අප්‍රේල් 08 දා;ජාත්‍යන්තර 'අහිගුණ්ඨික' දිනය

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අප්‍රේල් 08 දා;ජාත්‍යන්තර 'අහිගුණ්ඨික' දිනය

    roma.jpg
    ජාත්‍යන්තර සහ ලෝක සැමරුම් දින වශයෙන් සම්මත බොහෝ දින පිළිබඳව අපි දැනුවත්ව හිඳිමු. එහෙත් ජාත්‍යන්තර අහිගුණ්ඨික දිනයක් පිළිබඳව ඔබ මෙතෙක් අසා තිබුණාද?
    මගේ විශ්වාසයේ හැටියට ලෝක අහිගුණ්ඨික දිනයක් පිළිබඳව ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට දශමයක්වත් අසා නැත. මෙම දිනය හැඳින්වෙනුයේ 'ජාත්‍යන්තර රොමානි දිනය (international romaniday)' යනුවෙනි. එය ලබන ඉරිදාට නැතහොත් අප්‍රේල් 08 වෙනිදාට යෙදේ.
    අහිගුණ්ඨිකයන් හැඳින්වීම සඳහා ඉංග්‍රීසි බසින් යෙදෙන වදන වනුයේ Gypsy යන්නය. ඒ අනුව අප රටෙහි අහිගුණ්ඨිකයන්ද ඉංග්‍රීසියෙන් Gypsy යනුවෙන්ම හැඳින්වේ. නමුත් Gypsy යනු හුදු ඉංග්‍රීසි වචනයකි. එහි සැබෑ වදන වනුයේ රොමානි හෝ රොමා යන්නය.

