අවුරුදු තෑග්ග 2022

chathura414

Well-known member
  • Jan 2, 2014
    3,732
    5,559
    113
    M-Town
    අවුරුදු තෑග්ග 2022

    2021 අවුරුද්දේ මං ලියපු අවුරුදු තෑග්ග ලිපිය කියවපු ගොඩක් දෙනෙක් ඒ ක්‍රමය අනුගමනය කරන්න පටන් ගත්තා. එයාලා ඒ පින්තූර මා එක්ක බෙදාගනිද්දී පුදුම සතුටක් දැනුනේ. තමන් විසින්ම හදාගත්තු තමන්ට ණය ලබා දෙන තමන්ගෙම සල්ලි පෙට්ටියක් කියන්නේ කොච්චර වටිනවද.

    2021 ලිපිය


    මේ ලිපිය මෙහෙම ලිවුවට මං හොඳාකාරව දන්නවා දැනට ලංකාවේ ශක්තිමත් ආර්ථිකයකින් යැපෙන මිනිස්සුන්ට වඩා එදිනෙදා වියදම් හොයාගන්නත් බැරුව දුක් විඳින මිනිස්සු වැඩියි කියලා. මේ ඉල්ලීම බල කිරීමක් නෙමෙයි. පුළුවන් වෙලාවට ක්‍රියාත්මක වෙන්න කියලයි ආදරෙන් ඉල්ලන්නේ. හෙට අනිද්දා කියලා නැතුව අද හෙටම පුළුවන් නම් පටන් ගන්න.

    කලින් වසරේ ලිපියෙන් කිවුවේ අනුන්ගෙන් ණය නොගෙන ජීවත් වෙන්න උපකාරී වෙන ක්‍රමයක්. අද ඔයාලට කියලා දෙන්නේ මුළු මාසෙම දුක් විඳින්නේ නැතුව සතුටින් ඉන්න තවත් ක්‍රමයක්.

    පඩි ගත්තු ගමන් අපි මොකද කරන්නේ?

    මුලින්ම මතක් වෙන වැඩේට මුලින්ම වියදම් කරනවා. සමහර වෙලාවට අත්‍යාවශ්‍ය වියදමක් මඟහැරලා අනවශ්‍ය වියදමකට මුල් තැන දීලා.

    ඒ වගේම පලවෙනි සති කිහිපය මඟුල් ගෙදර වගේ කාලා අවසාන සතිය හිඟන පාත්තරේට අන්තයි. වැරදීමකින් හරි එහෙම වෙච්ච අවස්තා අපි හැමෝටම ඇති.

    හදිස්සි අසනීපයක් හැදුනොත් වියදම් කරන්න කීයක්වත් නැහැ. කාගෙන් හරි ඉල්ලන්න තරම් අසරණ වෙනවා. සමහර විට ගත්තු ණය නොදී ඉන්නත් වෙනවා. ඒ තරම් ජීවන වියදම්.

    ණය වාරික ගෙවන ගමන් අවුරුද්දක් උපන්දිනයක් විශේෂ දවසක් සමරන්න බැරි නිසා තවත් ණයක් අරන් ඒ අවශ්‍යතා සපුරගන්නවා.

    මේ වගේ දුශ්කර අවස්තා වලට ඔයාලත් මුහුණ දෙනවනම් මේ ලිපිය අවසාන වෙනකන් කියවන්න.

    තමන්ට බරක් නොවී ජීවත් වෙන්න
    1) වැටුප ලැබෙන්න දින කිහිපයකට කලින් වියදම් සැලසුම් කරන්න.
    අනවශ්‍ය, අවශ්‍ය, අත්‍යාවශ්‍ය දේවල් මතක් කරගන්න.

    2) වැටුප ලැබුණු ගමන්ම අපි පුරුදු වෙලා ඉන්නේ එදාට හොඳ අවන්හලකට හෝ හෝටලේකට ගිහින් කාලා මාසේ පටන් ගන්න. එහෙම කරන්න එපා. පඩි දවසට කලින් කුස්සියේ, බාත්රූම් එකේ, ගෙදර පුරා වටයක් ගිහින් බලන්න අඩුපාඩු මොනවද කියලා. පත්තු වෙන්නේ නැති බල්බ් වලට වොරන්ටි කාඩ් තිබුණොත් ඒවා නැවත ලබාගන්න. ගෙදරට ඕන කරන වියලි ආහාර ලැයිස්තුවක් ලියාගන්න.

    3) රතු නිවේදන එනකන් බිල්පත් ගෙවන්නේ නැතුව ඉන්න එපා. මාස්පතා අදාල මාසෙට බිල් සියල්ල ගෙවන්න පුරුදු වෙන්න. වාහන ෆිනෑන්ස් බැන්ක් ලෝන් කලට වෙලාවට ගෙවන්න.

