ආදි සිරිලක ආහාර පාන -1

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ආදි සිරිලක ආහාර පාන -1

    ආදි සිරිලක ආහාර පාන -1


    ආහාර මිනිස්‌ දිවිය හැඩගැසීම සඳහා වූ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. දිවි පෙවෙත පවත්වාගෙන යැමට මෙන්ම ශාරීරික වර්ධනය හා සෞඛ්‍ය සම්පන්න බවටද ආහාරවලින් ලැබෙන්නේ මනා පිටිවහලකි. ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය "බත" බව අපි දනිමු. නමුත් අද වන විට ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර පාන විවිධාංගීකරණයට ලක්‌වී ඇත. කෘෂිකාර්මික කටයුතු අතින් ගත් කල එදා සිරිලක "පෙරදිග ධාන්‍යාගාරයක්‌" විය. මෙරටින් සහල් පිටරටවලට පවා අපනයනය කරන ලදී. කෘෂිකර්මාන්තයෙන් යෑපුණු ලාංකීය ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගයද එයම විය. අද මෙන් කාර්ය බහුල නොවූ එදා ජනයාහට කැලෑ කපා කුඹුරු අස්‌වද්දා බීජ රෝපණය කිරීමෙන් පසු ඒවායේ අස්‌වැන්න නෙළාගන්නා තුරු වූ කාලය නිදහසේ ගත කිරීමට අවස්‌ථාව ලැබිණි. එවන් අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගෙන රටේ සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කරන්නට ඇත. එදා මිනිසුන් ආහාර ගත්තේ ජීවත් වීමට එය අත්‍යවශ්‍යම සාධකයක්‌ වූ නිසා පමණි. නමුත් වත්මන් ලාංකිකයා ජීවත් වන්නේ ආහාර අනුභවය සඳහා පමණි. පිටරටින් ආනයනය කරන දේවලට දක්‌වන ගිජුකම නිසාම එදිනෙදා ආදායමට වඩා වැඩි ප්‍රමාණයක්‌ ආහාර සඳහා වියදම් කරති. ඔවුනට බත අමතක වී ඇත. මෙය ගෝලීයකරණය යටතේ මිනිසා විවිධාංගීකරණය වීමේ එක්‌ අයහපත් ප්‍රතිඵලයකි. නැවත ශ්‍රී ලංකාද්වීපය බතින් සරු කිරීම නම් හුදෙක්‌ පෙරදිග ධාන්‍යාගාරයක්‌ බවට පත්කිරීමට නම් සියලු ලක්‌වාසීන් තුළ ජාත්‍යාලය මෙන්ම ජාතිකාභිමානය ඇතිවිය යුතුය. අපේ දේ අගයන සමාජයක්‌ බිහිවිය යුතුය. එමගින් නැවත මෙරට පැරකුම් යුගයක්‌ බිහිකළ හැකිවේ.

    පවතින දියුණු ආර්ථික තත්ත්වයක්‌ හමුවේ දිව පිනන රස ආහාර පසුපස දිවයනවා මිස ඒවායේ ඇති ගුණාත්මක බව, සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳව එතරම් තැකීමක්‌ නොකෙරේ. එදා හෙළදිව වැසියා ඇල් හාලේ බත්, කුරක්‌කන් තලප, දඩමස්‌, මුං, මෑ, මෙනේරි ආදී වූ පෝෂ්‍යදායී ආහාර අනුභව කළ අතර ජව සම්පන්න මෙන්ම, සෞඛ්‍ය සම්පන්න මිනිසුන් කොටසක්‌ බිහිකිරීමට එම ස්‌වදේශීය ආහාර බෙහෙවින් උපයෝගි වූ බවට සැකයක්‌ නොමැත. අහස උසට බැඳි දාගැබ, ආගමික සිද්ධස්‌ථාන, මහා පරිමාණ වාරි කර්මාන්ත, සීගිරිය වැනි ලෝ ප්‍රකට ඓතිහාසික ස්‌ථාන ගොඩනැගුනේ එවන් ජවසම්පන්න මිනිසුන් අතිනි. එදා මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය රැකුණේ වස විසෙන් තොර දේශීය ආහාර පමණක්‌ ම අනුභව කිරීම නිසාවෙන් යෑයි සිතීම වරදක්‌ නොවේ.

