හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද ලැබුණු මරණ දඬුවමට අදාල නඩු තීන්දු කීපයක් ගැනයි මේ කෙටි සටහන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    2022 දී පාස්කු නඩුවෙන් පූජිත් නිදහස් වුණා ද? එහෙනම් දැන් මරණ දඬුවම ලැබුණෙ කොහොමද? හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද ලැබුණු මරණ දඬුවමට අදාල නඩු තීන්දු කීපයක් ගැනයි මේ කෙටි සටහන.

    පූජිත් ජයසුන්දරට ලැබුණු මරණ දඬුවම සළකා බැලීමේදී අපිට ප්‍රධාන නඩු 3ක් වැදගත් වෙනවා.

    පළමුවැන්න තමයි 2022 දී, අවසන් වූ මහාධිකරණ නඩු තීන්දුව.
    දෙවැන්න තමයි, 2023 දී ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ ඇපීල් තීන්දුව.
    තුන්වැන්න තමයි අද (2026 ජූලි 31) ලබාදුන් මහාධිකරණ තීන්දුව.

    මේ මරණ දඬුවම ලැබුණු ආකාරය පැහැදිලි කරගන්න නම්, ඉහත කියපු නඩු තීන්දු 3ම හරහා අපිට යන්න වෙනවා.

    ලිපියේදි මුලින්ම අහපු ප්‍රශ්නය; 2022 දී පාස්කු නඩුවෙන් පූජිත් ජයසුන්දර නිදහස් වුණා ද? පිළිතුර; ඔව්.

    මොකක්ද ඒ නඩුව?

    හිටපු පොලිස්පති “පූජිත් සේනාධි බණ්ඩාර ජයසුන්දර“ ට එරෙහිව, චෝදනා 855ක් යටතේ, විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකින් තමයි මේ නඩුව ඇහුවෙ. ඔහුට තිබුණු චෝදනා වුණේ, පාස්කු ප්‍රහාරය එල්ල කළ පාර්ශ්වයට ඊට අනුබල ලැබෙන පරිදි, නීති විරෝධී නොකරහැරීමක් සිදු කිරීම.

    මොකක්ද මේ නීති විරෝධී නොකරහැරීම?

    ඒ තමයි, පාස්කු ප්‍රහාරයට අදාලව, වෙන වෙනම බුද්ධි තොරතුරු 8කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම. ඒ කියන්නෙ “නොකර හැරීම“. මේක නීති විරෝධී දෙයක්. ඔහු නිල බලයෙන්ම එවැනි වෙලාවක ක්‍රියාත්මක විය යුතුව තිබුණා. ඒ නිසා තමයි මෙවැනි වරදකට “නීති විරෝධී ලෙස, නොකරහැරීමක් කළා ය“ කියන්නෙ.

    මොනවද 2022 නඩුවෙදි පූජිත්ට එරෙහිව තිබුණු චෝදනා?

    දණ්ඩ නීති සංග්‍රහයේ 296 (මරණය සිදු කිරීම)
    දණ්ඩ නීති සංග්‍රහයේ 300 (මිනී මැරුමට තැත් කිරීම)
    දණ්ඩ නීති සංග්‍රහයේ 102 (අදාල අපරාධ වරදට අනුබල දීම)

    මෙම වගන්ති යටතේ ‘මිනී මැරීම‘ සම්බන්ධ චෝදනා 268 ක් සහ, මිනී මැරීමට තැත් කිරීමට අදාල චෝදනා 587 ක් එල්ල වුණා. (ඔක්කොම චෝදනා 855ක්)

    පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ 2019 අප්‍රේල් 21 වැනිදා. ඉන් 268 දෙනෙකු මිය ගියා. 586 දෙනෙකු තුවාල වුණා.

    ඊට අදාල බුද්ධි තොරතුරු ලැබිලා තිබුණේ, 2019 අප්‍රේල් 9 වැනිදාත්, 2019 අප්‍රේල් 21 වැනිදාත් අතර වාර කීපයක දී.

    මේ බුද්ධි තොරතුරුවලට අනුව, සහරාන් හෂීම් කියන නම, තව්හීද් ජමාත් සංවිධානය, සහ ඊට සම්බන්ධ අයවලුන් ගැන තොරතුරුත් ඇතුළත් බව කියැවුණා. ඊට අමතරව පල්ලි කිහිපයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වීමක් ගැනත්, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයද එහි ඉලක්කයක් විය හැකි බවක් ගැනත් කියැවී තිබුණා. මීට සම්බන්ධ අයගේ නම් සහ දුරකතන අංකත් මේ තොරතුරු අතර තිබුණු බව තමයි පසුව කියැවුණේ.

    මේ සියලු චෝදනා සහ සාධක සමඟ තමයි 2022 මහාධිකරණ නඩුව විභාග වුණේ.