    මෙම රොමානි යන මිනිස් කොට්ඨාශය මීට වසර දහසකට පමණ පෙර ඉන්දියානු උපමහද්වීපයේ වයඹ දෙසින් ලෝකයේ බොහෝ රටවලට සංක්‍රමණය වූ බව මානව විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ. රෝමා, සින්ති, සින්ධි යනුවෙන්ද හඳුන්වන මොවුන් ඉන්දු ආර්ය ගණයට අයත් උප ජන වර්ගයකි. ලෝකප්‍රකට ඉන්දියානු ඉතිහාසඥ ආර්.එල්.බෂාම් මහතා පවසනුයේ ලෝකයට ඉන්දියාවෙන් දායාද කළ අසිරිමත් දායාද අතරට මෙම ජනවර්ගයද අයත්වන බවය. කෙසේ හෝ පසුව ඇමරිකාවටත්, යුරෝපය ඇතුළු ලොව රටවල් රැසකට සංක්‍රමණය වූ මොවුන් ඇමරිකා එක්සත්ජනපදයේ දශලක්ෂයක් ද බ්‍රසීලයේ අටලක්ෂයක්ද වශයෙන් ලොව පුරා රටවල් 30 ක පමණ මිලියන විස්සක් පමණ වෙසෙන බව සොයාගෙන තිබේ. එය ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජනගහනයට ආසන්න අගයකි.
    romab.jpg
    ඉන්දියාවේ රාජස්ථාන්, හර්යානා, පන්ජාබ්, සින්ධි , කේරළ සහ ආන්ද්‍රා ආදී ප්‍රදේශ වල ජීවත්වන මොවුන් ඉතිහාසයේ කිනම් කලෙක හෝ ශ්‍රී ලංකාවට ද සංක්‍රමණය වී ඇත. මුත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු සොයාගැනීමට අපහසු තත්ත්වයක පවතී.
    එමෙන්ම සර්පයන් ප්‍රදර්ශනය කරවීම, රිලවුන් නැටවීම වැනි වෘත්තීන් හි යෙදුණු මොවුන් සිංහල ජනතාව විසින් හඳුන්වනු ලබන්නේ 'අහිගුණ්ඨික' යන නාමයෙනි. අද වන විට මේ 'අහිගුණ්ඨික' නාමය සමාජයේ කෙතරම් පහත් තත්වයකට පත්ව තිබේද යත් යමෙකුට අපහාස පිණිස පවා එම වදන යොදා ගන්නා අවස්ථා තිබේ. නමුදු මෙහි 'අහි' යන්නෙන් සර්පයා යන්නද, 'ගුණ්ටික' යනුවෙන් 'අල්ලන්නා' යන්නද හැඟවෙන බවක් පාලි ශබ්දකෝෂ වලින් පැහැදිළි කර ගත හැක.
    එහෙත් අතීත භාරතයේ 'අහිගුණ්ඨික' යන නාමය සමාජයේ ඉහළ ස්ථානයක තිබූ බවට පන්සිය පනස් ජාතකයේ අංක 354 වැනි අහිගුණ්ඨික ජාතකයෙන් පැහැදිළි වෙයි. එම ජාතක කතාවෙහි කතා නායකයා රිලවුන් නටවන අහිගුන්ඨික 'බ්‍රහ්මණයෙකි.' පැරණි භාරතීය සමාජ පසුබිම මුල්කොට ගෙන ලියැවුණු පන්සිය පනස් ජාතකයෙහි සමාජයේ විවිධ කුල වර්ග පිළිබඳව සඳහන් කර ඇත. නමුදු එහි කිසිම තැනක පහත් කුලිකයෙකු බ්‍රහ්මණ නාමයෙන් හඳුන්වා නොමැත. අපට එමඟින් හැගෙනුයේ අතීත භාරතයේ අහිගුණ්ඨික රැකියාව හෙවත් සර්පයන් ඇල්ලීම කිසිසේත් පහත් වෘත්තීයක් නොවූ බවය.අද වන විට ලෝකය පුරා වෙසෙන මෙරටදී 'අහිගුණ්ඨික' යනුවෙන් හැඳින්වෙන එම රොමානි ජන කොටස වෙනුවෙන් ලෝක රොමානි කොංග්‍රසය නම් ජාත්‍යන්තර සංවිධානයක් 1971 වසරේ දී ලන්ඩනයේ දී පිහිටුවා ගෙන ඇත. මේ වන විට එහි සැසිවාර 09 ක්ම පවත්වා තිබේ. එම රොමානි ජනතාවගේ සංස්කෘතිය, කලා ශිල්ප, සිවිල් අයිතිවාසිකම්, සංස්කෘතිය රැක ගැනීම සම්බන්ධයෙන් කැපවී ක්‍රියා කරන මෙම වැඩපිළිවෙලෙහි අවසන් සැසිවාරය (INTERNATIONAL ROMA CONFERENCE AND CULTURAL FESTIVAL) 2016 පෙබරවාරි මස 12 – 14 ඉන්දියාවේ නවදිල්ලි නුවර අසාද් බවන් හිදී පැවැත්විණි. එහි ශාස්ත්‍රීය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන ලද්දේ මහාචාර්ය සසිබාලා මහතාය.
    romaa.jpg
    එහිදී අදහස් පළ කළ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය වරයා කියා සිටියේ මෙම රොමානි ජනයා ඉන්දියානු උප මහද්වීපයෙන් ලෝකයට දායාද වූ ජනකොටසක් වන බැවින් ඔවුන් ඉන්දීය ඩයස්පෝරාව සේ සැලකිය යුතු බවය.

    තත්ත්වය මෙසේ තිබියදී මෙම රොමානිවරුන් ලෙස නිසැක ලෙසම හඳුනාගත හැකි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් අප රටට පැමිණ සිටින අහිගුණ්ඨික නමින් හැඳින්වෙන මෙම ජන කොටස ශ්‍රී ලංකාව තුළ අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයකට පත් කොට තිබීම පිළිබඳව මෙරට පාලනය කළ සියලුම දේශපාලඥයන් සාමූහික වගඋත්තරකරුවන් වනු ඇත.

    ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් සහ දෙමළ ජනතාව විසින් 'කුරවර්' යනුවෙන් හැඳින්වෙන මොවුන් සිංහලයන් විසින් හඳුන්වනුයේ අහිගුණ්ඨික හෝ 'කූතාඬි' යනුවෙනි. දැනට ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජීවත් වන මොවුන්ගෙන් කොටසක් මේ වන විට සාමාන්‍ය ජනසමාජයට අවශෝෂණය වෙමින් සිටින අතර ඔවුන්ගෙන් සුලුතරයක් තවමත් කාන්තාවන් ශාස්ත්‍ර කීමේ සහ පිරිමින් නයින් සහ රිලවුන් නැටවීමේ යෙදී සිටිති. ඒ ප්‍රදේශයෙන් ප්‍රදේශයට ගොස් කූඩාරම් තුළ නතරවී හිඳින සංචාරක ගෝත්‍රික ලක්ෂණ පෙන්නුම් කරමිනි. මෙම ජන වර්ගය මුල්කොටගත් නව කථා සහ සිනමාපට කිහිපයක් නිර්මාණය වී ඇති අතර සෝමවීර සේනානායකයන්ගේ සංකල්පනයක් අනුව බිහි වූ සත්වෙනි දවස නම් කතාව ඉන් අතිශය ජනප්‍රියත්වයට පත්විණි.
    ශ්‍රී ලාංකිකයන් හට මෙම ජනවර්ගය එකම කණ්ඩායමක් සේ පෙනී ගියද මොවුන් අතරේද ප්‍රධාන කොටස් දෙකක් පවතින බව හඳුනාගැනීමට මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී මට හැකිවිය.එනම් තෙළිඟු බසින් බිඳී ගිය සංකර බසක් කතා කරන මොවුන්ගෙන් උතුරුමැද ඇතුළු රටේ අභ්‍යන්තර ප්‍රදේශවල ජීවත්වන පිරිස් එක් උප සංස්කෘතියකටත්, පුත්තලමේ සහ මඩකලපුවේ මුහුදු කරයට වන්නට පදිංචි පිරිස් තවත් සංස්කෘතියකටත් අනුව හැඩ ගැසී ඇති බවය. රට අභන්තරයේ වෙසෙන මෙම ජන වර්ගයේ වැඩි කොටස සිංහල සංස්කෘතියට අනුව කිසියම් හැඩගැනීමක් සිදුව ඇතත් පුත්තලමේ සහ මඩකලපුවේ පදිංචි පිරිස ද්‍රවිඩ සහ මුස්ලිම් සංස්කෘතීන් අනුව හැඩගැසී ඇති බවත් මනාව පෙනී යයි.
    ඔවුන්ගේ කාන්තාවන්ගේ ඇඳුම අනුව වුවද මෙම වෙනස්කම් මූලිකව හඳුනාගත හැක. ඔවුන් පවසා සිටිනුයේ රට මධ්‍යයෙහි සිටින තම වර්ගයා සහ පුත්තලමේ සහ මඩකලපුවේ වෙසෙන ජන කොටස් අතර භාෂා විෂමතාවයන් පවා පැන නැඟී ඇති බවකි.
    romac.jpg
    කෙසේ හෝ නාගයන් සහ රිලවුන් වන සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව ආරක්ෂිත සත්වයන් බැවින් ඔවුන් පරිහරණය කිරීමේ දී නීතිමය බාධක එල්ලවන බැවින් ඒවායින් අත්මිදී මෙම වර්ගයේ පිරිමි පාර්ශවයට ජීවත්වීම උදෙසා කුමක් හෝ කාර්යයක යෙදීමට සිදුව ඇත. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ ශාස්ත්‍ර කීමෙහි යෙදෙන තම ජන වර්ගයේ කාන්තාවන් පොලිස් නිලධාරීන් විසින් පලවාහරින බැවින් ඔවුනට ජීවිකාව සලසා ගැනීමේ අවකාශයක් නොමැති බව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම කුඩාගම පදිංචි මෙම ජනකොටසට අයත් කිහිපදෙනෙක්ම මා හා කීහ. එමෙන්ම සෙ‍සු සමාජයෙන් නිරන්තරව එල්ලවන පීඩනය නිසා යහපත් අධ්‍යාපනයක් ලැබීමට නොහැකිවීම මුල්කොට මොවුනට රජයේ රැකියා ලබා ගැනීමේ නොහැකියාවක් පවතී. ඒ අනුව මෙම ජනකොටස අතර නීති විරෝධී ක්‍රියා පැතිරයාමේ ස්වභාවික හැකියාවක් පවතින බවද කිව යුතුය.
    සියවස් කිහිපයක සිට සාමාන්‍ය ජන සමාජයෙන් බැහැරව සිටීම නිසා ඔවුන් තමන්ටම ආවේණික සමාජ පරිපාලන ව්‍යුහයක් සකස්කරගෙන ඇති අතර සාම්ප්‍රදායික වශයෙන් එම කණ්ඩායම් නායකයෙකු ද ඔවුන් විසින්ම පත්ක‍රගෙන සිටිති. ඒ බොහෝ විට පියාගෙන් පුතුට හිමිවන එම කණ්ඩායම් නායකත්වය ඇතැම් විට එම පරම්පරාවේ තවත් අයෙකුට හිමිවේ. එහිදී අධිකරණ බලය හිමිවනුයේ ද ආරච්චි නමින් හැඳින්වෙන එම නායකයාටය. එහෙත් එවන් නඩු ඇසීමකදී දෙපාර්ශවයේම අදහස් වලට සම අවස්ථාව දීමෙන් සහ දෙපිරිසටම හැකිතාක් දුරට සාධාරණය ඉටුකිරීමට කටයුතු කිරීම නිසා ඔවුන්ගේ එම නඩු විභාග ක්‍රමය ඉතා දියුණු අධිකරණ ක්‍රමයක ලක්ෂණ පළ කරයි. එහෙත් අද වන විට එම ජනතාව සිවිල් පරිපාලන සහ අධිකරණ යාන්ත්‍රණයට නතුවීම තුළ එම ආරච්චිගේ භූමිකාව පොලිසියට සහ අධිකරණ වලට මුලුමනින් පැවරී තිබේ.
    කෙසේ හෝ අද වන විට ලෝකයේ පුරා පැතිර ගත් රොමානි යනුවෙන් හැඳින්වෙන මෙම ජන කොටසේ ශ්‍රී ලංකා නියෝජනය මෙලෙස අන්ත අසරණ දුක්ඛිත තත්ත්වයකට පත්ව තිබීම මත ලබන අප්‍රේල් 08 වෙනිදාට යෙදෙන 'ලෝක රොමානි දිනය' පිළිබඳ හාංකවිසියක් දැනගැනීමට ඔවුනට තබා මෙරට සාමාන්‍ය ජනතාවට ද නොහැකි වී ඇත. මෙහිදී ඔවුන් 'අහිගුණ්ඨිකයන්' ලෙස හැඳින්වීම නින්දා සහගත වදනක් බැවින් මෙය යටපත්වී ඇතැයි යමෙකුට තර්ක කිරීමට පුළුවන. එහෙත් මින් මතුවට ඔවුන් ජාත්‍යන්තරව හැඳින්වෙන 'රොමානි' යන වදනින් හෝ අප රටේ දෙමළ සහ මුස්ලිම් ජනතාව ඔවුන් හඳුන්වන 'කුරවර' යන වදනින් හැඳින්වීමෙන් සහ එම පිළිකුල පිටුදැකිය හැක. එමෙන්ම තවමත් දිවයිනේ තැනින් තැනට ගොස් කූඩාරම් තුළ ජීවත්වන ඔවුන්ගේ ජීවිත කෙරෙහි මීට වඩා සානුකම්පිත ලෙස බැලීමෙන් අප ජන සමාජයේ 'කසල ගොඩට' වැටී ඇති ලොව පුරා අවධානයට ලක්වන මෙම වටිනා මානව සම්පතට කිනම් හෝ අගයක් ලබා දීමට අප්‍රේල් 08 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර රොමානි දිනය යොදැගැනීම කෙරෙහි ජාතියේ අවධානය අපේක්ෂා කරමි.

    තිලක් සේනාසිංහ lakbima gossip
     
    • Like
    Reactions: richlife