අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අපේ රටේ උසම අලින් දැකගත හැකි වස්ගමුව

    ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි වාර්තා වන්නේ කිනම් ජාතික වනෝද්‍යානයෙන් දැයි නැගෙන පැනයකට පරිසරවේදියකුට හෝ පරිසර ලෝලියකුට හැරුණු කොට සාමාන්‍ය කෙනෙකුට පිළිතුරු දීමට අ‍පොහොසත් වන්නට පුළුවන්. එහෙත් ඒ සඳහා දියහැකි වඩාත් නිවැරදි පිළිතුර වන්නේ වස්ගමුව ජාතික වනෝද්‍යානය යන්නයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ තෙත් සහ වියළි කලාප සම්බන්ධවන ජාතික වනෝද්‍යානයක් හැටියටත් ප්‍රසිද්ධ වස්ගමුව අලි ඇතුන් හැරුණු කොට වලසුන් සහ දිවියන් වැඩිම සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ හැකි වන රජ දහනක් හැටියටත් ප්‍රසිද්ධයි. 'වස්ගමුව' යන වදනින් පැහැදිලි අරුතක් පළ නොවන බැවින් ඒ ග්‍රාම නාමය සම්බන්ධයෙන් වඩාත් විමසිලිමත් වූ අපට දැනගත හැකි වූයේ අතීතයේ 'වලස්ගොමුව' නමින් හැඳින්වුණු මෙම වන රජ දහන පසුව එහි 'ල' යන්න ලොප්වීමෙන් පසුව වස්ගමුව ලෙස හැඳින්වුණු බවයි.
    මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ හසලක මංසන්ධියෙන් හැරී කිලෝමීටර් හතළිස් පහක දුරක් ගමන් කිරීමෙන් හෝ මාත‍ලේ ලග්ගල හරහා විල්ගමුවට පැමිණ කිලෝමීටර් දහසයක් පසු කිරීමෙන් මෙම වන පාරාදීසය වෙත පැමිණීමට පුළුවන්.
    was.jpg
    හෙක්ටයාර් හාරදහසක නැතහොත් අක්කර නවදහස් අසූ හතරක වර්ග ප්‍රමාණයකින් යුතු වස්ගමුව අභය භූමිය මුල්වරට රක්ෂිතයක් බවට පත්ව ඇත්තේ 1937වසරේයි. පසුව 1984වසරේ මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා.
    ෙජෙව විවිධත්වය අතින් විවිධාකාර ලක්ෂණ පළ කරන වස්ගමුව අභය භූමිය තුළ ඉහත සඳහන් කළ සතුන්ට අමතර ගෝනුන්, මුවන්, කුළු ගවයන්, හාවුන් ආදී ක්ෂීරපායින් සහ කිඹුලන්, තලගොයි, කටුසු ආදී උරග විශේෂ රැසක් නිරීක්ෂණය කළ හැකියි.
    wasa.jpg
    දැනට සිදුකොට ඇති නිරීක්ෂණයන්ට අනුව මෙහි ක්ෂීරපායි සත්ව විශේෂ විසි තුනක් සහ උරග විශේෂ තිස් පහක් වාර්තා වී තිබෙනවා. ඊට අමතර අළු ගිරවා, බස්සා, වලි කුකුලා, රන්මුණන් කොට්ටෝරුවා ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ඇතුළු පක්ෂි විශේෂ 143ක් සහ සමනල විශේෂ 52ක් මෙම වන රජදහන නිජබිම කොට සිටිනු දක්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ සෙසු ජාතික වනෝද්‍යාන හා සසඳන විට වන සතුන් නිරීක්ෂණය කිරීමේ ස්වභාවික පහසුකම් රැසකින් යුතු මෙහි පැමිණෙන ඔබට පෙ.ව. 6.00දක්වා එම වන අසිරිය සිත්සේ විඳගන්න පුළුවන්. වනෝද්‍යානය තුළ ප්‍රවාහන සේම සංචාරක මගපෙන්වන්නන් ගේ සේවය ලබාගත හැකි අතර මෙම වනෝද්‍යානය තුළ බිම් කඳවුරු හතක් සහ ඔබට නේවාසික පහසුකම් සපයන නිවාඩු නිකේතන හතරක් ස්ථාපිත කොට තිබෙනවා. ඔබට ඒවායේ නවාතැන් ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම ඒවා කලින් වෙන් කරගත යුතු අතර ඒ සම්බන්ධ වැඩි විස්තර බත්තරමුල්‍ලේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත හැකියි. එහි දුරකථන අංකය වන්නේ 011 - 2888585යි. වස්ගමුව ජාතික වනෝද්‍යානයට වේවා වෙනත් පාරිසරික පද්ධතියකට වේවා පිවිසීමේදී විශේෂ විනයක් සංවරයක් අප සතුව තිබිය යුතුමයි. වන සතුන් මිනිස් වාසයට ආගන්තුක සේම වන සතුන්ගේ වාස භවනයට අප ආගන්තුක බව මෙහිදී අප තරයේම වටහා ගත යුතුයි. අනවශ්‍ය ශබ්ද නැගීම්, ගීත ගායනා කිරීම් සංගීත භාණ්ඩ වාදනය කිරීම් අදියෙන් වන සතුන්ගේ නිසල දිවි පැවැත්මට අපගෙන් සිදුවන හානිය අප වටහා ගත යුතු අතර ‍පොලිතීන් ප්ලාස්ටික් ආදී නොදිරන ද්‍රව්‍ය එම වන කලාප තුළ රඳවා ඒම අප කරන බරපතළ පාරිසරික අපරාධයක් බවත් මෙවන් ගමන්වලයෙදෙන අප ඉතා හොඳින් වටහා ගත යුතු වනවා.
    wasb.jpg

    wasc.jpg

    wasd.jpg

    wase.jpg

    සහන් සංකල්ප සිල්වා, sundara lakbima