මුණු පොතේ DR. පාදෙණිය මහතා නූතන අම්මා ගැන කියා තිබූ වීඩියෝවක් දැක ලියන්නට සිතුනි.
https://www.facebook.com/kandy12345/videos/10215022867278076/
මෙය හුදෙක් මගේ අම්මාට පෙනෙන්නට ලියන්නක් නොවෙන (අම්මා FB නැත) අතර මගේ අම්මා මට දුන් ආදරණීයම පාඩම් කිහිපයක් ලියා තබන්නට සිත් වූ නිසා ලියමි.ගැහැනියකට සම තැන නොව නිසි තැන ලැබිය යුතු බව මා විශ්වාස කරන්නේ අම්මා දුන් ආදර්ශයන් නිසාමය. ඇය නිවසෙහි අප්පච්චිට දෙවෙනිය. එය අප්පච්චි පැනවූ නීතියක් නොවුණු අතර අම්මා විසින්ම ඇති කල දෙයකි. අම්මාත් අප්පච්චි මෙන්ම රැකියාවක් කරමින් ඉපයුඋවද අම්ම අප්පච්චිට සම වුයේ නැත. ගෙදර උයන පිහන ආදී කොට ඇති සියලු දේ කලේ අම්මාය. මගේ ජීවිතයේ අපේ අප්පච්චි කෑමට මිස පොල් ගෑමට හෝ වෙන යම් උදව්වකට කුස්සියට නම් අවේ නැත.එත් අද වෙන තුරු අම්ම මේ ගැන කිසිදු නොරිස්සමකුත් නැත.අප්පච්චිට බත් එක බෙදුවේ ඉස්සෙල්ලමය. අදටත්, අද උයන්නේ මොනවාදෙයි මල්ලිගෙනුත් මගෙනුත් ඇසුවත් උයන්නේ අප්පච්චිට ඕනා දේය. මේ ගැන හොඳින්ම දන්නා මල්ලිත් මමත්, අම්මේ අපෙන් අහන්න එපා යයි කියන්නේ මලම පැන්න විටදීය.
මල්ලිත් මමත් කුඩා කල අපි සිටියේ පැල්මඩුල්ලේ අප්පච්චිට ලැබුණු කාර්යාල නිල නිවාසයකය. පොඩි උන් දෙන්නෙකුගේ වැඩ ටිකත්,ගෙදර වැඩ ටිකත් කර හැමදාම අම්මා office ගියේ සාරීයක් ඇදගෙනමය. මට ඒ කාලයේ ඉදන්ම අම්මා මතක ඔසරි ඇදුමෙන් පමණක් වේ. ඇය ඒ පුරුද්ද මටත් රැකියාවට ගිය පළමු දිනයේ සිටම ඇති කලාය. එදා මට දුන් පළමු ඔවදන ඔයාට දැන් මිනිස්සු මිස් කියයි, ඒ ඔයාට නෙවෙයි, ඔය තනතුරට, ඒ නිසා ඒකෙ ගෞරවය රැක ගන්න ඔයා දැන ගන්න කීවාය. මුල් කාලයේ මං කලින් දා රෑ සාරි පොට නමද්දී මේ මොන කෝලමක්ද, රෑටත් සාරී අඳිනවා ,උදේටත් සාරී අඳිනවා, ඕක එක පාර අඳින්න යැයි කියද්දී මට මල පැන්නත් අම්මා කප්පරක් වැඩ තියාගෙනත් සාරී පොට නැමුයේ උදේට නිසා මාත් පුරුදු විය. අදටත් විනාඩි 15-20 කින් සාරිය මැද, ඇඳගනීමේ විශේෂ හැකියාව ලැබුනේ අම්මා නිසාමය.
අම්මා ගෙදර හෙදිය මෙන්ම වෛද්‍ය වරියද වූවාය.මල්ලිත් මාත් අවුරුදු 3, 8 කාල වලදී ඇය පණු බෙහෙත් වලට අමතරව අපිට වලගසාල් මී පැණි වල අනා දුන්නේ පනුවන් නිසා එන බඩේ අමාරු වලටය. හෙම්බිස්රිස්සාව එද්දී මුලින්ම බිවුවේ කොත්තමල්ලිය . අදටත් ඒ පුරුද්දට මෙන් මල්ලිත් මමත් piriton හෝ Cetrizine වලට කලින් බෙහෙත් කඩෙන් කිරාගෙන අපු පස් පංගුවක් හෙම්බිරිස්සාවට තම්බගෙන බොමු.
මේ ඔක්කොටමත් වඩා ආගමට දහමට මා පුරුදු කලේ ඇයයි. මා 6 වසරේ දී ගණිතයට උපරිම ලකුණු තිබුනත් ආගමට තිබ්බේ 56 කි. එදා පන්ති වාර්තා පොත බලා , මගේ කොන්ඩෙන් අල්ලා හොඳ ටොකු දෙකක් ඇන්නා අදටත් මතකය. එදා පටන් බුද්ධාගම ලකුණු මට වැදගත් වූ අතරම 7,8 පන්ති වලට එද්දී සුවිසි ගුණ තේරුම සමග කියන්නටත්, බුදුන් වඳින විට ගාථා තේරුම හිතමින් කියන්නටත් පුරුදු වීමි. බුදුන් වඳින විට ගාථා කියන පිළිවෙල කියා දුන්නේ අම්මා ය. ඒ පුරුද්ද නිසාම අදටත් කවි පොත් නොබලා බෝධි පූජාවක් තබා පිරිත් ටික කියා ගන්නට මල්ලිටත් මටත් හැකියාවක් ලැබී ඇත. බුදුගුණ අලංකාරයේ එන බුදු ගුණ කවි (රහසත් පවු නොකොට .. ආදී කොට ) නවය පිලිවෙලින් අදටත් කටපාඩමින් කියන්නට හැකි වී ඇත්තේ අම්මාට පින් සිද්ද වෙන්නටය. දැන් දැන් එන එක එක අකාරයේ බණ විකාර අහන්නට සිත් නොදෙන්නේ අමමා මේ පරණ පොත පත ගැන අපට කියා තිබූ නිසාමය. පන්සල් ගියාම චෛත්‍ය, විහාරය, බෝධිය වඳින පිළිවෙල නම් හැමදාම පැටලෙන නිසා අදටත් අලුත් පන්සලකට ගිය ගමන් අම්මේ,ඉස්සෙල්ලම කොහෙටද කියා මල්ලිත් මාත් අසද්දී තරවටු ස්වරුඋපයෙන් රවා බලා පිළිවෙල කියන්නීය.
මේ සියල්ල අතරේ ඈ ජීවිතය විඳින්නිය. ඇස කන පිනවන්නට රූප පෙට්ටියත්, ශබ්ධ වාහිනියත් තිබෙද්දී මා ලවා පෙරේදාත් ගුත්තිල කාව්‍ය සහ හංස සංදේශය යන පොත් දෙක ගෙන්වා ගත්තාය. එහි ඇති කවි පද වරින් වර හද නගා කියමින්, තේරුමද කියා දෙමින්, ජීවිතය විඳින හැටි අපිට අපූරුවට කියා දෙන්නට උත්සහ ගන්නීය..අම්මේ, සැබවින්ම මල්ලිත් මමත් පින්වන්ත බව අදහන එකම කාරණය ඔබේ දරුවන් වීමය.
!!!
- දුව ඉෂානි රාජපක්ෂ