අතීත සසරේ කර්මත් වර්තමානයේ රූප උපදවයි.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මේ මොහොත වන විට ජීවත්ව සිටින ඔබේ රුපස්ඛන්ධය ලෙස හදුන්වන ශරීරය ඉබේ හට ගත්තක් හෝ සර්ව බලධාරියෙකු විසින් මවන ලද්දක් හෝ නොවේ. ඔය ශරීරය හට ගන්වන්නේ හේතු සතරකිනි. ඒ කර්මය, සිත, සෘතුවය, ආහාරය යන හේතු සතරයි.
    රූපයන් අතර කර්මාදි එක් ප්‍ර‍ත්‍යයකින් හට ගන්නා රූප ද ඇත. ප්‍ර‍ත්‍යය දෙකකින් හට ගන්නා රූප ද ඇත. ප්‍ර‍ත්‍යය තුනකින් හෝ හතරින්ම හට ගන්නා රූප ද ඇත. කිසි ම ප්‍ර‍ත්‍යයකින් හට නොගන්නා රූප ද ඇත. රූප විසි අටම ගෙන ඒ බව වෙන වෙනම අභිධර්මයෙන් දැන ගත යුතු ය.
    මේ කර්මාදී හේතු සතරෙන් සිත, සෘතුව, ආහාර යන හේතු තුන, ඒවායින් උපදවන රූප ළඟම තිබෙන හේතු තුනකි. නමුත් සත්ත්ව සන්තානයේ කර්මජ රූප හට ගන්වන හේතුව ඒ අවස්ථාවට නැති, අතීතයේ ඇති වී, නැති වී ගිය කර්මයකින් රූප හට ගන්වයි.
    ඒ කර්මය ගිය භවයේ එකක් විය හැකිය. භව දෙක තුනක හෝ දහයක පහළවක හෝ දහසක දෙදහසක හෝ ලක්ෂ ගණනින් අතීත භවයක කෙරුණු අකුසල හෝ කුසල කර්මයක විපාකයක් වේ.
    සිත, උණුසුම, ආහාර යන හේතු තුනෙන් හට ගන්නා රූප පාලනය කරන්නට අමුතු දෙයක් වුවමනා නැත. එයට හේතුව එම හේතුව විසින් උපදවන රූප ඒ ළඟම ඇති බැවිනි.
    නමුත් සත්ත්ව සන්තානයේ කර්මජ රූප හට ගන්නේ ඒ අවස්ථාවට නැති, අතීතයේ ඇති වී, නැති වී ගිය කර්මයකිනි. එම නිසා කර්මජ රූප පරම්පරාවන්ට බොහෝ කාලයක් පැවැතිය හැකි වීමට ආරක්ෂා කරන තවත් දෙයක් තිබිය යුතු ය. කර්මජ රූප ආරක්ෂා කරන ඒවායේ පරම්පරාව බොහෝ කාළයක් පවත්වන බලය වන්නේ ජිවිතින්ද්‍රිය රූපය යි. ජීවිතින්ද්‍රියේ බලයෙන් කර්මජ රූප පරම්පරාව සසරේ භව සිය ගණන් දහස් ගණන් මුළුල්ලෙහි නො සිඳී පවතී.
    එම නිසා සසරේ අසරණව ගසාගෙන යන ඔබ කිසිම අකුසල කර්මයක් කිරීමෙන් වැළකිය යුතු ය. අකුසල කර්ම වලින් ලැබෙන්නේ නරක භයානක ප්‍රතිඵල වේ.
    ඉක්මන් භවයක සසරින් එතෙර වනතෙක්ම ඔබේ යහපතට උපකාර වන කුසල කර්මම වහ වහා කර ගත යුතු ය.