කොළඹ (News 1st): පුද්ගලයන් තිදෙනෙකුගේ ජීවිත අහිමි කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු ගංජා (කැනබිස්) භාවිත කර සිටි බව ශ්‍රී ලංකා පොලිසිය තහවුරු කර තිබේ.
පොලිසිය පවසන්නේ අනතුරෙන් පසු සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව මෙම කරුණ තහවුරු වූ බවයි.
අනතුර ඊයේ (16) රාත්‍රී 9.15ට පමණ කොළඹ මට්ටක්කුලිය, ෆර්ගියුසන් පාර මංසන්ධිය ආසන්නයේදී සිදුව තිබේ.
අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් ඇති අතර, බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයන් දසදෙනෙකු ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසිය පවසන්නේ වත්තල දෙස සිට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් රියදුරුගේ පාලනයෙන් ගිලිහී ගොස් ත්‍රිරෝද රථ දෙකක සහ යතුරුපැදි දෙකක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මියගිය පුද්ගලයන් කොළඹ 15, ග්‍රෑන්ඩ්පාස් සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. ඔවුන්ගේ වයස අවුරුදු 44 සහ 64 ලෙස සඳහන් වේ.
අනතුරට හේතු වූ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මූලික විමර්ශනවලදී ඔහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලිසිය විසින් සිදුකරමින් පවතී.