    4) තමන්ට දරන්න පුළුවන් මිලකට පමණක් මාසෙටම රීලෝඩ්, ඩේටා වලට වෙන් කරන්න.

    5) එදිනෙදා උයන කෑම ප්ලෑන් කරන්න.
    උදා: සඳුදා මාළු
    අඟහරුවාදා හාල්මැස්සෝ
    බදාදා බිත්තර
    බ්‍රහස්පතින්දා කරවල
    සිකුරාදා කුඩා මාළු
    සෙනසුරාදා වෙජිටේරියන්
    ඉරිදා චිකන්

    මේ පුංචි උදාහරණයක් විතරයි. මෙහෙම සැලසුම් කලාම තමන්ට ඕන කරන ප්‍රමාණයට මස් මාළු ගේන්න පුළුවන්. නාස්ති වෙන්නෙත් නැහැ. මේ විදිහට එලවලු පලා, වියලි ආහාර ගේන්නත් පුළුවන්.

    6) බස් ගාස්තු, ස්කූල් වෑන් ෆීස්, ට්‍රේන් කාඩ්, ඉන්ධන මුදල් පඩි ලැබුණු ගමන්ම වෙන් කරන්න. කොන්දොස්තර මහත්මයාට දෙන්න මාසෙටම මාරු සල්ලි හදාගන්න. නැත්නම් හැමදාම එයාට පිනට දීලා දවස පටන්ගන්න මිනිස්සු දන්නේ නැහැ වක්‍රාකාරයෙන් කොච්චර මුදලක් දන් දුන්නද කියලා.

    7) ශොපින් ගියාම තමන්ට අවශ්‍ය නැති ඇඳුම් ගන්න එපා කවදාහරි කෙට්ටු වුණොත් අඳින්න වගේ කාරනා නිසා. ඒ වගේමයි ඩිස්කවුන්ට් සේල් දැක්ක ගමන්ම උවමනාවක් නැති තරම් අපි ඇඳුම් ගන්නවා. ඒ පුරුද්ද වහාම නවත්තන්න.

    *******************************************

    මගේ දැනුම් තේරුම් හැටියට අනිත් අයට කියලා දුන්නට දැන් බලමු මගේ මාසේ වියදම් හැදෙන විදිහ ගැන.

    මං ඉන්නේ පිට රටක. ඒකත් අවුරුදු සීයක් මේ රටේ ජීවත් වුණත්, අලුතෙන් දරුවෙක් මේ රටේ උපන්නත් විදේශිකයන්ට පුරවැසිභාවය ලබා නොදෙන රටක. එහෙම රටක ජීවත් වෙද්දී ස්තීර පදිංචියෙදී කරන සමහර වැඩවලින් බැහැර වෙලා ඉන්න අපි පුරුදු වෙලා. කවදාවත් අපිට මේ රටේ අපේම දේපලක් මිලට ගන්නත් බැහැ. මේ ගැන කිවුවේ අපේ වටපිටාවේ තිත්ත ඇත්ත අපි තේරුම් ගන්න ඕන නිසා. අපි ඉන්නේ බොහෝම පුංචි පරණ තාලේ කුලී ගෙදරක. අලුත් බඩු භාණ්ඩ වෙනුවට බොහෝමයක් භාණ්ඩ පාවිච්චි කරන්න පුළුවන් මට්ටමේ පරණ බඩු. අලුත්ම ගෘහ භාණ්ඩ වලට මේ වගේ රටක වියදම් කරන එක බොරු වැඩක්. එහෙම වුණාම ජීවත් වෙන්න ලේසියි. මගේ ප්‍රතිපත්තියක් නය නොවී ජීවත් වීම. එහෙම වුනාම හරිම සැහැල්ලුයි ජීවත් වෙන්න.

    ඉක්මනින් සල්ලි හිඳිලා යන වටපිටාවක් මං රැකියාව කරන තැන. ඩියුටි ෆ්‍රී ශොප්ස්, ස්ටාෆ් ඩිස්කවුන්ට්, නානාප්‍රකාර විසිතුරු නිශ්පාදන තෝතැන්නක් උඩ වැඩ කරද්දි හිතාගන්න ඕනේ ඕන කරන දේවලුයි එපා දේවලුයි වෙන්කරගන්න. මං පුංචි කාලේ ඉඳන් ඉගෙන ගත්තු needs and wants උවමනා හා අවශ්‍යතා අතර වෙනස මේ කාරණයේදී මට හරිම වැදගත් වුණා.

