අනේ මගේ දරුවා !

hpalpola

Well-known member

  • ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය තුළ අමතක කල නොහැකි චරිතයකි කිසා ගෝතමිය. ඇගේ දරුවා මළ සොවින් සිහිවිකල්ව එහෙ මෙහ යද්දී බුදුරජාණන්වහන්සේ කරා පැමිණ සැනසීම ලැබුවා ය. ඇය රහතුන්වහන්සේ නමක් බවට පත්වූවා ය. මේ කිසා ගෝතමියගේ කතාවේ එක් අවස්ථාවක් සිහිපත් කරමි. ඇයගේ සිහි උමතු වූයේ ඇගේ දරුවා මළ සොවිනි. සාමාන්‍යයෙන් පෘථග්ජනයන්ට ඇති මානසික ස්වභාවයක් ලෙස මෙය දැක්විය හැක. තමාගේ යැයි අල්ලා ගැනීම තුළ අල්ලා ගත් දේ නැති වූ විට දැනෙන අධික ශෝකය, මානසික ව්‍යාධීන් ඇති කිරීමට පවා හේතු වේ. මෙවැනි අවස්ථාවලදී දැනෙන ශෝකය ඉතා දැඩි ය. අල්ලා ගැනීමේ තරමට ම ශෝකයේ බලපෑම ද වෙනස් වේ. සමහරක් විට ඔබටත් මෙවැනි අවස්ථාවලට මුහුණ පා ඇති අය හමු වී තිබෙන්නට පුළුවන. එවැන්නන සමග සබඳතා පැවැත්වීමේ දී ඉතා ප්‍රඥාවන්ත විය යුතු ය. කිසා ගෝතමියගේ සිදුවීමේදී බුදුරජාණන්වහන්සේ නිසි සබඳතාවක් පවත්වා ගත් නිසා කිසා ගෝතමියට සත්‍ය වැටහුණු අතර ඇගේ ශෝකය සදහටම නිවිනි. අපට එතරම් ම දෙයක් කිරීමට නොහැකි වනු ඇත. නමුත් එවැනි අවස්ථාවලදී ප්‍රඥාවන්තව කටයුතු කිරීමට තරම් අවබෝධයක් බුදු දහමින් ලැබේ.