අසිරිමත් කච්චතිව් දුපත

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
අසිරිමත් කච්චතිව් දුපත

ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ධිවරයන්ගේ වන්දනාමානයට ලක් වන අසිරිමත් අන්තෝනි මුනිදු මංගල්‍ය මෙම මස 23 සහ 24 යන දෙදින තුළ කච්චතිව් දුපතේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන්.
පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව, කච්චතිව් දූපත ජලයෙන් ඉස්මතුව ඇත්තේ මීට වසර ලක්ෂ එකහමාරකට පමණ පෙරාතුවයි. ඵෙතිහාසික කච්චතිව් පල්ලිය, ශාන්ත අන්තෝනී මුනිදුන්ට කැපකොට සාදා ඇත්තේ වර්ෂ 1900 යන කාල සිමාව තුළ වන අතර ධීවර ජනතාවගේ භාරකරු වශයෙන් ශාන්ත අන්තෝනී තුමාන් ගෞරවයට පාත්‍ර වෙනවා.

කච්චතිව් දූ‍පතේ ඉදි කර ඇති එකම ස්ථිර ගොඩනැඟිල්ල වන්නේ ද සාන්ත අන්තෝනි මුනිතුමන් නමට ඉදි වුණ මෙම කුඩා දේවාස්ථානය පමණයි. දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන මෙම කුඩා දේවස්ථානය එදත් අදත් බැතිමතුන්ගේ වන්දනාවට ලක් වන අතර වර්ග කිලෝමීටරයකට මඳක් වැඩි කච්චතිව් දූපත ඉතා අලංකාර භූමියකි.
සාන්ත අන්තෝනි මුනිතුමන් කතෝලික සභාවේ සලකන්නේ බැතිමතුන්ට අනේකාකාරයෙන් පිහිට වන ප්‍රාතිහාර්ය පාන්නා වූ මුනිවරයකු ලෙසයි.
ඉතිහාසයේ ඈත දවසක ගොඩබිමින් ඈතට වන්නට පිහිටි කච්චතිවු දූපත ආසන්නයේ ධීවර කර්මාන්තයේ නියුතු වූවන් විසින් තමන්ට විශේෂයෙන් මුහුදු ගමන්වලදී නිරතුරු පිහිට වන්නා වූ සාන්ත අන්තෝනි මුනිතුමන් නමින් මෙම කුඩා දෙව් මැදුර ඉදිකරන්නට ඇති. එතැන් සිට ශතවර්ෂයකට අධික කාලයක් තිස්සේ බැතිමත්තු මෙහි ඇදී එන අතර වීසා ගුවන් බලපත්‍ර මේ කිසිත් නැතිව කච්චතිව් දූපත බලා එන ඉන්දියානු බැතිමත්තු ශ්‍රී ලංකා බැතිමත්තු සමඟ කුඩා දේවස්ථානය අවට වාඩිලාගෙන එකට දේව ස්තෝත්‍ර ගායනා කරයි.ඉන්දු - ලංකා සහෝදරත්වය වර්ධනය වන මේ මංගල්‍යය සඳහා සියලු පහසුකම් සපයන්නේ අපේ නාවික හමුදාව වීමද විශේෂයි.
සාමාන්‍යයෙන් කතෝලික සභාව අළු බදාදායින් පටන්ගන්නා චතාරික සමය තුළ දේවස්ථාන මංගල්‍ය ‍නොපවත්වන නමුත් මාර්තු මුල මේ කච්චතිව් මංගල්‍යය පැවැත්වීම සම්ප්‍රදායක් වී තිබේ.
ලංකාවේ මෙන්ම ඉන්දියාවේ බැතිමතුන් විශාල පිරිසක් මේ මංගල අවස්ථාවේ කච්චතිව් පැමිණ සිටිය ද මේ දූපත මුළුමනින් ජනශූන්‍ය දූපතක්. එයට හේතුව වී ඇත්තේ කච්චතිව් දූපතේ බීමට සුදුසු ජල බිඳක් හෝ සොයා ගැනීමට නොහැකි වීමයි.
මංගල්‍යයට පූර්වයෙන් පැවැත්වෙන සන්ධ්‍යා මෙහෙය ඉන්දියාවෙන් හා ලංකාවෙන් පැමිණි විවිධ තරාතිරම්වල පියතුමන්ලා රැසකගේ ප්‍රධානත්වයෙන් පවත්වයි. එය අන්තෝනි මුනි බැතිමතුන්ගේ හෝරාවය. බැතිමත්තු අන්තෝනි මුනිඳුන්ගේ මැදිහත්කමින් දේව පිහිට ලබා දෙන ලෙස ඉල්ලා සිටින්නේ මේ මොහොතේදීයි.
ඊට පසුදින උදේ 6ට ඇරැඹුණේ මංගල මහා පූජාවයි. ලද ඉසුඹුවෙන් මූණ කට දොවාගත් බැතිමතුන් තමන් සතු හොඳම සළුපිළියෙන් සැරසී දේව වචනයට සවන් දීමට සැරසෙති.
දෙවියන්ගේ භූමියේ වැඳ වැටුණ දහස් ගණන් බැතිමත්තු ප්‍රතිඋත්තර දීමෙන් පූජාවට හවුල් වෙති. අන්තෝනි මුනිතුමන් ජීවත්ව සිටියදී දේව වචනය විශ්වාස කරමින් සිදු කළ නේක ප්‍රාතිහාර්ය සිහිගන්වනෙත් මෙම මොහොතේදීයි.
කච්චතිව් දූපත ශ්‍රී ලංකා ධීවරයන් මෙන් ඉන්දියානු ධීවරයන් ධීවර කර්මාන්තය සඳහා නැවතුම් පොළක් ලෙස චිරාත් කාලයක සිටි යොදා ගනිමින් සිටිති. එසේ තිබියදී ශ්‍රී ලංකාවට මේ දූපත සඳහා අයිතිය කියන්නට තිබු එකම සාධකය වූයේ ද අන්තෝනි මුනිතුමන් නමට කැප වූ මේ දෙවස්ථානයයි. පල්ලිය එදා සිටම පාලනය වූයේ ඉන්දියාවෙන් නොව යාපනය බිෂොප්වරයා මගිනි. ඒ නිසා ඉන්දියාව 1974 දී ඉන්දිරා ගාන්ධි මැතිනියගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හොඳහිත මත කච්චතිව් ශ්‍රී ලංකාවටම පවරා දුන්නේය.
ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද ධිවරයන්ගේ වන්දනාමානයට ලක් වන අසිරිමත් අන්තෝනි මුනිදු මංගල්‍ය මෙම මස 23 සහ 24 යන දෙදින තුළ කච්චතිව් දුපතේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර අවසන්.



 
Last edited: