ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන ඔබ දැනුවත්ද???

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන ඔබ දැනුවත්ද???

    ඇස් ලෙඩ හෙවත් CONJUNCTIVITIS ගැන
    ඔබ දැනුවත්ද???
    කියවා දැනුවත්වන්න..🔥🔥🔥

    ඇස් රතුවී කදුළු ගැලීම බහුලව දැකිය හැකි රෝගී තත්ත්වයකි. මෙවැනි ඕනෑම තත්ත්වයක් බොහෝවිට ඇස්ලෙඩ ලෙස සලකනු ලබයි. එහෙත් ඇස් රතුවීම විවිධ හේතු නිසා සිදුවෙයි. ඇතැම් වෛරස් ආසාධන නිසා සිදුවන ඇස් රතුවීම වෛද්‍ය ප්‍ර‍තිකාර නොකළද සුවවී යා හැකියි. නමුත් සමහර ඇස් රතුවීම් සඳහා අනිවාර්යයෙන් ප්‍ර‍තිකාර කළ යුතුයි. ඉබේම සුවවන ඇස් රතුවීම සහ වෛද්‍ය ප්‍ර‍තිකාර අත්‍යවශ්‍ය ඇස් රතුවීම සාමාන්‍ය ජනතාවට වෙන්කර ගත නොහැකි බැවින් සෑම ඇස් රතුවීමකටම වෛද්‍ය ප්‍ර‍තිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි.
    ඇතැම් ඇස් රතුවීම් සම්බන්ධ රෝගී තත්ත්වය වහා හඳුනාගෙන ප්‍රතිකාර ලබා දීමත් විශේෂඥ අක්‍ෂි වෛද්‍යවරයකු වෙත යොමු කිරීමත් අවශ්‍ය වුවත් රජයේ රෝහලක සේවයේ නියුතු ඕනෑම වෛද්‍යවරයෙකු වෙතින් ප්‍ර‍තිකාර ලබා ගැනීමෙන් සුවකළ නොහැකි අතුරු ආබාධ ඇති වීම වැළැක්විය හැකිය.
    ඇස් රතුවීම සඳහා හේතු වන ප්‍ර‍ධානතම හා බහුලව දැකිය හැකි තත්වය වන්නේ අක්‍ෂි පටල ප්‍ර‍දාහයයි. මීට අමතරව ට්‍රැකෝමා කළු ඉංගිරියාවේ ඇතිවන තුවාල ග්ලූකෝමා සහ ඇසට තුවාල සිදුවීම වැනි තත්ත්වය නිසාද රතු ඇස් ඇතිවිය හැකිය. තවද අනතුරුදායක සම්ප්‍රදායික ඖෂධ ලෙස සලකන ද්‍රව්‍ය භාවිතයෙන්ද ඇස් රතු විය හැකිය.
    අක්‍ෂි ප‍ටල ප්‍රදාහය යනු ඇසේ උඩු හා යටි පියන් ඇතුල් පැත්තෙන් ආවරණය කරන හා ඇසේ සුදු ඉංගිරියාව ආවරණය කරන ශ්ලේෂ්මල පටලය ප්‍ර‍දාහයට ලක්වීමයි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් වේදනා රහිත වුවත් ඇතැම් විට වැලිකැටයක් ඇස තුළට ඇතුලූ වූ ආකාරයේ දැනීමක් ඇතිවිය හැකියි. මේ සමගම ඇසෙන් කදුළු ගැලීම හා කබ ඇතිවීම යන දෙකම හෝ ඉන් එකක් ඇතිවිය හැකිය.
    අක්‍ෂි පටල ප්‍රදාහය විවිධ හේතු නිසා ඇතිවෙයි. වෛරස ආසාධන හා ආසාත්මිකතා හේතුවෙන් ඇතිවන අක්‍ෂිපටල ප්‍ර‍දාහය මින් ප්‍රධාන වෙයි. මෙයින් වඩා බහුල ලෙස වෛරස නිසා ඇතිවන අක්‍ෂි පටල ප්‍ර‍දාහය දැකිය හැකි අතර එය ඉතා ඉක්මනින් පැතිරී යයි. එන්ටරෝවෛරස් හා ඇඩිනො වෛරස් යන වෛරස් කාණ්ඩ නිසා අක්‍ෂි ප‍ටල ප්‍රදාහය ඇතිවේ. මෙහි සීඝ්‍රයෙන් පැතිරීමේ හැකියාව නිසා ඇතැම් විට වසංගත තත්ත්ව ඇතිවීමේ හැකියාවක් පවතී. වෛරස නිසා ඇතිවන අක්ෂිපටල ප්‍රදාහයේදී සෑම විටම ඇස්දෙකම රෝගී වන අතර කදුළු ගැලීම ඇස් රතුවීම ඇස් පියන් ඉදිමීම හා ඇසේ වැලි කැට වැනි හැඟීමක් ඇතිවීම වැනි රෝග ලක්‍ෂණ ඇති වේ. ඇතැම් විට ආලෝකය බැලීමට අපහසුවීම හා පෙනීම බොඳවීම වැනි ලක්‍ෂණ ඇතිවිය හැකිය. මෙම රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් දින 5x-10 ක් පමණ කාලයක් තුළ සුව වන අතර බොහෝවිට විශේෂ ඖෂධීය ප්‍ර‍තිකාර අවශ්‍ය නොවේ. එහෙත් දෙවනුව ඇතිවිය හැකි බැක්ටීරියා ආසාධන වැළැක්වීම සඳහා ප්‍ර‍තිජීවක ඖෂධ භාවිතා කිරීම ප්‍රයෝජනවත් වේ. එසේම ඇස් පිරිසිදුව තබා ගැනීමෙන් රෝගය ඉක්මනින් සුවකරගැනීමට උපකාරී වේ. එසේම ඇතැම් වෛරස නිසා ඇතිවන අක්‍ෂිප‍ටල ප්‍රදාහයන් සඳහා විශේෂ ප්‍ර‍තිකාර අවශ්‍ය වේ. එමනිසා මේ සඳහා තීරණ ගැනීමට අනිවාර්යයෙන් වෛද්‍යවරයකුගේ සහය ලබාගත යුතුය.