    ගමේ වැවෙන බත්, කොස්‌, පොළොස්‌, කුරක්‌කන්, මෙනේරි ආදී වූ පෝෂ්‍යදායී ආහාර අනුභව කළ අතීතයේ අම්මාවරුන් තම දරුවන්ට මවුකිරි ටික යහමින් ලැබිණි. එළිකිරි ද එදා දරුවන්ගේ බඩකට පිරවීමට මහත් සේ දායක විය. නමුත් අද මව්කිරට තිත තබා අම්මාවරුන් දරුවන්ට ලබා දෙන්නේ පිටිකිරිය.

    පිට දීප දේශ ජයගත්තා
    ආදී සිංහලුන්...........
    .......... හෙරලි බතල ටික නුපුරුදු අම්මා
    රට හාලේ බත කාලා
    කිරි නැති හින්දා රට කිරි දීලා
    සිංහල දරුවො මරන්නා

    යන සරල ගීතයෙන් කියවෙන්නේ වර්තමාන සිංහලයාගේ පිරිහුණු සභ්‍යත්වය පිළිබඳව නොවේද? අපට උරුම "හෙළ බත" අතහැර ලංකිකයා දිවයන්නේ යුරෝපීයයන්ගේ තිරිගු පිටි (පාන් පිටි) පසුපසය. සිංහල රාජධානියේ අවසාන සමයේ ලංකාවට එල්ල වූ යුරෝපා ජාතීන්ගේ බලපෑම් හමුවේ ලාංකිකයන්ගේ ආහාර පාන යුරෝපීකරණයට ලක්‌ වන්නට පටන් ගත් බව පෙනේ. එදා පෘතුගීසීන් ලක්‌දිවට ගොඩබැසි මුල් අවස්‌ථාවේ ලංකිකයන් ඒ බව කෝට්‌ටේ රජුට දන්වා සිටියේ කිරිගල් කමින් ලේ බොන යකුන් පිරිසක්‌ මෙරටට පැමිණ සිටින බවයි. එහි දී ඔවුන් කිරිගල් යනුවෙන් දක්‌වා ඇත්තේ පාන්ය. ලේ යනු වයින්ය.

    නමුත් සිංහලයන්ගේ ආහාර පාන හෙළ ඌරුවට නැඹුරු ව දේශීය නිෂ්පාදන ඇසුරින් සකස්‌ කරගත් ඒවාය. ඒ අනුව මෙරට මුල් කාලීන වැසියාගේ ආහාරපාන පිළිබඳව තොරතුරු විමසීමේ දී ඒ පිළිබඳ ව සවිස්‌තරාත්මක තොරතුරු වංසකතා ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් හෝ පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් හෝ අනාවරණය නොවේ. විශේෂයෙන් මෙරට ප්‍රධාන වංසකතාව වන මහාවංසය පිළිබඳව අවධානය යොමුකිරීමේ දී අනුරාධපුර යුගයට අදාළව ආගමික තොරතුරු බහුල ව දක්‌නට ලැබුණ ද ආර්ථික හා සාමාජීය වශයෙන් වැදගත් වූ බොහෝ තොරතුරු විරලය. මහානාම කතු හිමිට නොවැදගත් කරුණු වූ හෙයින් බැහැර කරන ලද කරුණු අතර මෙවන් සමාජීය තොරතුරු ද තිබුණා විය හැකිය. එම නිසා ම පැරණි ශ්‍රී ලංකාවේ ආහාර පාන පිළිබඳව තොරතුරු විමසීමේදී වංසකතා මෙන්ම වෙනත් සාහිත්‍යය මූලාශ්‍රයන්ගෙන් හා සෙල්ලිපිවල ද තැන තැන විසිරී පවතින තොරතුරු සුළු ප්‍රමාණයක්‌ මෙසේ ගොනුකර දැක්‌වීමට හැකිවීම මෙරට වැසියන්ගේ ආහාරපානයන්ගේ ඉතිහාසය හා එහි වටිනාකම යළි මතක්‌ කර දීමක්‌ වැනිය.

