බැඳුම්කර සිද්ධිය : රවී ඇතුළු 7 ක් අත්අඩංගුවට ගැනීම අත්හිටුවයි
5 Hours ago
2016 වර්ෂයේ සිදු වූ දෙවන බැදුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද(7) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම නියෝගය දැනට පවතින මහ බැංකු බැදුම්කර වංචාවට අදාළව සිදු වන විමර්ශන ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු බාදාවක් නොවන බව අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කරන ලදී .
ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගැනීම, රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී .
මහේස්ත්‍රාත් අධිකරණ කටයුතුද ඉදිරියට පවත්වාගෙන යා හැකි බව අභියාචනාධිකරණය අවධාරණය කළා.
ඒ අනුව වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කර රවී කරුණානායක ඇතුළු හත් දෙනෙකු ගොනු කර ඇති රිට් පෙත්සම් විභාගයට ගැනීමට
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩි. නවාෂ්, විනිසුරු ශිරාන් ගුණරත්න සහ විනිසුරු සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා .
මෙම නියෝගය නිකුත් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවන ලෙසට ඉල්ලා රවි කරුණානායක ඇතුළ හත් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් අද කැදවූ අවස්ථාවේදීය.
රවි කරුණානායකට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ අර්ජුන ඇලෝසියස් , එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අය ද රිට් පෙත්සම් ගොනු කර තිබුණි.
වග උත්තරකරුවන් සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් මෙම රිට් පෙත්සම් සලකා බලන තුරු නොගන්නා ලෙසට අභියාචනාධිකරණය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත මීට පෙර නියෝග කරන ලදී .
2016 මාර්තු මාසයේදී සිදුවූ බැඳුම්කර නිකුතුවේදී සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 කු අත් අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මාර්තු මස 6 දා වරෙන්තු නිකුත් කරන ලදී .
රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු මස 6 දා ඔහුට එරෙහිව නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා සිටියා .
https://www.citizen.lk/news/72615#