාලිය වෙනුවෙන් දුවන කෙනෙක්. ඉතින් එයාගේ කන්ට්‍රැක්ට් දෙකම අපි ගත්තා. අරගෙන අපි ඒ දෙක එකතු කරලා හැදුවා. හදලා ඉවර වෙලා අපි ඒක ක්‍රීඩා ඇමතිවරයාට යැව්වා. යැව්වට පස්සේ මගෙන් කතා කරලා කිව්වා, 'යුපුන්, මේ ගාන චුට්ටක් ඇත්තටම වැඩියි, අපිට මේක අඩු කරගන්න පුළුවන්ද?' කියලා. පස්සේ මම ආයේ කෝච් එක්ක කතා කරලා, 'කෝච්, අපේ රට චුට්ටක් මේ වගේ අමාරුයි, ඒක නිසා අපි චුට්ටක් අඩු කරමු' කියලා අපි ආයේ අඩු කරා. ඇත්තටම තියෙන ගාන ඩොලර් ලක්ෂ තුනක් නෙමෙයි, ඊට වඩා ගොඩක් වැඩි. අපි අඩුත් කරලා තමයි තියෙන්නේ.