    විශේෂයෙන්ම මහාවංසාදී වංසකතා කතුවරුන්ගේ අවධානයට ලක්‌ නොවූ මෙවන් කරුණු පිළිබඳව වත්මන් උගතුන් අතර පවා ඇත්තේ අඩු අවධානයකි. එම නිසාම මේ පිළිබඳ ව තොරතුරු පොතපතෙහි පවා විරලය. එහෙයින් ප්‍රාථමික මූලාශ්‍රයන් අනුව යමින් මෙරට භාවිත වූ ආහාරපාන වර්ගයන් පිළිබඳ ව තොරතුරු බිඳක්‌ මෙසේ අනාවරණය කරමි.

    ආර්යාගමනයට පෙර ලංකාව අමනුෂ්‍යයන් වාසය කළ පාලු දිවයිනක්‌ වූ බවත් එහි වේදාර (යාල්පානවයිපයමාලය) යක්‍ෂ (මහාවංසය) පිසාච (දීපවංසය) ආදී වූ ජන කොටස්‌ වාසය කළ බව මූලාශ්‍රයන් මගින් අනාවරණය වේ. විජයාගමණයට පෙර මෙරට සිටි යක්‍ෂයන් මිනී මස්‌ අනුභව කළ බව කුවේණිය විජය කුමරුගේ පිරිස උමගක සඟවා තැබීමෙන් පැහැදිලි වේ. (ම.ව. පරි. 7.15 ගාථාව) නමුත් ආර්යාගමනයට පෙර මෙරට සිටි ජනයා ශිෂ්ට සම්පන්න මිනිසුන් කොටසක්‌ විය හැකි යෑයි අනුමාන කළ හැකිය.

    මෙරට සිටි දේශීය කළු මිනිසුන් දුටු විදේශීය සුදු ජාතිකයන් හට ඔවුන් යකුන් සේ පෙනුනා විය හැකිය. දැනට හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාධකවලින් ද ප්‍රාග් ඓතිහාසික මානවයා ආහාර පිස අනුභව කළ බවට තොරතුරු හමුවී තිබීමෙන් විජයාගමනයට පෙර මෙරට ශිෂ්ට සම්පන්න ජනකොටසක්‌ වාසය කළ බව අනුමාන කළ හැකිය. අනුරාධපුර ඇතුළු නුවර සිදුකරනු ලැබූ කැණීම් මගින් සොයාගත් මැටි බඳුන් කැබලි පිළිබඳව මෙතෙක්‌ නිශ්චිත දින නියමයක්‌ කර නොමැති වුවද ඒවා මෙරට වාසය කළ මුල් කාලීන මිනිසා ශිෂ්ටත්වයට පත් වූ මුල් ම කාලවකවානුවේ භාවිත කළ ඒවා ලෙස අනුමාන කළ හැකිය. (රජරට ශිෂ්ටාචාරය හා නිරත දිග රාජධානි, (2002), 222 පිටුව) ක්‍රි. පූ. හයවන සියවසට අවුරුදු දෙසීයයකට පමණ පෙර මෙරට සිටි ජනතාව වී හඳුනාගෙන සිටි බවට පුරාවිද්‍යාත්මක ව සනාථ වී ඇත. නමුත් වංසකතා තුළින් මේ පිළිබඳව කිසිදු තොරතුරක්‌ අනාවරණය නොවේ.

    මිනිස්‌ ජීවිතයේ මූලික අවශ්‍යතාවක්‌ වූ ආහාර පිළිබඳ ව විමසා බැලීමේ දී මූලික වශයෙන් අපගේ අවධානය යොමුවිය යුත්තේ එදා මෙන්ම අදත් ශ්‍රී ලාංකිකයන්ගෙන් ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන "බත" පිළිබඳවය.