    මෙහිදී රෝගය සීඝ්‍රයෙන් පැතිරීයාම වැළැක්වීම සඳහා නිතර අත් සබන් යොදා සේදීම සහ තුවා සහ අනෙකුත් ඇඳුම් වෙන්කර තබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. තවද පාරම්පරික ඖෂධ ලෙස සලකන විවිධ ද්‍රව්‍ය භාවිතයෙන්ද වැළකිය යුතුය.
    බැක්ටීරියා නිසා ඇතිවන අක්‍ෂි පටල ප්‍රදාහය බොහෝ විට තනි ඇසකට බලපාන අතර ඇසෙන් ස්‍රාවය නිකුත් කිරීම සහ ඇස ඉඳිමීම වෛරස් ආසාධන වලට වඩා වැඩිවශයෙන් දක්නට හැකිය. තවද තදින් කබ ගැලීම නිසා ඇස් පිහාටු එකට ඇලී තිබිය හැකි අතර ඇසෙහි වේදනාවක්ද ඇතිවිය හැකිය. මෙහිදීද පුද්ගල ස්වස්ථතාව මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ.ප්‍රතිකාර ලෙස ප්‍රතිජීවක භාවිතා කළ යුතු අතර ඇස් පිරිසුදුව තබාගැනීම වැදගත් වේ.
    අක්‍ෂි පටල ප්‍රදාහය ඇති කරන අනෙක් ප්‍රධාන අකාරය ආසාත්මිකතාවයි. මෙහිදීද රෝගලක්‍ෂණ වේගයෙන් මතුවන අතර ඇස් කැසීම තදින් ඇතිවේ. තවද ඇස් තදින් ඉදිමිම සහ කදුළු ගැලීම ඇතිවේ. මීට ප්‍රධාන හේතුව වන්නේ යම් ආසාත්මිකතා ඇතිකළ හැකි යමි ආහාරයක් ගැනීම හෝ යමි රසායනික ද්‍රව්‍යයක් ඇසට ඇතුළු වීමයි. දූවිලි, මකළුදැල් වැනි ද්‍රව්‍ය නිසාද මෙම තත්ත්වය ඇතිවිය හැකිය. තවද පාරම්පරික ඖෂධ භාවිතය සහ මසකට වැඩි කාලයක් භාවිතය සඳහා විවෘත කරන ලද ඇස් සඳහා භාවිත කරන ඖෂධ වර්ග නැවත භාවිතයෙන්ද ආසාත්මිකතා ඇතිවිය හැකිය. මෙහිදී ආසාත්මිකතාව ඇතිකරන ආහාරය හෝ ද්‍රව්‍ය ඉවත් කිරීමෙන් තත්ත්වය උග්‍ර අතට පත්වීම වළක්වාගත හැකි අතර වෛද්‍ය ප්‍රතිකාර ගැනීමද අත්‍යාවශ්‍ය වේ. මෙහිදී ඇස් කැසීමෙන් වැළකී සිටීමද ඉතා වැදගත් වේ.
    ඇසෙහි කළු ඉංගිරියාවේ තුවාල ඇතිවිම රතු ඇස් ඇතිවීමට හේතුවෙයි. බැක්ටීරියා, දිලීර, වෛරස් හා ඇකැන්තමීබා වැනි ආසාධන නිසා මෙම තුවාල ඇතිවිය හැකිය. වයස මාස 06 ත් අවු 02 ත් අතර කුඩා ළමයින් අතර විටමින් ඌනතාව නිසාද මෙම තුවාල ඇතිවිය හැකිය. මෙය බරපතළ තත්ත්වයක් වන අතර කළුඉංගිරියාවේ යලි සුව කළ නොහැකි කැළැල් ඇති විය හැකිය. මේ සඳහා හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. ක්‍ෂණිකව ඇතිවන ග්ලූකෝමා නැමැති රෝගී තත්ත්වයද වේදනාකාරී රතු ඇස් ඇතිකරන රෝගයකි. මෙහිදී ඇසේ පීඩනය ඉහළ යන අතර ක්‍ෂණික ප්‍රතිකාර අත්‍යාවශ්‍ය වේ.
    අනවශ්‍ය උසුළු විසුළු නිසා ඇතැම්හූ ඇස් රතුකර ගනිති. මෙලෙස රතුවන ඇස් ඉබේම සුව වුවත් රෝගී තත්ත්වය නිසා ඇති වන රතු ඇස් නිකම්ම සුව නොවේ. ඇස් දෙක වගේ රුකගන්නේ ඉතා වටිනා දේවල්ය. එනම් ඇස් අන් සියල්ලන්ටම වඩා වටී. එම නිසා ඇස් රතුවීම වැනි තත්ත්වයක් ඇතිවූ සැනින් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම කළයුතුය. එමගින් ඔබගේ ඉතා වටිනා ඇස් යළි සුවකළ නොහැකි ලෙස රෝගී වීමෙන් වළක්වා ගත හැකිය ප්‍රතිකාර සඳහා ප්‍රමාද වීමෙන් ඇස් අන්ධවීමට පවා පූළුවන.


    https://www.facebook.com/groups/meedumarana/permalink/2367936673225519/