Dyatlov Pass Incident
ලෝක ඉතිහාසයේ අදටත් විසඳන්න බැරි වුණු, ඇඟ කිළිපොලා යන අභිරහස් අතරින් ප්‍රධානතම තැනක් ගන්නේ 1959 දී රුසියාවේ 'යූරල්' කඳුවැටිය ආශ්‍රිතව සිදුවූ මේ බියකරු සිදුවීමයි. අත්දැකීම් බහුල තරුණ කඳු නැගීමේ කණ්ඩායමක්, කිසිවෙකුට පැහැදිලි කළ නොහැකි අද්භූත බලවේගයකට මැදිවී හිම කඳු අතරම මියගිය පුවත මුළු ලෝකයම කම්පා කළා.සිරුරු හමුවන විට තිබූ බියකරු තත්ත්වය, අතුරුදහන් වුණු ශරීර කොටස් සහ වෛද්‍ය විද්‍යාවටත් අභියෝගයක්
රුසියාවේ යූරල් කඳුකරයේදී 1959 වර්ශයේදී සිදුවූ අද්භූත සිදුවීමක් ලොව පුරා "The Dyatlov Pass Incident" නමින් ප්‍රසිද්ධියට පත් උනා. කඳු නගින්නන් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩාමයකින් නව දෙනෙකු පැහැදිලි කරගත නොහැකි වූ අද්භූත ආකාරයකින් මිය ගියා. සෙල්සියස් අංශක -30 ක තරම් අඩු උෂ්ණත්වයක් සහිත තත්වයකදී අති දුශ්කර ගමනක නිරතව සිටියදීයි මොවුන්ට මරණයට මුහුණ දෙන්නට සිදු උනේ. 1959 පෙබරවාරි 2 වනදා රාත්‍රියේ මෙම කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන් නිදා සිටි කූඩාරම ඇතුලතින් ඉරාගෙන එලියට පැමිණ අධික ශීතල හිම කතරේ දුවගොස් තිබුනේ ඔවුන් රාත්‍රියට ඇඳ සිටි ඇඳුම් පිටින්මයි.
සති තුනකට පසුව කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකුගේ මළසිරුරු ඔවුන් නවාතැන් ගෙන සිටි කඳවුරේ (කූඩාරමේ) සිට මීටර් සිය ගණනක් පහලින් වූ බෑවුමක තිබී හමු උනා. ඉතිරි සාමාජිකයන් සිව් දෙනාගේ මළ සිරුරු සොයාගැනීමට සෝදිසි මෙහෙයුම් වල නිරත වූවන් හට තවත් මාස දෙකක් ගත උනා. පුදුමයකට මෙන් මෙම සිව්දෙනාම සම්පූර්ණ ඇඳුම් වලින් සැරසී සිට තිබෙනවා. පසුව කල පරීක්ෂණ වලින් මොවුන්ගේ ඇඳුම්වල අධික විකිරණශීලීතාවයක් තිබෙන බව සොයා ගනු ලැබුවා. එමෙන්ම මොවුන්ගෙන් සමහරක් අයගේ අස්ථි සහ හිස් කබල් බිඳී තිබෙන බවත් අනාවරණය උනා. මෙම කාරණා දෙක හැරුණු කොට අපරාධයක් සිදුවූ බවට වෙනත් සාක්ෂි නොමැති බව පවසමින් රුසියානු බලධාරීන් ඉක්මනින්ම පරීක්ෂණ කටයුතු අතහැර දමනු ලැබුවා
මෙම ගමන සංවිධානය කලේ 23 හැවිරිදි ඉගෝර් ඩයාට්ලෝව් විසින්. ගමන ආරම්භ කලේ 1959 ජනවාරි 28 වන දිනයි. මෙම සිදුවීමෙන් දිවි ගලවාගත් එකම පුද්ගලයා වූ යූරි යුඩින් කඳුවැටිය කරා එන ගමනේදී අසනීප විය. එම හේතුවෙන් ඔහු අතරමග ගම්මානයක නතර විය. අනෙකුත් සාමාජිකයන් නව දෙනා දිගටම ගමනේ නිරත වූහ
දිවි ගලවාගත් එකම තැනැත්තා යූරි යුඩීන්, කණ්ඩායමෙන් වෙන්වූ මොහොතේදී ලුඩ්මිනා ඩුබිනිනා විසින් වැළඳගත් අයුරු. පසෙකින් බලා සිටින්නේ කණ්ඩායම් නායක ඉගෝර් ඩයාට්ලෝව්.
