අපි නොදන්න ලයිව්

obama2

Member
Apr 18, 2012
424
30
0
අපි නොදන්න ලයිව්



දෘෂ්ටිවාදයේ අපි නොදන්න ලයිව්

http://www.samabima.com/?cat=10 දීප්ති කුමාර ගුණරත්න

ලංකාවේ අනූව දශකය අගභාගයේ ‘සිරස’ රූපවාහිනියේ ප්‍රචාරය වූ ඉතා ජනප්‍රිය වූ වැඩසටහනක නාමය වූයේ ”අපි නොදන්න Live”ය. චූටි මල්ලියා සහ පොඩි මල්ලියා විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වැඩසටහන මඟින් උත්ප්‍රාසයට ලක් කරේ රූපවාහිනියෙන් පෙන්වන විවිධ වැඩසටහන් නිර්මාණය කිරීමේදී අපට නොපෙන්වන පැත්තයි. උදාහරණයක් වශයෙන් යම් වැඩසටහනක් නිර්මාණය කරන විට විදුලිය විසන්ධි වූවා යැයි සිතමු. වැඩසටහන ප්‍රචාරය වන විට එම විදුලිය විසන්ධි වීම ඉවත් කර එය පෙන්වීමට එහි නිෂ්පාදකවරු සමත් වෙති. නමුත් ‘අපි නොදන්න Live’ මඟින් පෙන්වන්නේ ඉහතදී නොපෙන්වූ දර්ශනයයි. එමඟින් දැඩි හාස්‍ය රසයක් නිර්මාණය කිරීම චූටි මල්ලිගේ සහ පොඩි මල්ලිගේ අභිප්‍රායයි. අප ජීවත්වන පශ්චාත් – නූතන සමාජයේ මාධ්‍ය මඟින් ඊට පෙර පැවති මාධ්‍ය නොපෙන්වන දේ ද පෙන්වයි. යථාර්ථවාදය සහ නූතනවාදය රජ කරන යුගයේ දී (මුවන්පැලැස්ස සහ මොණරතැන්න යුගයේ) යමක් නිර්මාණය (උදා:- යථාර්ථය) කරන විදිහ නොපෙන්වා ‘නිර්මාණය’ පමණක් පෙන්වයි. නමුත් අප ජීවත් වන යුගයේ දී ‘යථාර්ථය’ පමණක් නොව එය නිර්මාණය කරන ආකාරය ද අපට පෙන්වයි. එමඟින් යථාර්ථය ගැන අපට රැඩිකල් අවබෝධයක් බිහි වෙතැයි අප නිගමනය කරයි.

ඉහත තත්ත්වය මැනවින් පැහැදිලි කළ හැකි සිනමා කෘතියක් ලෙස රොබට් සෙමාකිස්ගේ Forest Gump (කැලෑ ගම්ප්) සලකා බලමු. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වූ ‘ගම්ප්’ නම් පුද්ගලයා කිසිදු දෙයක් වටහා ගන්නට උත්සාහ නොකරන්නෙකි. ඔහු අවට පවතින සමාජ යථාර්ථය කෙරෙහි ඔහු දක්වන්නේ බිංදුවේ ප්‍රතිචාරයකි. වරක් ඔහු ඇමරිකාව වෙනුවෙන් වියට්නාම් යුද්ධයට බැඳී සටන් කරයි. තව වරක් ඔහුව ඇමරිකන් ආණ්ඩුව පිං පොං බෝල ගැසීම සඳහා චීනයට යවයි. ඔහු ආදරය කරන පෙම්වතිය වියට්නාම් යුද්ධයට විරුද්ධව පෙළපාළිවල ගමන් කරන්නියකි. ඇයට ඊට අමතරව AIDS වැළඳී ඇත. වියට්නාම් යුද්ධය, චීනය, AIDS යන මේවා ඓතිහාසික සිදුවීම් වන අතර ඒවා අතර විශාල වෙනස්කම් පවතියි. නමුත් ගම්ප්ට අනුව ඔහුට මේවා අතර වෙනසක් නැත. වියට්නාම් යුද්ධයේදී සටන් කරන ඔහු ඊට ප්‍රතිපක්ෂ ස්ථාවරයක සිටින තම පෙම්වතිය විවාහ කර ගැනීමේදී ඒ ගැන කිසිවක් නොඅසයි.