    2022 ජනවාරි 20 වැනිදා, මේ නඩුව, ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකමින්, අවසන් කළා. මේ හින්දා ප්‍රධාන චුදිතයා වූ පූජිත් ජයසුන්දර මේ නඩුවෙන් නිදහස් වුණා. මේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ 2022 පෙබරවාරි 18 වැනිදා.

    එහෙම නිදහස් කරන්න පුලුවන් ද?

    ඔව්. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන තියෙන්නෙ “අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තියේ“. මේ අනුව, ත්‍රිපුද්ගල මහාධිකරණය විසින්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) යටතේ තමයි මේ නඩුව අවසන් කරලා තීන්දුව දුන්නෙ.

    ඒ වගන්තිය අදාල වුණේ කොහොමද?

    මේ වගන්තියෙන් කියන්නෙ, යම් අපරාධ නඩුවක චෝදකයින් විසින් සාක්ෂි ඉදිරිපත් කළාට පස්සෙ, ඒ සාක්ෂි ප්‍රමාණවත් නැතිනම්, විත්තිකරුගේ නිදහසට හේතු අහන්නැතිවම ඔහුව නිදොස් කරන්න පුලුවන් කියලා. ඒ අනුව, මේ ත්‍රිපුද්ගල මහාධිකරණ “පාස්කු නඩුවේ“ චෝදකයින් තමයි රජය. ඒ කියන්නෙ නීතිපති. ඔවුන් සාක්ෂි ඉදිරිපත් කෙරුවා. නමුත් ඒවා ප්‍රමාණවත් නැති බවත්, ඒ සාක්ෂි හරහා පූජිත් ජයසුන්දරගේ වරදකාරීත්වය ඔප්පු කළ නොහැති බවත් අධිකරණය තීරණය කළා. මේ නිසා, පූජිත්ගේ විත්තිවාචක කැඳවන්නේ නැතිවම ඔහුව නිදහස් කරන්න තීරණය කළා. ඒ අනුව, 2022 දී ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුවෙන් ඔහු නිදහස් වුණා.

    එතැනින් පාස්කුව සම්බන්ධව පූජිත්ගේ වරද අවසන් වුණාද?

    මේ තීන්දුව ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු තීන්දුවක්. මේ තීන්දුවෙන් සෑහීමට පත් නොවන අයට පුලුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේක ඇපීල් කරන්න. ඒ අනුව, රජය (ඒ කියන්නෙ නීතිපති පාර්ශ්වය) “පූජිත්ව“ නිදහස් කළ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් කළා.

    ඒ නඩුව තමයි, මේ ලිපියේ මුලදි අපි කියපු, අපිට වැදගත් වන “දෙවැනි නඩු තීන්දුව“.

    මොකක්ද මේ 2024 ශ්‍රේෂ්ඨාධිකරණ ඇපීල් එකේදි වුණේ?

    මේ නඩුව ඇහුවෙ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින්. ඒ තමයි, ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා වන ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදිනී වික්‍රමසිංහ, අර්ජුන ඔබේසේකර, මහින්ද සමයවර්ධන, යන විනිසුරුතුමන්ලා.

    තීන්දුව මොකක්ද?

    මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය හඳුනාගත්තා, මුල් ත්‍රිපුද්ගල මහාධිකරණය විසින්, මේ නඩුව විමසීමේදී “බරපතළ ආකාරයේ නෛතික වැරදීමක්“ සිදු කරපු බව.

    මොකක්ද ඒ?

    ඒ තමයි, “අනුබල දීම“ කියන චෝදනාව ගැන සළකා බැලීමේදී, දණ්ඩ නීති සංග්‍රහයේ මේ ගැන තිබෙන එක ප්‍රතිපාදනයක් වන 107 වගන්තිය වැරදි ලෙස අදාල කරගත්තු බව. මේ වගන්තියෙන් සරලව කියන්නෙ, අනුබල දීමක් කරන කෙනා, පුද්ගලිකවම අදාල අපරාධවය වන තැනට සහභාගී වීම හා සම්බන්ධ දේවල්. කෙටියෙන් කතා කළොත්, මේ වගන්තිය වැරදි ලෙස සළකා බලපු නිසා තමයි, පූජිත්ව නිදහස් කරන්න සිද්ධ වුණේ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළා. ඒ කියන්නෙ, ඇපීල් එක සළකා බලලා, ඒ වැරදි තීරණය ආපසු හරවන්න පුලුවන් තත්ත්වයකට පත් වුණා.