කඳු නගින්නන් කණ්ඩායම පෙබරවාරි දෙවනදා සැන්දෑ භාගය එළඹෙද්දී ඔර්ටෝටන් කන්දට ආසන්නයේ පිහිටි කන්දක කඳවුරු තැනූහ. මේ බව සනාථ වූයේ පසුව හමුවූ කඳු නගින්නන් කණ්ඩායමේ කැමරාවක සටහන් වූ ඡායාරූපයකිනි
පෙබරවාරි 2 වනදා සවස කඳවුරු ගසන කණ්ඩායම
මොවුන් කඳවුරු ගැසූ කන්ද මෙම පළාතේ මිනිසුන් හඳුන්වන්නේ "Kholat Syakhl" නමින්. මෙහි අරුත මරණයේ කඳුකරය යන්නයි. මොවුන් කූඩාරම් ගැසීමට මෙම ස්ථානය තෝරාගත්තේ ඇයිද යන්න ගැටලුවක්. මන්ද මෙතැනට සැතපුමක් පමණ ඈතින් කැලෑබද පෙදෙසක් තිබෙන බැවින්. කලෑබද පෙදෙස පසුකර ඉදිරියට නොගියානම් නැතහොත් මෙම ප්‍රදේශය දක්වා ආපසු පැමිණියානම් ඔවුන්ට අධික ශීතල කාලගුණ තත්වයට අමතර ආවරණයක් ලබා ගැනීමට හැකියාව තිබුනා. පසුව සොයාගත් ඡායාරූප වලින් පෙනීගිය ආකාරයට ඔවුන්ට කාලය පිළිබඳ ගැටලුවකුත් තිබී නැහැ. එසේනම් වැඩි ආවරණයක් සහිත කලෑබද පෙදෙසට නොගොස් කඳු බෑවුමේ කූඩාරම් තැනුවේ ඇයිද යන්න ගැටලුකාරී තත්වයක්
මෙම කඳවුර ගමනාන්තයට ළඟාවීමට පෙර ඔවුන්ගේ අවසන් කඳවුර වීමට නියමිතව තිබුනා. පෙබරවාරි 12 වන දින වනවිට ඔවුන් ආපසු පැමිණීමට බලාපොරොත්තු වන බව ඩයාට්ලෝව් ගමන ආරම්භ කිරීමට පෙර පවසා තිබුනා. නමුත් තමන් මීට වඩා ප්‍රමාද විය හැකි බවත් ඔහු විසින් පවසා තිබුනා. එමනිසා යම් අනතුරක් පිළිබඳ අදහස් මතු වන්නට පටන් ගත්තේ පෙබරවාරි 20 වන දින පමණ වන විටයි. 26 වන දින මොවුන්ගේ කඳවුර සොයා ගැනීමට සෝදිසි කණ්ඩායම් සමත් විය.
කඳු නගින්නන්ගේ කූඩාරම 1959 පෙබරවාරි 26 වන දින සොයාගන්නා විට තිබූ ආකාරය
පසුව මෙම ස්ථානය පරීක්ෂා කල බලධාරීන් කූඩාරම ඇතුල් පැත්තෙන් කපා ඉරා දමා ඇති බව සොයාගනු ලැබුවා. එසේම කූඩාරමෙන් එලියට දිවෙන පුද්ගලයන් අට දෙනෙකුගේ හෝ නම දෙනෙකුගේ පා සටහන්ද සොයා ගනු ලැබුවා. මෙම පා සටහන් යොමුවී තිබුනේ කැලෑබද ප්‍රදේශය දෙසටයි (කඳු බෑවුම දෙසට ). සෝදිසි කණ්ඩායම් සොයාගත් පරිදි කඳු නගින්නන් ඔවුන්ගේ පාවහන් කූඩාරමේ දමා දිවගොස් තිබෙනවා. සමහර අය මේස් පැළඳ සිට ඇති අතර අනෙක් අය නිරුවත් පාද වලිනුයි දිවගොස් තිබෙන්නේ. මෙයින් කියවෙන්නේ තමන් නිදා සිටි කූඩාරම කපා දමා පාවහන් පැළඳීමටවත් පමානොවී අධික ශීතල හිම කතරට පැන ඔවුන් දිවගොස් ඇති බවයි. එසේම වෙනත් පිටස්තර පුද්ගලයන් පැමිණි බවට එකදු සළකුණක්වත් නොමැති අතර කණ්ඩායමේ සාමාජිකයන් අතර ප්‍රශ්නයක් ඇතිවූ බවටත් සාක්ෂි නැහැ.