ධනවාදී ආර්ථික ව්‍යුහයක් සහිත සමාජයක් ක්‍රියාත්මක වන්නේ ද්‍රව්‍යමය අසමානතාවය මත පදනම් වෙමිනි. මේ නිසා මෙවැනි ක්‍රමයක් අභියෝගයකින් තොරව ක්‍රියාත්මක කරගෙන යාමේදී ‘අදහස්’ මගින් ඊට සුජාතකරණයක් අවශ්‍යය. නමුත් Forest Gump චිත්‍රපටියේ වීරයා අපට මේ දක්වා දෘෂ්ටිවාදය (අදහස්) ගැන තිබූ ස්ථාවරය අවුල් කර දමයි. ගම්ප් හට මෙම ධනවාදී සමාජ -ක්‍රමය තුළ ජීවත් වීමේදී දෘෂ්ටිවාදයක් මඟින් කරන අවනත වීම අවශ්‍ය නැත. ඔහු දෘෂ්ටිවාදයට කිසිදු විරෝධයක් නොදක්වන්නෙකි. ඔහු සම්පූර්ණයෙන්ම දෘෂ්ටිවාදයට යටත්ය. ඔහුට අනුව ඔහුට කිසිම සාරයක් නැත. ඒ නිසා දෘෂ්ටිවාදයට අවශ්‍ය කරන පරම ආත්මය ගම්ප් වැනි මිනිසුන්ය. නමුත් දෘෂ්ටිවාදයට කිසිදු විරෝධයක් නොදක්වා ඊට 100% අනුගතව ජීවත් වන ගම්ප් හරහා නව – අසහනයක් අපට ඇති වෙයි. එනම් ගම්ප් හරහා දෘෂ්ටිවාදය පමණක් නොව එය තිරයෙන් පිටුපස සිට ක්‍රියාත්මක වන යාන්ත්‍රණය ද අපට හෙළිදරව් වීමයි. අපි තවත් උදාහරණයකට යමු. ලංකාවේ දේශපාලනය ගැන දන්න හැමෝම දන්න දෙයක් තමයි ලංකාවේ දේශපාලනය කරන අයට සල්ලි දෙන්නෙ ව්‍යාපාරිකයො කියන එක. නමුත් රනිල් වික්‍රමසිංහ සහ කිලි මහාරාජා අතර මතගැටුමක් ආරම්භ වෙලා මෙතෙක් කල් තිරයෙන් පිටුපස පැවති රහස් රංගනයන් මේ වන විට හැමෝටම මහ දවල් වගේ පෙනී යමින් පවතිනවා. හරිනම් රැඩිකල් විපර්යාසයක් ඇති වෙන්න ඕනේ. රනිල්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන විකල්ප එ.ජා.ප. මන්ත්‍රීවරු ඔක්කොම ඉන්නෙ මහරාජාගේ සාක්කුවෙ. නමුත් කිසිම කෙනෙක් අනවශ්‍ය කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැහැ. ඉතිහාසයේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පිල් දෙකක් නියෝජනය කරපු වියට්නාම් යුද්ධය සහ එයට විරුද්ධ සාම ව්‍යාපාරය ”කැලෑ ගම්ප්”ට අනුව එකිනෙකට පරස්පර නැහැ. ඒ හින්ද තමයි ගම්ප් තමන්ගේ පෙම්වතියව විවාහ කරගන්නකොට ඒ ගැන කිසිවක් නොඅසන්නෙ. චිත්‍රපටිය අවසානයේදී සමාජයේ සිදුවන කිසිවක් අවබෝධ කර ගැනීමට උත්සාහ නොදරන ‘ගම්ප්’ දසලක්ෂපතියෙක් වෙනවා. ඊට පරස්පරව සමාජයේ සිදු වන විවිධ ගැටුම් ග‍්‍රහණය කර ගැනීමට උත්සාහ කරන ඔහුගේ පෙම්වතිය AIDS රෝගයෙන් පීඩා විඳ මිය යනවා. ඒ අනුව අද අපි ජීවත් වන යුගයේ දෘෂ්ටිවාදී පණිවුඩය මෙහෙමයි. ”කිසිවක් තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. ඒක භයානක වැඩක්. කිසිවක් තේරුම් නොගෙන නිකමකු වගේ පවතින ක්‍රමයට අනුගත වෙලා ජීවත් වෙන්න! එතකොට ඔබට කෝටිපතියකු වීමේ වාසනාව මුණ ගැහෙනවා” කිලි මහාරාජා එ.ජා.ප.යේ විකල්ප මන්ත‍්‍රීවරුන්ට දී ඇති රහස් පණිවුඩය ඒකයි. එබැවින් සමකාලීන දෘෂ්ටිවාදයේ වඩාත්ම කාර්යක්ෂම මාදිලිය නරුමවාදයයි. ඊට අනුව ඔබ ජීවත් විය යුත්තේ මැට්ටෙකු ලෙසය. මෙලෙස මැට්ටෙකු ලෙස ජීවත් වීම තුළ ඔබට සාර්ථක මිනිසකු වීමේ වරය ලැබේ. එනම් දෘෂ්ටිවාදයට මේ වන විට එය ක්‍රියාත්මක වන රහස් යාන්ත‍්‍රණය පවා හෙළිදරව් කළ හැකිය.

