කැකිරාවේ සුදස්සන හිමියන්ව එම නිකායේ සංඝාධිකරණයට කැඳවීම නිසා ඇති වී තිබෙන සමාජ කතාබහේදී උන්වහන්සේට විරුද්ධව දක්වා ඇති බහුතරයක් අදහස්වලින් පෙනී යන්නේ වර්තමාන බෞද්ධ සමාජයේ ඇතැම් පිරිස් වහබ්වාදීන්ට සමානව ම අන්තගාමී තත්ත්වයකට ගමන් කරමින් ඇති බවයි.
වහබ්වාදීන් යනු ඉස්ලාම් අන්තවාදීන් අතරින් එක් පිරිසකි. ඔවුන්ට අනුව ඉස්ලාම් ධර්මයේ මුල් කාලීන ඉගැන්වීම්වලට අනුව ම එම ආගමිකයන් ජීවත් විය යුතු අතර ආගමික වැරදි විවේචනය කිරීම හෝ කාලයට ගැලපෙන පරිදි ආගමික සිරිත්විරිත් සංශෝධනය කිරීම නොකළ යුතු ය. එසේ කරන්නවුන්ට කස පහරදීම ආදී අතිශය අමානුෂික දඬුවම් හිමිවන අතර උපරිම දඬුවම මරණය යි.
කැකිරාවේ සුදස්සන හිමියන් සම්බන්ධයෙන් ප්රචාරය වන බොහෝ පළකිරීම්වල ඇති අදහස් බලන කල පෙනෙන්නේ වර්තමානයේ ඇතැම් බෞද්ධයන් වහබ්වාදීන්ටත් වඩා භයානක බවයි. ඔවුන්ගේ අදහස්වලට අනුව සුදස්සන හිමියන්ට උල තැබීම, වෘෂණ කෝශ තැලීම, හම ගැසීම, පශ්චාත් භාගයට පා පහර දීම, ගල් ගසා මරා දැමීම ආදී දඬුවම් ලබාදිය යුතු ය. මේ අදහස් අනුව ඔවුහු වහබ්වාදීන්ටත් වඩා භයානක පිරිසකි. වහබ්වාදීහු තමන්ගේ ආගමත් ඊට අනුකූල හිංසනික මතයත් දෙකම ඍජුව ප්රකාශ කරන අතර මෙසේ අවිහිංසාවාදය නියෝජනය කරන බෞද්ධයන් සේ පෙනී සිටිමින් හිංසනික අදහස් ප්රකාශ නොකිරීම ඊට හේතුව යි. අපේ බුදු හාමුදුරුවෝ දේශනා කළේ තමන්ව උපමා කොට අන් අයට හිංසා නොකළ යුතු බවයි. ඒ අනුව එවැනි අමානුෂික, කෲර අදහස් දරන්නෝ සැබෑ බෞද්ධයෝ නොවන අතර ඔවුහු බෞද්ධ අන්තවාදී ත්රස්තවාදීහු ය.
අද ලෝකයේ බොහෝ ජනතාව බෞද්ධාගමට නැඹුරුවක් දක්වන්නේ බෞද්ධ දර්ශනයේ සඳහන්ව ඇති සමානාත්මතාවය(සියලු මිනිසුන්ව එක හා සමානව දැකීම), චින්තන නිදහස(ආගම පිළිගැනීම හෝ ප්රතික්ෂේප කිරීමට ඇති අයිතිය) ආදී උසස් ගුණාංග නිසා ය. එකී ගුණාංගයන්ගෙන් තොරවීම යනු අන්තවාදයකට ගමන් කිරීමේ ලක්ෂණ යි. ඒ අනුව ලංකාවේ ඇතැම් බෞද්ධයන් දැන හෝ නොදැන ගමන් කරමින් සිටින්නේ එවැනි අශිෂ්ට බෞද්ධ අන්තවාදී ත්රස්තවාදයකට ය. එහිත් වඩාත් භයානක ම කාරණය වන්නේ ඒවාට උපදෙස් දෙන භික්ෂු පිරිසක් ද නිර්මාණය වී සිටීමයි. එය අතිශය කණගාටුවට කාරණයකි.
අඹගහහේනේ බුද්ධරක්ඛිත.
2026.09.22