සෝදිසි කණ්ඩායම් සෝදිසියේ නිරත වෙමින්
තවත් මළසිරුරු තුනක් මෙම ස්ථානයත් කඳවුරත් අතරමැද ස්ථාන වල තිබී හමුවී තිබෙනවා. කණ්ඩායම් නායක ඩයාට්ලෝව්ගේ මළ සිරුරත් මීට ඇතුලත්. මළසිරුරු වැටී තිබූ ආකාරය අනුව තීරණය වූයේ ඔවුන් නැවතත් කඳවුර දෙසට ගමන් කරන්නට ඇති බවයි. මින් එක් මළසිරුරක හිස් කබල බිඳීගොස් තිබූනා. ඉතිරි මළසිරුරු හතර සොයාගැනීමට තවත් මාස දෙකක කාලයක් ගත විය. අවසානයේදී මෙම මළසිරුරු සොයාගත්තේ පෙරකී ගසේ සිට තවත් අඩි සිය ගණනක් පහළ බෑවුමේ පිහිටි ඇගිලියක අඩි 12ක් පමණ ගැඹුරු හිම තට්ටුවකින් වැසී තිබියදීයි. මොවුන් සිව් දෙනාම භයානක මරණයකට මුහුණදී තිබුනා. එක් අයෙකුගේ (නිකොලස් තයිබෝ-බ්‍රිග්නොලෙල්) හිස් කබල බිඳීගොස් තිබුනි. තවත් අයෙකුගේ (ඇලෙක්සැන්ඩර් සොලොටැරියෝව්) ඉළඇට බිඳී තිබුනි. තවත් අයෙකුගේ (ලුඩ්මිලා ඩුබිනිනා) ඉළඇට බිඳී තිබීමට අමතරව තවත් පුදුමාකර යමක් සිදුව තිබුනි. එනම් ඇයගේ දිව අතුරුදහන්ව තිබුනි.
"මෙම තුවාල හරියට මෝටර් රථ අනතුරකින් ඇතිවන ඒවා වගෙයි." සිදුවීම සම්බන්ධව ක්‍රියාකල වෛද්‍යවරයෙකු වන බොරිස් වොසොස්ඩෙනි පවසනවා.
අවසන් සිව් දෙනා මුල් පස් දෙනාට වඩා හොඳින් හැඳ පැළඳ සිට තිබෙනවා. පෙනීයන ආකාරයට ඔවුන්ගේ ගමන අතරතුරේදී ඔවුන් මුලින් මියගිය අයගේ ඇඳුම් ගලවාගෙන තිබෙනවා. අභිරහසේ තත්වය තවත් උග්‍ර වන්නේ අවසන් සිව්දෙනාගේ ඇඳුම් වල විකිරණශීලි තත්වයක් පෙන්නුම් කිරීම නිසාවෙන්. මොවුන් කඳවුරු ගසා තිබුනේ කඳු බෑවුමකයි. මොවුන් රාත්‍රියේ කූඩාරම තුල නිදා සිටින විට සිදුවූ හිමධාවයකින් මොවුන්ගේ කූඩාරම වැසී යාම නිසා මොවුන් අධික ශීතලකට නිරාවරණය වූවා වන්නට පුලුවන්. (හිමධාවයක් යනු කඳු මුදුනක සිට බෑවුම් දිගේ හිම කඩා වැටෙන තත්වයක්.) මෙසේ හිමෙන් වැසී සිටි කාලය තුල මොවුන් හයිපොර්තමියා තත්වයට ගොදුරු වූවා වන්නට පුලුවන්. මෙය හදිසියේම කූඩාරම කපාගෙන එලියට පැන දිවීමටත් ගැලපෙන පැහැදිලි කිරීමක් වන අතර පස් දෙනෙකුගේම මරණයට හේතුව හයිපොර්තර්මියා බව නිගමනය වේ
