අතුරුදහන්(කර)වූවෝද මනුෂ්‍යයෝය..!

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අතුරුදහන්(කර)වූවෝද මනුෂ්‍යයෝය..!

    දැනට ඇස්තමේන්තුගත තොරතුරු අනුව ලංකාවේ දේශපාලනික,සිවිල් සහ ත්‍රස්තවාදී ගැටළු අතරතුර අතුරුදහන්වූ පුද්ගලයන් ගණන 20,000 ද ඉක්මවයි. ඒ බොහොමයක් දෙනා ගැන කිසිඳු තොරතුරක් ඔවුන්ගේ ඥාතීන් නොදන්නා අතර අදටත් ඔවුන් ඇස් දල්වා සිටින්නේ ප්‍රාතිහාර්යකින් හෝ තම අතුරුදහන්වූ ඥාතියා නිවසට පැමිණෙන තෙක්ය.

    සිව්වැනි ඊළාම් යුද්ධය දක්වාත්, අතීතයේ භීෂණ සමයේත් අතුරුදහන්වූවන්ගේ ලයිස්තුවට සිය ගණන් දහස් ගණන් අංක බැරවූවා මිස ඔවුන් කිසිවෙක් යළිත් නිවසට පැමිණියේ නැත. බොහොමයක් මව්වරුන්ට, බිරින්දෑවරුන්ට හිමිව ඇත්තේ ළහෙයි දැවෙන සෝ ගින්න, ඇසින් නොනවත්වා හැලෙන කඳුළු, ආර්ථිකමය පිළිසරණක් නොමැතිව තැබෙන ජීවිත සහ දුර්වර්ණව ගිය ඡායාරූප පමණි.

    ඒ අතුරුදහන් වූවන් සියළුම දෙනා මේ භූමියේ ජන්මලාභය ලැබූ ඔබ මම වැනිම මිනිසුන්ය. පෙකිණිවැල කපා මවගේ ඇකයේ තැබූවිට ඔවුන්ද අප මෙන්ම කිරි උරා බොන්නට ඇත, ඔවුන්ද අප මෙන්ම දණගාමින් මේ මාතෘ භූමියේ පහස විඳින්නට ඇත. ඔවුන්ද අප මෙන්ම මේ දිය දහරේ පහස, සුළඟේ ආශ්වාදය මෙන්ම හිරුගේ දාහය විඳින්නට ඇත.

    එහෙත් එක් තැනකදී ඔවුන් ඔබට මට වඩා වෙනස් දේශපාලනික හෝ සමාජ මතවාදයක් දරන්නට ඇත. එසේත් නැත්නම් එසේද නොවී පාඩුවේම ජීවත්වන්නට ඇත. නමුත් සාපලත් දේශයක් බවට පත්ව තිබූ භූමියක නන්නාදුනන ඇස් ඔවුන් වෙත එල්ලවී තිබෙන්නට ඇත. අඳුරේ ඔවුන් සඟවන්නට ඇත.

    උණහපුළු අම්මාටද තමන්ගේ දරුවා මැණිකක් නම් මනුස්ස අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවා කොතරම් වටිනවා ඇතිද? එහෙත් අදටත් විසිදහසකට වැඩි අම්මාවරුන්ගේ හදේ ඇත්තේ තමන්ගේ අතුරුදහන්වූ දරුවා ගැන වේදනාවකි. අඩුම තරමේ ඔවුන් අතුරුදහන්වූයේ කෙසේද? ජීවතුන් අතරද නැද්ද යන්න දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය නැතැයි කාටවත් කිව නොහැකිය.

    මංගල සමරවීර අමාත්‍යවරයා පසුගිය දිනක පවා ඒ මව්වරුන් හමුවී අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ තත්වය සහ ඒ අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් රජයේ පිළිවෙත ඔවුන්ට පහදා දෙන්නට මැදිහත්වූයේ රජයක් ලෙස මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ සිටින්නාවූ පංචස්කන්දයන් අතර ඒ පිළිබඳ හැඟීමක් ඇති එකම එක පුද්ගලයා වශයෙන්ය.

    එදා මව් පෙරමුණ බිහිවී දකුණේ අතුරුදහන්වූ දරුවන් වෙනුවෙන් හඬ නගද්දී ඔවුන් සමග එකට හඬනගන්නට මංගල සිටියාක් මෙන්ම ඉන් පසුව උතුරේදී අතුරුදහන්වූ තම දරුවන් වෙනුවෙන් හඬන මව්වරුන්ගේ සෝගින්න පසෙකලන තැනකට මංගල කටයුතු නොකලහ. උතුරත් දකුණත් එකසේ සලකා ඔවුන් වෙනුවෙන් යමක් කරන්නට පෙළගැසීම පක්ෂ භේද පසෙකලා අගය කල යුතුය.

