අපට බණින හැටි

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ ස්‌ථාවරය (අපේ මිතුරන් අපට බණින හැටි)
















    මේ පුවත්පත ප්‍රතිපත්තියක්‌ වශයෙන්ම වැඩ වර්ජනවලට විරුද්ධය. වෙසෙසින්ම සෞඛ්‍ය සේවක වර්ජන, දොස්‌තර වර්ජන, විදුලිබල සැපයුම - ජල සැපයුම, ප්‍රවාහනය වැනි අංශවල වර්ජන සහ විශ්වවිද්‍යාල වර්ජනවලට අප මහත් සේ විරුද්ධය. එහෙත් මේ පුවත්පත කම්කරු අරගලවලට පක්‍ෂය. කම්කරුවා සූරා කනු ලබන තැනදී ඒ කම්කරුවා වෙනුවෙන් පෙනී සිටීම අප කවදත් අනුගමනය කළ පිළිවෙතය. මේ නිසා ඡේ. ආර්. අප හමගසන්නට උත්සාහ කළ අතර, චන්ද්‍රිකා අප උල හිඳුවන ක්‍රමයක්‌ කල්පනා කළාය. ජනපති ප්‍රේමදාස දන්නා කාලයේ පටන් අප සමග ගේම ඉල්ලූ 'මහතෙකි'. (ගේම ඉල්ලීම කියන්නේ "සටනට එව" යන කැඳවුමට යොදන අව්‍යක්‌ත සිංහල යෙදුමකි. මෙවැනි අව්‍යක්‌ත යෙදුම් සමාජගත වී ව්‍යක්‌ත යෙදුම් බවට පත් වීමට මෙකල ගතවන්නේ ඉතා සුළු කාලයකි). එබැවින් ඔහු අප හා ගුටි ඇනගත්තේ අප කම්කරු අරගලවලට උදව් කළ නිසා ද නැත්නම් වෙනත් අවුලක්‌ නිසා ද යන්න ගැන අදටත් අපට පැහැදිලි වැටහීමක්‌ නැත. කෙසේ වුව ද ප්‍රේමදාස රෙජිමය ගැන වැදගත් යමක්‌ කිව යුතුය. මේ රටේ කම්කරු සටන් ඉතාම අඩුවෙන් තිබූ කාලය ප්‍රේමදාස රෙජිමය පැවති කාලයයි. එකල කම්කරු සටන් සම්පූර්ණයෙන්ම පාලනය කළේ මාරයා විසිනි. වෘත්තීය සමිති නායකයන් හමුවීමට මාරයා කෙළින්ම ඒ අයගේ ගෙවල්වලට පැමිණියේය. ඒ වූ කලී ජීවිතය සහ මරණය එක ගොඩේ ගුටි ඇනගත් කාලයයි. එහෙත් අද කාලය යහපත්ය. කතා කිරීමේ නිදහස අන් හැම කලකටම වඩා තිබේ. අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස එහි මස්‌තකයට පැමිණ තිබෙන බව ප්‍රවෘත්ති, වෙබ්සයිට්‌,ෆේස්‌බුක්‌, බ්ලොග් වැනි අන්තර්ජාල අවි ආයුධවලින් පෙනී යයි. මේවායින් ගහන ගැහිලිවලින් බඩ පමණක්‌ නොව සෙසු අවයව ද බුරුල් වෙයි.