    ඒ අනුව මහාවංසයට අනුව බත් ආහාරය සඳහා යොදාගත් මුල්ම අවස්‌ථාවක්‌ පිළිබඳව තොරතුරු ලැබෙන්නේ විජය කුමරු ලංකාවට පැමිණි අවස්‌ථාවේදීය. විජය කුමරුගේ 700 ක්‌ පිරිස තමාගේ මායමින් රවටා සැඟවීමෙන් අනතුරුව, කුමරුගේ අණට අවනත වූ කුවණ්‌ණ එම පිරිස ආපසු ලබා දීමෙන් පසු සාපිසාවෙන් සිටින කුමරු ඇතුළු පිරිසට තමන් විසින් ආහාරයට ගනු ලැබූ වෙළෙඳුන්ගේ නැව්වල පැවැති සහල් ඇතුළු බොහෝ දැ කුමරු ඇතුළු පිරිසට ලබාදී ඇත. රජ කුමරුගේ පිරිස ඒවායින් බත් හා සූපයන් (හොදි) පිසගෙන රජකුමරුට ද දී ඔවුන් ද අනුභව කළ බව මහාවංසයේ සඳහන් වේ.

    භච්චා තෙ සාධයිත්වාන - භත්තානි ඛ්‍යඤජනානිච
    රාජපුත්තං භොංයිත්වා - සබ්බේචාපි අභුඤජිසුං
    (ම.ව. පරි( 7, 25 ගාථාව)

    මෙහි දී පැහැදිලිවන එක්‌ කරුණක්‌ වන්නේ විජයාගමනයට පෙර මෙරට ස්‌වදේශිකයන් විදේශයන්ගෙන් වෙළෙඳුන් මෙරටට පැමිණ ඇති බවයි. තවත් කරුණක්‌ වන්නේ ඒ වන විට ලාංකිකයන් සහල් පරිභෝජනය පිළිබඳ ව දැන සිටින්නට ඇති බවයි.

    මුල්කාලීන ව මෙරට ආහාරපාන කෙරෙහි ඉන්දියානු ආභාසය ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය. ඇතැම්විට මෙරට කෘෂිකර්මාන්තය ස්‌ථාපිත වන තුරු විජය කුමරු ඇතුළු පිරිස අනුභව කරන ලද්දේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ආහාර විය හැකිය.

    විජය රජු සමඟ පැමිණි උපතිස්‌ස ඇමැතියන් විසින් පිහිටුවන ලද උපතිස්‌ස ග්‍රාමයෙහි (නගරයෙහි) ආපනශාලා පැවැති බව දීපවංසයේ සඳහන් වේ.

    අච්චුතගාමියො නාම - උ-ජෙනිං නන්ථ මාපයි
    උපතිස්‌සො උපතිස්‌සං (නගරං) - සුවිභත්තරාපණං
    (දි.ව. පරි. 9, 36 ගාථාව)

    එහි භාවිත වූ ආහාර වර්ග පිළිබඳ ව පැහැදිලි තොරතුරක්‌ නොවූවද ඇතැම්විට ඉන්දියාවෙන් මෙරටට ගෙන එන ලද ආහාරපාන මෙහි විකුණන්නට ඇත. මෙමගින් පැහැදිලි වන එක්‌ කරුණක්‌ වන්නේ ආර්ය ජනපද ව්‍යාප්ත වන අවධියේ මෙරට ආහාර වෙළෙඳාම් කටයුතු ද සිදුවූ බවයි. ඇතැම් විට මෙරට කෘෂි කටයුතු ආරම්භ කරන තුරු ඉන්දියාවෙන් පැමිණි පිරිසගේ ආහාර අවශ්‍යතාව සපුරාලීම උදෙසා මෙසේ ආපනශාලා පිහිටු වූවා ද විය හැකිය.




    අග්‍රා දමයන්ති‍
    දිවයින 31-10-2010