    මීට අමතරව, පාස්කු ප්‍රහාරයට සම්බන්ධව මෙම අපරාධය සඳහා, “චේතනාව“ පූජිත් ජයසුන්දරට තිබුණාද නැද්ද යන්න ගැනත් සාකච්ඡා වුණා. (චේතනාව යනු, අපරාධ නඩුවල අතිශය වැදගත් සිද්ධාන්තයක්. අපි මේ ගැන කලිප් නඩු ලිපිවල කතා කොට තිබෙන නිසා, ඒ ගැන පැහැදිලි කරගන්නැතිවම ඉදිරියට යමු). නමුත්, මෙහිදී ‘නිසි පරිදි ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම සහ නොසළකා හැරීම“ මඟින්, එය සිදුව ඇති බව තීරණය වුණා.

    චේතනාව සම්බන්ධව සළකා බැලීමේදී මේ මූලධර්ය යොදාගැනීමට, මීට පෙර තීරණය කර තිබුණු,
    King v. Marshall යන නඩු තීන්දුවත්, Samy and others v. Attorney-General යන නඩු තීන්දුවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සළකා බැලුවා.

    මේ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය අනුව, මේ නඩුව තවදුරටත් ගෙන යා හැකි බව. සාක්ෂි නොමැතිකමින් අවසන් කරන්න හේතුවක් නැති බව. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා, නඩුව දිගටම පවත්වාගෙන යන්න කියලා. එය අවසන් කරමින් දුන් නියෝගය ඉවත දැම්මා. ඒ අනුව, චෝදක පාර්ශ්වයේ සාක්ෂි (නීතිපතිගෙ) සළකා බැලූ නිසා, මීළඟට තිබුණේ, පූජිත් ජයසුන්දරගේ පාර්ශ්වයේ සාක්ෂිත් සළකා බලමින් නඩුව ඉදිරියට ගෙනයන්න.

    මේ අනුව, 2022 දී ත්‍රිපුද්ගල මහාධිකරණය විසින්, නෛතික වැරදීමක් මත අවසන් කළ නඩුව (පූජිත් ජයසුන්දරව නිදහස් කළ නඩු තීන්දුව), නතර කළ තැන සිට නැවත අහන්න පටන් ගත්තා. මෙම නඩුවේ ඇති බරපතළකමත් ඊට එක් හේතුවක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය ගත්තේ 2024 නොවැම්බර් 5 වැනිදා.

    මේ අනුව, පූජිත් ජයසුන්දරට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂිත්, පූජිත් ජයසුන්දර විසින් ඉදිරිපත් කළ සාක්ෂිත් සළකා බලමින් තමයි මහාධිකරණ නඩුව නැවත වටයකින් ඉදිරියට ගියේ.

    එම තීන්දුව තමයි, මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ, අපිට වැදගත් වන “තුන්වැනි නඩු තීන්දුව“. මේක ලැබුණෙ අද. (2026 ජූලි31 සිකුරාදා)

    තීන්දුව මොකක්ද?

    මේ අනුව, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීමට අදාලව, පූජිත් ජයසුන්දරට එල්ල වූ චෝදනා අතරින් 854කට ඔහු වැරදිකරු බව තීරණය වුණා. මේ චෝදනා නැඟී තිබුණේ, අප සාකච්ඡා කළ පරිදිම “මිනී මැරීම/ මිනී මැරීමට තැත් කිරීම/ අදාල වරදට අනුබල දීම“ වැනි ප්‍රබල අපරාධ චෝදනා වගන්ති යටතේ. මේ අනුව, මහාධිකරණය පූජිත් ජයසුන්දරට අද “මරණ දණ්ඩනය“ නියම කළා.

    මෙම තීන්දුව ලබා දුන්නේ, ගරු මහාධිකරණ විනිසුරුතුමන්ලා වන ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුතුමන්ලා විසින්. ඒ වගේම මේ තීන්දුව බෙදුණු තීන්දුවක්.

    බෙදුණු තීන්දුවක් කියන්නෙ මොකක්ද?

    ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙහි මත 2ක් ඇති වූ විට තමයි එය බෙදුණු තීන්දුවක් වෙන්නෙ. මෙම නඩුවේදී, පූජිත් ජයසුන්දරට එරෙහිව ඇති සාක්ෂි ප්‍රමාණවත් බව සඳහන් කරමින්, ඔහු වැරදිකරු බව විනිසුරුතුමන්ලා දෙදෙනක් විසින් ප්‍රකාශ කළා. එක් විනිසුරු මතයක් වුණේ, ඊට සාක්ෂි ප්‍රමාණවත් නැති බැවින් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවයි. නමුත් 2/3 ක බහුතර මතය අනුව, ඔහු වැරදිකරු බව තීන්දු වුණා.

    පූජිත් ජයසුන්දර පොලිස්පති ධූරයට පත් වුණේ 2016 අප්‍රේල් 20 වැනිදා. පාස්ක්‍ර ප්‍රහාරය එල්ල වෙද්දී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ පූජිත් ජයසුන්දර. නමුත්, ප්‍රහාරයත් සමඟ, එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව අනිවාර්ය නිවාඩු යැව්වා.