    අත්‍යවශ්‍ය වියදම්
    💰ගෙවල් කුලී
    💰ග්‍රොසරි
    💰පැට්‍රල්
    💰vehicle maintainance
    💰grooming
    💰mobile bills
    💰parents expences

    මේ කියන කොටස් 7 තමයි අපේ වියදම් ටික. මටයි රොශාන්ටයි පඩි ලැබෙන්නේ සතියක පරතරයකින්. අපි දෙන්නගෙම වැටුප එකම මුදලක් කියලා අපි පිලිගන්නේ. එයාගේ සල්ලි මගේ සල්ලි කියලා භේදයක් නැහැ.

    ගෙවල් කුලී හා දෙපාර්ශවයේම අම්මලට දෙන මුදල් හැර අනිත් සියලුම වියදම් වලට අදාල බොක්සස් හදලා තියෙනවා. ගෙවල් කුලී සල්ලි ලැබුණු ගමන්ම අයින් කරනවා. අපිට වෙනම විදුලි බිල් වතුර බිල් නැහැ. ඒවත් ගෙවල් කුලියටම සම්භන්ධයි. ඒ ඒ කාරණාවට අදාල මුදල් කාර්‍යයට ගැලපෙන බොක්ස් එකෙන් ගන්නවා.

    💰ග්‍රොසරි වලට අයින් කරන මුදල මාසේ සති ගානට බෙදලා සතියකට අදාල මුදල විතරයි අපි ග්‍රොසරි ගන්න දවසට එලියට ගන්නේ. වෙන් කරපු ගානට අඩුවෙනවා මිසක් වැඩි වෙලා නැහැ කවදාවත්.

    💰පැට්‍රල් මුදලත් මාසෙ සති ගානෙන් බෙදනවා. එතකොට ලේසියි. රොශාන්ට මාව වැඩට එක්ක යන්න බැරිම වෙලාවක් නම් මං මෙට්‍රෝ එකේ යන්නේ. ඉතින් මගේ රොස්ටර් එක බලලා ඒ මාසෙට මාව රොශාන්ට එක්ක යන්න බැරි දවස් ගානට හරියන්න මෙට්‍රෝ කාර්ඩ් එක ටොප්අප් කරගන්නෙත් පෙට්‍රල් සල්ලි වලින්ම තමයි. කටාර් රාජ්‍යයේ එලිමහනේ වාහන හෝදන්න තහනම්. මාසෙට දවස් දෙකක් සර්විස් ස්ටේශන් එකෙන් වාහනේ හෝදගන්නවා. ඒ දේ කරන්නෙත් පෙට්‍රල් මුදලින්ම තමයි.

    💰vehicle maintainance මුදල තියෙන්නේ වාහනේ නඩත්තු වලට. වාහනයක් ගන්න එක ලේසියි වුණාට නඩත්තු කරන්න අමාරුයි. හදිසි බ්‍රේක්ඩවුන් එකක් ආවත් maintainance සල්ලි තියෙනවා ඒ දේවල් හදාගන්න. අපි ජූලි මාසේ ලංකාවට ගිහින් එද්දී වාහනේ බැට්‍රි එක මාරු කරන්න වුණා වගේම වාහනේ ටයර් හතරම අළුතින්ම දාන්න වුණා. කිසිම ප්‍රශ්නයක් නැතුව ලේසියෙන්ම මේ දේවල් කලා මාස කිහිපයක් නිහඬව එකතු වෙච්ච maintainance සල්ලි ටික නිසා.

    💰Grooming මේ කියන වියදම් පෙට්ටියේ ටැග් එකට දාන්න වෙන හොඳ නමක් තිබුණේ නැහැ. මාසෙකට ඕන කරන මගේ යූනිෆෝම් ස්ටොකින්ස්, මේකප්, රොශාන්ගේ කොණ්ඩේ කපන්න වගේ රූපලාවණ්‍ය වැඩ වලට වෙන් කරපු මුදල් තියෙන්නේ මේ පෙට්ටියේ.

    💰Mobile bills තුනක් අපි මාසෙට ගෙවනවා. ගෙදරට wifi මුදලක් වෙනම වියදම් වෙන්නේ නැහැ ගෙවල් කුලීයට ඒකත් අදාලයි නිසා. රොශාන්ගේ මොබයිල් බිල් එක, මගේ මොබයිල් බිල් එක වගේම රොශාන්ගේ ඩියුටි මොබයිල් බිල් එක කියන බිල් තුනම ගෙවන්නේ මේ සල්ලි පෙට්ටියෙන්.