මේ සඳහා තවත් සංයුක්ත උදාහරණයක් වෙතට නාභිගත වෙමු. ‘රාවය’ පුවත්පතේ විශේෂාංග කර්තෘ විමලනාත් වීරරත්න යනු දෘෂ්ටිවාදයට අදාළව බිංදුවේ ස්ථානයේ පවතින ආත්මයකි. විමලනාත්ට කිසිදු දෙයක් තවත් දෙයකින් වෙනස් නැත. ඔහුට අනුව ලැකාන්ගේ ‘සංකේත පියා’ නම් සංකල්පයත් මහින්ද රාජපක්ෂගේ ‘සංකේත බාප්පා’ නම් අදහසත් අතර වෙනසක් නැත. නිර්මාල් රංජිත් දේවසිරි සහ මම අතර වෙනසක් නැත. ඇත්තේ සමානකම්ය. ඊට අනුව අප දෙදෙනාම ක්‍රිකට්වලට කැමතිය. විමලනාත් තමා අවට පවතින ඓතිහාසික සිදුවීම් හාස්‍යයට ලක් කරයි. විමලනාත්ගේ දර්ශනයට අනුව ඔහු කිසිවකට අනුරාගීව බැඳී නැත. නමුත් ඔහු ලංකාවේ දක්ෂතම මාධ්‍යවේදියාට හිමි සම්මානය ඇමතිවරයෙක් අතින් ලබා ගනියි. මේවා අතර පරස්පරයක් ඔහුට නැත. බොහෝ විට රාවයේ පළවන විශේෂාංග ලිපි තෝරන්නේ ඔහුය. ඒවා තේරීමට ඔහුගේම විධික‍්‍රමයක් ඇත. ඊට අනුව ඔහුට ලැබෙන සියලූම විශේෂාංග ලිපි තමාගේ හිසට ඉහළින් ක්‍රියා කරන විදුලි පංකාවේ වේගය වැඩි කර එකවරම උඩ දමයි. එවිට විශේෂාංග ලිපි සැම තැනකටම විසිරී යයි. ඉන්පසු තම අත්ලෙන් ඇස් වසාගෙන තරමක් වෙලා විශේෂාංග ලිපි මත සක්මන් කර එක්වරම අහේතුකව එක් ලිපියක් අහුලා ගනියි. එම සතියේ ‘රාවය’ පුවත්පතේ පළ වන විශේෂාංග ලිපිය වන්නේ එලෙස අහම්බයෙන් තෝරා ගත් ලිපියයි. එම ලිපිය ලිව්වේ කවුද? කාට විරුද්ධව කුමන කරුණක් අරභයා ද? ලිපිය සාකච්ඡා කරන ඓතිහාසික සිදුවීම කුමක් ද? යනාදිය කිසිවක් ඔහුට අදාළ නැත. ෆැසිස්ට්වාදය නිර්වචනය කරමින් එහි දේශපාලනය විචාරය කරන මගේ ලිපියත් අහම්බයකින් (කලින් ක්‍රමයට) සහ මගේ කැමැත්තකින් තොරව පළ කරන අතරම ඊට විරුද්ධව පිළිතුරු ලිපියක් ලෙස දේශපාලන සංකල්ප වෙනුවට ඊර්ෂ්‍යාව, තරහව, පුද්ගලික කෝන්තර, මට ඒකව පෙන්නන්න බැහැ, කොකාට වාරයක් නම් තිත්තයට වාරයක් තිබේ වැනි ත්‍රීවීල් සංවාද අඩංගු ලිපියක් ද ‘රාවයේ’ පළ වෙයි. එම ලිපියට අනුව ‘x කණ්ඩායමේ’ පිරිසක් ඉන් ඉවත් වූයේ දීප්ති අමානුෂික, ෆැසිස්ට්, ඒකාධිපති චරිතයක් නිසාය. දීප්තිට තමන් ලියන ලිපිවලදී ‘යථාර්ථය’ තුළ තමන් පිහිටුවා ගන්නට අමතක වී ඇත. නමුත් දීප්තිට අමතක වූ කාරණය තමන්ටත් අමතක වී ඇති බව (චූටි බබාට දුෂ්ට පියෙක් වේවැලෙන් පහර දීලා වැරැද්දක් නොකරපු තත්ත්වයක් තුළ දී පවා) ලිපිය ලියූ කෙනාට මෙන්ම විමලනාත්ට ද අමතක වී ඇත.