කෙසේ වෙතත් විකිරණශීලිතවයක් ඇඳුම් වල දක්නට ලැබීම නම් අමුතුම සිදුවීමක්. එමෙන්ම මේ සම්බන්ධව පරීක්ෂණ කටයුතු ඉදිරියට ගෙන නොයාමට ගත් තීරණයත් සැක සහිතයි. එමෙන්ම මෙම සිදුවීම සිදුවූ කාල සීමාවේ මෙම ප්‍රදේශය ආශ්‍රිතව තවත් පුදුමාකාර සිදුවීමක් සිදුව තිබෙනවා. එනම් මෙම ප්‍රදේශයේ අහසේ දිලිසෙන පියාඹන පීරිසි දුටු බවට විවිධ ප්‍රකාශ ඉදිරිපත් වීමයි. මේ සිදුවීම සම්බන්ධව පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ප්‍රධානියා වන ලෙව් ඉවනොව් මේ ගැන මෙසේ ප්‍රකාශ කර තිබුනා.
"මම මුල සිටම සැක කලා මෙම පියාඹන පීරිසි මොවුන්ගේ මරණ සමග කෙලින්ම සම්බන්ධ බවට. දැන්නම් මට ඒ ගැන සැකයක් නැහැ." මොහු මෙසේ පැවසුවේ විකිරණශීලීතාවය සම්බන්ධ කාරණා එලිවීම නිසා. එසේම පරීක්ෂණ කටයුතු නවතා දමන ලෙසට සෝවියට් බළධාරීන්ගෙන් නියෝග ලැබුන බවටත් ඔහු පවසා තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වූ කඳු නගින්නන් සිහි කිරීමට තැනූ ස්මාරකය
2019 දී රුසියානු බලධාරීන් නැවත පරීක්ෂණ ආරම්භ කළ අතර 2021 දී ස්විට්සර්ලන්තයේ ETH Zurich විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් පරිගණක ආකෘති (Simulations) ඇසුරින් මෙයට වඩාත්ම පිළිගත හැකි විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉදිරිපත් කළහ:
- කුඩා හිම කඳු කඩා වැටීමක් (Slab Avalanche): කණ්ඩායම කූඩාරම ඉදිකිරීම සඳහා කඳු බෑවුමේ හිම තට්ටුව කපා සමතලා කර තිබුණි. රාත්‍රියේදී හමා ආ තද සුළං (Katabatic winds) නිසා කූඩාරමට ඉහළින් තිබූ හිම තට්ටුව මත අමතර හිම එකතු වී, ඝන හිම කුට්ටියක් (Slab) කූඩාරම මතට කඩා වැටී ඇත.
- අභ්‍යන්තර තුවාලවලට හේතුව: මෙම ඝන හිම කුට්ටිය නිදා සිටි අයගේ පපුව සහ හිස මතට කඩා වැටීමෙන්, බාහිර තුවාල නොපෙනෙන පරිදි අභ්‍යන්තර අස්ථි බිඳීම් සිදුවී ඇත.
- පලා යාම සහ මරණය: හිම කන්දකට යටවේ යැයි බිය වූ පිරිස, තුවාල ලැබූ සගයන්ද රැගෙන කූඩාරම කපාගෙන වනාන්තරය දෙසට දිව ගොස් ඇත. දැඩි ශීතල නිසා ඔවුන් අධිශීතකරණයට (Hypothermia) ලක්ව මියගොස් ඇති අතර, මියගිය පසු දිය පහරක වැටී තිබූ සිරුරුවල මෘදු පටක (දිව සහ ඇස්) වන සතුන් විසින් ආහාරයට ගැනීම හෝ දිරාපත් වීම නිසා අතුරුදහන් වී ඇත.
සිදුවූයේ කුමක්දැයි දන්නේ කඳු නගින්නන් නව දෙනා පමණි. ඔවුන් සමගම ඔවුන්ගේ මරණයේ රහස වැළලී ගොසිනි.