    💰වාහනේ maintainance පෙට්ටියට දාන සල්ලි නිතරම ඕන වෙන්නේ නැහැ. නිතරම වාහනේ ලෙඩ දෙන්නේ නැති නිසා. ඒ මුදල් වියදම් නොවුනට පුරුද්දට වගේ අපි ඒ පෙට්ටියට මුදල් දානවා.

    අනිත් පෙට්ටිවල ඉතුරු වෙන මුදල් සියල්ලම කලින් අවුරුද්දේ මං ලියපු ලිපියේ සඳහන් කලා වගේ එක පෙට්ටියකට එකතු කරනවා. ඒ වගේ එකම වර්ගයේ මුදල් නෝට්ටු දහයක් එකතු වුණාම රබර් පටියක් දාලා මිටියක් බඳිනවා.

    අපිට කාලයක් මඟහැරුණ තවත් චූටි පෙට්ටියක් හදාගත්තා කාසි දාන්න. මුලදී කටාර් ඩිරාම් (ශත) 50, 25 කාසි දුන්නම අපි දෙන්නම කැශියර් එකේම අතහැරලා එනවා. මට ලඟදී තේරුණා ඩිරාම් 50 කියන්නේ රු.27ක්. ඉතින් කාසි දාන්න වෙනම පරණ පෙට්ටියක් ගත්තා. මේ පෙට්ටිය 2015 අවුරුද්දේ මගේ bank box එක. පරණ පාටයි, ටිකක් විතර දුර්වර්ණ වෙලත් එයාව අයින් කරන්න අකමැතියි.

    සුපුරුදු පරිදි සිඟමන් යදින අයට මුදලින් උපකාර කලේ නැතිම තරම්. ඒ වුණාට හැමදාම වගේ බැංකු පොලිය පරිභෝජනය නොකර පූර්ණ වශයෙන් පිං දහම් වෙනුවෙන් ලංකාවේ අවශ්‍යතා ඇති අයට ලබා දෙන්න පුළුවන් වුණා.

    බෙහෝ දුරට අපි දෙන්නා කඩ කෑම කනවා අඩුයි. එහෙම කනවා නම් ග්‍රොසරි බොක්ස් එකෙන් තමයි ඒවට ගෙවන්නේ. ලස්සන විලාසිතා වලින් ඇඳුම් තිබුණොත් අපි වැඩිපුර එකක් දෙකක් මිලට ගන්නවා. ඒවා අරන් තියාගන්නවා හදිසියේ අලුත් ඇඳුමක් ගන්න ඕන වෙලාවක කාල වෙලාව නැත්නම් ශොපින් කරන්න.

    ලෙඩ රෝග හදාගන්නේ නැතුව ඉන්න උපරිම උත්සාහ කරනවා. ලෙඩක් හැදෙනවා කියන්නේ හෙල්ත් ඉන්ශුවරන්ස් නැතුව පුදුම දුකක්. රජයේ හෙල්ත් කාර්ඩ් එක විතරයි අපි දෙන්නටම තියෙන්නේ. ලෙඩ හැදෙන්නේ මිනිස්සුන්ට තමයි. ඒ වුණාට ලෙඩ රෝග වලක්වගන්න පුළුවන් යහපත් සෞඛ්‍යය පුරුදු වලින්. එහෙම වෙලත් ලෙඩක් හැදුනොත් බැන්කු පොතේ ඉතිරි කරපු මුදල් වලින් තමයි වියදම් කරන්නේ.

    ලිපිය දිග වැඩියි නම් සමාවෙන්න.

    ලෝකවාසී සියලුම දෙනාට යුධ බිය නැති, ණය බරින් තොර, සෞභාග්‍යමත්, රෝගපීඩා නැති සාමකාමී නව වසරක් වේවා. (ප්‍රාර්ථනාව දිග වැඩිද මන්දා 🙈)

    ප.ලි.
    කලින් අවුරුද්දේ ලියපු සල්ලි පෙට්ටියෙන් මෙදාපාර ප්‍රයොජනවත් වැඩක් කලා. ඒ මුදල් වලින් රත්තරන් මිලට ගත්තා. පුළුවන් නම් ඔයාලා ඒ මුදල් වලින් මොකද කලේ කියලා කොමෙන්ට් කරමු.
    මං බොක්ස් හදලා ටැග් කරලා වියදම් බෙදාගන්න හැටි පින්තූර වලින් එකතු කරන්නම්. ඔයාලගෙත් සල්ලි පෙට්ටියේ පින්තූරයක් දාමු එහෙනම්.

    නවාල් මිශාරි
    FB_IMG_1641021176779.jpg


    FB_IMG_1641021180942.jpg

    FB_IMG_1641021184310.jpg