විමලනාත්ගේ ලිපි කියවන්නේ කවුද? හද්දා මැට්ටන්ය. නමුත් මේ මැට්ටන්ගේ සුවිශේෂ ස්වරූපය කුමක් ද? මෙම මැට්ටන්ට අනුව ඔවුන් ඒවා කියවන්නේ ඒවා කියවන මැට්ටන්ව වටහා ගන්නටය. ඒ අනුව විමලනාත්ගේ ලිපි කියවන ”සැබෑ මැට්ටා” කවුද? කවුරුත් නොඅසන ප්‍රශ්නය එයයි. කවුරුත් මේ කාලයේ ජීවත් වන්නේ ”දෘෂ්ටිවාදය” සහ තමන් අතර යම් පරතරයක් තබා ගෙනය. අඩුම වශයෙන් විමලනාත්ගේ දර්ශනය ඔහුවත් විශ්වාස කරන්නේ නැත. එය මැට්ටෙකු පමණක් විශ්වාස කරයි. එ් මැට්ටා මේ ලෝකයේ ජීවත් වන්නකු නම් නොවේ.

අපිට දැන් විමලනාත්ගේ දර්ශනය ගැන මෙහෙම නිගමනයකට එන්න පුළුවන්. ඔහු ‘රාවය’ පුවත්පතට ලියන දේවල් සහ ඔහු විසින් තෝරන විශේෂාංග ලිපි සමග සැබෑ සම්බන්ධයක් නැත. එවැනි සම්බන්ධයක් ඇතැයි විශ්වාස කරන්නේ ඔහු නොව ඔහුගේ පාඨකයන්ය. කුමන පාඨකයා ඔහුගේ දර්ශනය සම`ග අනන්‍ය වුවත් ඒ ගැන ඔහු දක්වන්නේ මෙවැනි ආකල්පයකි. ”මගේ දර්ශනය සහ මා අතරමත් පරතරයක් පවතී.” මෙම යථාර්ථය තුළ දෘෂ්ටිවාදයේ සමකාලීන ආකෘතිය වන ‘නරුමවාදය’ හෙළිදරව් වෙයි. ඊට අනුව වැඬේ කෙරෙනවා නම් ”මමවත් විශ්වාස නොකරන දේවල් කවුරු විශ්වාස කරත් මට මොකෝ?” මේ නිසා කිසිවකු සැබැවින්ම විශ්වාස නොකරන විශ්වාස මගින් ලෝකය පාලනය වෙයි.

සමබිම පුවත්පත 2011 සැප්තැම්බර් කලාපයෙන් උපුටා ගත් ලිපියකි



 
  • Like
Reactions: harindugamlath