    භීෂණය නිසා අතුරුදහන්වූ අම්මලාගේ දුක් ගින්දර විකුණා ජිනීවා ගිය දේශපාලඥයින්ට පසුව ඒ අඳෝනා අමතකවූ නමුත් මංගල එසේ නොකිරීම වැදගත්ය, මහත්මාකමක් ඒ තුල ඇත. එමෙන්ම මේ ක්‍රියාවලියට අත දෙන තවත් පිරිසක් ඇත. ඔවුන්ද ඉතා කෘතඥව සිහිපත්කල යුතුය.

    කව්රුන් හෝ මේ අතුරුදහන්කරවූවන්ගේ අම්මලා,බිරින්ඳෑවරු,ඥාතීන් නගන විලාපයන් මෙරට නැවත ත්‍රස්තවාදය පිහිටුවීමට හෝ කිසියම් දේශපාලන ව්‍යාපාරයක් හෝ රජය අපහසුතාවයට පත්කරන කුමන්ත්‍රණ ලෙස දකිනවානම් හෝ එසේ පෙන්වන්නට උත්සහ කරනවානම් ඒ පුද්ගලයන්ට අම්මලාගෙන් බිව් කිරිවල යහගුණ මතක්කර දීම කළ යුතු ආසන්නතම දෙයකි.

    එහෙත් ඒ උන්දැලා මෙන්ම රටේ හිත්පිත් ඇති මිනිසුන් අවබෝධකරගත යුතු දෙයක් ඇත. එනම් මේ අම්මලාගේ ඇස්වලින් වැටෙන කඳුලැලි ගෙන එන පණිවිඩයයි.

    මේ කිසිඳු අම්මා කෙනෙක් දරුවන් හැදුවේ වැඩුවේ ත්‍රස්තවාදීන් හෝ කැරලිකාරයන් නැතිනම් පාලකයන්ට එරෙහිව අවි අමෝරන්නන් කරන්නට නොව, රජවරු කරන්නටය. එහෙත් ඒ රජවරුන්ගේ ගමන අතරතුර සමාජ,දේශපාලනික සහ ආර්ථික ප්‍රශ්න නිසා රජකම් කිරීම වෙනුවට ඔවුන්ට මැරකම් කරන්නට වෙන තැනට පත්විය. එයට මේ අම්මලා, බිරින්ඳෑවරු,ඥාතීන් පලි නැත. ඔවුන් දන්නා ත්‍රස්තවාදයක් හෝ විප්ලවයක් නැත. ඔවුන්ට ආන්ඩු පෙරලන්නට තියා පත්කරන්නටද වුවමනාවක් නැත.

    ඔවුන්ට ඇත්තේ බරපතල ගැටළුය. මරණ සහතිකයක්වත් නැති අතුරුදහන්වීම් නිසා උතුරේ මෙන්ම දකුණේත් පවුල්වල ප්‍රශ්න, ආර්ථික අහේනිය, දේපල ප්‍රශ්න ඇතුලු ප්‍රශ්න ගණනාවක් මතුව ඇත. ඒවා නොවිසඳෙන තාක් ඒ මිනිසුන් මැරිමැරී ජීවත්වන්නන් පමණකි.

    ඒ නිසා ඔවුන්ගේ කඳුළුවල කතාව හරියාකාරව තේරුම් නොගෙන හැමදෙයටම ජාතිය හෝ කුලය නැතිනම් දේශපාලනය ගාවාගෙන පලක් නැත. එදා දකුණේ ප්‍රා, කළු බලලුන් වැනි කල්ලි වලට නායකත්වය දී දරුවන් බුරුතු පිටින් අතුරුදහන් කර දේශපාලඥයන් අද ආණ්ඩුවේ ලොකු ඇමතිකම් ලබා සුදු පිරුවටයෙන් ලේ පැල්ලම් වසාගෙන සිටියි. තවත් අය උතුරේ දරුවන් බුරුතු පිටින් අතුරුදහන් කර අද පන්සල් ගානේ බණ කියති. ඒ කිසිවෙකුට නොපෙනෙන මව්වුරුන්ගේ නොනිමි විලාපයක් මේ භූමියේ තවමත් ඉතිරිව ඇත. ඒ විලාපයට ඔබද මමද යම්තාක් දුරට වගකිව යුතුය. ඒ නිසා අපිද ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුව ඇත, පෙනී සිටින්නාවුන් තනි නොකල යුතුව ඇත.

    උපුටා ගැනීම - www.her.lk