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම ලැබී පැය කිහිපයක් ඇතුළත, මෙම චෝදනා සම්බන්ධයෙන්ම කොළඹ මහාධිකරණය විසින්, තවත් නඩු තීන්දුවක් ලබා දුන්නා. ඒ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සම්බන්ධයෙන්. මෙහිදී, ඔහුටත් හිමි වුණේ “මරණ දණ්ඩනය“. මෙම නඩු විභාගය සිදු වුණේත්, පූජිත් ජයසුන්දරගේ නඩු තීන්දුව ලබාදුන් ගරු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ.

    හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක ලේකම් ධූරයට පත්වීමට ප්‍රථම, ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු කමාන්ඩර්වරයෙක්. ඔහු ආරක්ෂක ලේකම් ලෙස පත්වීම ලැබු‍වේ, 2018 දෙසැම්බර් 21 වැනිදා. මේ අනුව, පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී, ඔහු ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළා. ප්‍රහාරය සිදුවීමත් සමඟ ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස් වුණා.

    2022 දී පූජිත් ජයසුන්දර සම්බන්ධ මුල් මහාධිකරණ නඩුවට සමාන ලෙසම, හේමසිරි ප්‍රනාන්දුට එරෙහි නඩුවත්, ඔහුව නිදහස් කරමින් තමයි අවසන් වුණේ. එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් ඇපීල් තීන්දුවෙන් ඉවත දැම්මා. මේ අනුව, හේමසිරි ප්‍රනාන්දුට අද ලැබුණු මරණ දණ්ඩන තීන්දුව ලැබුණේත්, ඇපීල් කිරීමකින් පසුව නැවත ආරම්භ කළ නඩුවෙන්. මෙම තීන්දුවත් බෙදුණු තීන්දුවක්.

    මේ ලිපියේ අරමුණ වුණේ, වෙනදා මෙන් නඩු තීන්දුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට වඩා, මේ නීති ක්‍රියාවලියේ ප්‍රධාන සන්ධිස්ථානවලදී එය සිදු වූ ආකාරය දෙස බැලීම. වරක් නිදහස් වූ කෙනෙක් කොහොමද නැවත මරණ දණ්ඩනය ලැබුවේ කියන ප්‍රශ්නය දෙස බැලීම. එහිදී අපිට, මේ සඳහන් කළ නඩු තීන්දු 3ම වැදගත්.

    මීට අමතරව, පාස්කු ප්‍රහාරයට අදාලව, පාර්ශ්ව කීපයක්ම වග උත්තරකරුවන් කරමින්, මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධ නඩු තීන්දුවකුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන්නා. එහිදී, රුපියල් මිලියන 75ක වන්දියක් සිය පුද්ගලික මුදලින් ගෙවන්නත්, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට සිද්ධ වුණා. එම නඩුවේදීම, රුපියල් මිලියන 50ක වන්දියක් සිය පුද්ගලික මුදලින් ගෙවීමට, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සිදු වුණා.

    නමුත් එය අපරාධ නඩුවක් නෙවෙයි. මානව හිමිකම් නඩුවක්. අදාල මූලික අයිතිවාසිකම් නඩු තීන්දුවත්, මේ සම්බන්ධව අපරාධ නඩුවක් පවත්වාගෙන යෑමේදී පිටිවහලක් වූ බව පැහැදිලියි. මෙම මූලික අයිතිවාසිකම් නඩුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ තවත් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් පිරිසක් වරදකරුවන් බව මීට පෙර තීන්දු වුණා.

    🟡 නඩු තීන්දු ඇතුළු කලින් ලියූ ලිපි, පළමුවැනි කමෙන්ටුවේ තියෙන ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.

    වැඩිදුර කියවන අයට:

    මහාධිකරණ නඩු අංක- HC (TAB) 2900/2021

    ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක (පූජිත් සම්බන්ධ ඇපීල් එක)- SC (TAB) 03/2023



    සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

    #LawAndJustice #lawnotes #LegalEducation #EasterSundayAttack #SriLankaLaw


     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    Shani and Ravi also had the same irresponsible and careless approach to their jobs. Once Pujitha is convicted, Shani and Ravi are automatically bound by it too. If law enforcement against them is silent due to Political shield over them, since there is no time bar for criminal prosecution, someday they may suffer under next regime.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    අපි ජෙප්පොන්ට බැන්නට. මොනා උනත් උන් මිනිස්සුන්ට පොරොන්දු වෙච්ච දේ කරා. පූජිතුයි හේමසිරියි මහ මොලකාරයො අල්ලපු නිසා. දැන්වත් මේ පාස්කු විගඩමට ගෝටාබෙව සම්බන්ධකරන එක නැවැත්තුවොත් හොඳයි.