    ජනපති, අගමැති, ඇමැතිවරු යනාදීන් අප සමග කොකු ඇදගන්නා අවස්‌ථා ඕනෑ තරම් තිබුණ ද ඒ ගැටුම් තාවකාලිකය. උතුරේ හමුදා කඳවුරු 80 ක්‌ වසා දමන බවට 15 වැනි ඉරිදා පුවතත් දින හතළිස්‌ පහකින් හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවටත් පෙරේදා අප පළ කළ පුවතත් නිසා ජනාධිපතිතුමා සුළු අවිවලිනුත්, අගමැතිතුමා බර අවිවලිනුත් අපට පහරදෙන ආකාරය ඉකුත් සති අන්තයේදී අපි දුටුවෙමු. පාසල්වල ස්‌ට්‍රයික්‌ එකක්‌ වන බව 08 වැනි ඉරිදා 'දිවයිනේ' පල විය. එයින් කිපුනු අකිල විරාඡ් අධ්‍යාපන ඇමැතිතුමා හතර අතේ අපට බනින්නට විය. අන්තිමේදී පාසල් වර්ජනය 80% ක්‌ සාර්ථක විය. විවිධ අධ්‍යාපන ප්‍රධානීන් පැවසුවේ වර්ජනය අසාර්ථක වූ බවත් සියලු පාසල් ඇර තැබූ බවත්ය. කඩේ ඇරියාට කෑම නැත්නම් වැඩක්‌ නැත. වර්ජනය පැවති අවස්‌ථාවේදී පාසල් ඇරියාට ගුරුවරුන් වැඩට ආවේ නැත. පාසලක්‌ සාර්ථක වන්නේ ශිෂය ප්‍රජාව ලෙසම ගුරු මණ්‌ඩලයත් වැඩට ආවොත් පමණි. හමුදා කඳවුරු වැසීම පිළිබඳ කතාව මෙයට ටිකක්‌ සමානය. ඒ බව පසළොස්‌ වැනිදා 'ඉරිදා දිවයිනේ' පල වූ විට යුද හමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශයක්‌ කළේය. සංකීර්ණ තේරවිල්ලක්‌ බඳු එම ප්‍රකාශය අප ද තේරුම්ගත්තේ ඉතා අමාරුවෙනි. එහි සරල අරුත මෙසේ විය යුතුය ( කෑම්ප් එකේ ධබ dමඑහ සිටින යුද හමුදා සෙබළුන් එතැනින් ඉවත් කර වෙනත් වැඩවල යොදවනු ලැබේ. එය බලඇණි වසා දැමීමක්‌ හෝ කෑම්ප් වැසීමක්‌ නොවන තාවකාලික ක්‍රියාවකි. ප්‍රකාශයට පත්විය යුතු අදහස මෙය නමුත් හමුදාපතිතුමාගේ ප්‍රකාශය අනුව මෙම පණිවුඩය සම්ප්‍රේෂණය වන්නේ වැරදි ලෙසය. එහෙත් අපේ අදහස මෙයට වෙනස්‌ය. අප කියන්නේ බලඇණි අඩු කළ විට කෑම්ප් එක වැසෙන බවය. කුකුළු ෆාම් එකක කුකුළන් 5000 ක්‌ සිටිනවා යෑයි සිතමු. එයින් කුකුළන් 4700 ක්‌ ඉවත් කළ විට කුකුළු ෆාම් එක වැසුවාක්‌ වැනි තත්ත්වයක්‌ උද්ගත වෙයි. කුකුළන් 5000 කගෙන් ලද බිත්තර කුකුළන් 300 කගෙන් ලබාගැනීමට බැරිය. කුකුළන් 5000 කගෙන් ලද කුකුළු මස්‌ කුකුළන් 300 කගෙන් ලබාගත නොහැක. මේ බව තේරුම් කර දෙන්නට හදන විට ආණ්‌ඩුව හිතන්නේ අප කෝන්තර පිරිමහන්නට හදන බවය. යුද හමුදාපතිත් එසේම කල්පනා කරනවා විය යුතුය. අපි ඔහුගේ සතුරෝ නොවෙමු. විශේෂ මිතුරෝ ද නොවෙමු. අධ්‍යාපන ක්‌ෂේත්‍රයේ ගුරු සංගම් එක්‌ව අනිද්දා (26 දා) වැඩවර්ජනයක්‌ පවත්වන්නට යන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්‌ටාර්ලින් කියයි. ලෙනින්ට වඩා ස්‌ටාර්ලින් දරුණුය. එම වර්ජනයට නිමිත්ත වන්නේ දේශපාලන පළිගැනීම්වලට ලක්‌වූවන් ලෙස දැක්‌වෙන කිසියම් පිරිසකට ගුරු පත්වීම් දීමට ආණ්‌ඩුව ගන්නා තැතය. අපි මේ වර්ජනයට විරුද්ධ වෙමු. විභාග දෙකක්‌ (පහේ ශිෂ්‍යත්වය සහ උසස්‌ පෙළ) කටේ තබාගෙන රුසියාවේ ස්‌ටාර්ලින්වත් මෙවැනි වර්ජනයක්‌ කර නැත. අප අකිල විරාඡ් ඇමැතිතුමාගෙන් ඉල්ලන්නේ අප පසුපස එන එක නවත්වා ස්‌ටාර්ලින්ගේ මිනිසුන් සමග කතා කර මේ වර්ජනය නවත්වාගන්නා ලෙසය. ඒ ප්‍රශ්නය සමතයකට පත් වූ පසු ඇමැතිතුමා සහ අප අතර තිබෙන ගුටිකෙළිය විවේක පාඩුවේ පටන්ගත හැකිය. ගුටිකෙළගන්නටත් ඔලුව පිරිසිදුවට තිබිය යුතුයි. එයයි අපේ ස්‌ථාවරය.