ඇසේ සුද ලොව අඳුරු කරන...

ELANDARIYA

Junior member
  • Sep 24, 2014
    27
    46
    13
    ජාඇල, පමුණුගම.
    ඇසේ සුද ලොව අඳුරු කරන...

    https://m.ak.fbcdn.net/sphotos-c.ak..._=1421471117_1a256c3785291afeb94530242811d8b4


    ඔබ ඔබේ දරුවන් ඇස වගේ රැකබලා ගන්න බව කියන්න ඕන නැහැනෙ. ඒත් ඔබ ඔබේ ඇසක්‌ ඇහැක්‌ තරම් පරෙස්‌සමෙන් බලාගන්නවාද? මේ සටහන ලියන්නේ ඔබ නොදැනුවත්වම ඔබේ ඇස තුළට රිංගා එය විනාශ කර දමන සතුරෙකු ගැන ඔබට කියන්නයි.
    ඇසේ සුද ඔබ නො දැනීම ඔබේ ඇස විනාශ කර දමන භයානක සතුරෙක්‌.
    ඇසේ සුද ඇතිවීම නිසා ඇස්‌ පෙනීම ක්‍රමයෙන් අඩු වී නැත්තටම නැති වී යැමෙන් ලොව ව්‍යසනයට පත්වෙන ගණන මිලියන විස්‌සක්‌. එමෙන්ම වාර්ෂිකව මිලියන පහක පමණ අය මේ රෝගයට නොදැනුවත්කම නිසා ගොදුරු වෙනවා.

    ඇසේ සුද හා එය ඇති වීමට හේතු මොනවාද?
    මිනිස්‌ ඇසට ආලෝකය ඇතුළු වන්නේ එහි ඇති කාචයක්‌ තුළින්. එය ඉතා සිනිඳු පාරදෘශ්‍ය බවින් යුක්‌තයි. විනිවිද පෙනෙන සුළුයි. එහෙත් කල්යැමේදී මෙම කාචය විවිධ හේතු නිසා එහි පවතින පාරදෘශ්‍ය බව ක්‍රමයෙන් අඩු වී එය තුළින් දෘෂ්ඨිවිතානය වෙත ගෙන එන රූපවල අපැහැදිලි බවක්‌ දිස්‌වෙන්නට පටන් ගන්නවා.
    මෙම අපැහැදිලි බව ඇති වෙන්නේ ඉහත කී කාචය එහි අවර්ණ බවක්‌ ඇතිවීමෙන්. එය තමා මේ සුද කියා හඳුන් වන්නේ. මෙය හේතු කීපයක්‌ නිසා ඇතිවන තත්ත්වයක්‌. පළමුවැනි හේතුව වියපත් වීමත් සමග කාචයේ ඇති නම්‍ය බව නැති වී ගණ බවට හැරීමෙන් ඇසේ සුද ඇතිවන්නට පුළුවන්. දෙවැන්න ඇසට වන අනතුරක්‌ තදබල පහරක්‌ නිසා ඇති වුණ තුවාලයක්‌ නිසා සුද එන්න පුළුවන්.
    එමෙන්ම උපතේදී සුද ඇති විය හැකියි. මවට ගැබිනි කාලයේදී රුබෙල්ලා, සරම්ප වැනි රෝගී තත්ත්වයක්‌ වැළඳීම මෙයට හේතු වනවා. එක දිගට ඖෂධ පාවිච්චිය මෙයට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන් (steriod) ගණයට අයත් ඖෂධ (predinisolon) වගේ.
    ඒ වගේම ජානමය හේතු නිසාත් ඇසේ සුද ඇතිවෙන්න පුළුවනි. මෙය කලාතුරකින් සිදුවන දෙයක්‌.

    ඇසේ සුද ඇති වීමෙන් සිදුවන ගැටලු මොනවාද?
    මෙහිදී ඉතාමත් ආසන්න ප්‍රතිඵලය වන්නේ ඇසේ දෘෂ්ටිය ටිකෙන් ටික අඩු වී යැමයි. එසේ වන්නේ ඇස තුළ ඇති කාචයෙහි පාරදෘශ්‍ය බව නැති වී යැම නිසයි. වාහන පදවන කෙනකු නම් ඉදිරියෙන් එන වාහනයේ පහන් එළියෙන් ඇස නිලන්කාර වී කිසිවක්‌ නොපෙනී යාම සිදුවිය හැකියි.
    එමෙන්ම සුද ඇතිවීම ක්‍රමානුකූලව සිදුවන ක්‍රියාවලියක්‌ නිසා එය නොසලකා සිටියහොත් එය මෝරා ගණ බවට හැරී සුව කළ නොහැකි තත්ත්වයට පත් වෙන්න පුළුවන්. හුඟ දෙනෙක්‌ තමාගේ ඇසෙහි සුද ඇති බව දැනගන්නේ වෙන අයකු ඒ බව පැවසූ විටයි. එසේ නැත්නම් වෙනත් ඇසේ ලෙඩකට වෛද්‍යවරයා වෙත පැමිණි විටයි.
    සුද මෝරන තත්ත්වයට පත් වන විට ඇසේ රුධිර පීඩනයද ඉහළ යන්න පුළුවන්. පීඩනය නිසා මෝරා ඇති කාච කොටස්‌වලට පුපුරා එම කැබලි ඇස තුළ විසිරී යන්නට ඉඩ තියෙනවා.

    ඇසේ සුදට සිදු කරන ප්‍රතිකාර මොනවාද ?
    නවීන පහසුකම් ඇතිව කරන ඉතා සරල ගණයේ සැත්කමක්‌ මගින් එය සුව කළ හැකියි. බිය වීමට කිසිම හේතුවක්‌ නෑ. සුදෙන් අවර්ණ වී ඇති කාචය ඉවත් කොට ඒ සඳහා අලුත් කාචයක්‌ බද්ධ කරනවා. එය කරන්නේ මෙහෙමයි. ඇසේ කාචය තියෙන්නේ කුඩා සියුම් බෑගයක්‌ තුළයි. බෑගය සියුම් රැහැන්වලින් රඳවලා තියෙන්නේ. ඉතා සියුම් ශල්‍ය උපකරණයකින් එම බෑගයේ කුඩා සිදුරක්‌ සාදා සුද සහිත කාචය කොටස්‌වලට කඩා ඉවතට ගන්නවා.
    ඒ සඳහා මි. මී. 1.8 සිට 2.8 දක්‌වා සිදුරකින් තමයි උපකරණය ඇතුළු කරන්නේ. මෙහිදී රෝගියාට කිසිම වේදනාවක්‌ ඇති වෙන්නේ නැහැ. සැත්කමට පෙරාතුව අදාළ ප්‍රදේශය හිරිවට්‌ටවලයි තියෙන්නේ. (Lignocian Jell) නම් ජෙල් විශේෂයක්‌ ඇසට පිටින් ආලේප කිරීමෙන් එසේ කරන්නේ.
    ඉන් අනතුරුවයි නව කාචය අර සිදුර තුළින් සීරුවෙන් ඒ බෑගය තුළට ඇතුළු කරන්නෙ. ඉන්පසු සැත ඉවතට ගත් සැණින් සිදුර ස්‌වයංක්‍රීයව වැසී යනවා. මැහුම් දැමීමක්‌ නැහැ.

    සැත්කමට පෙර රෝගියා පරීක්‍ෂණ කීපයකට භාජනය කරනවාද?
    සෑම සැත්කමකටම පෙර කරන සරල පරීක්‍ෂණ දියවැඩියා තත්ත්වය, රුධිර පීඩනය, හා හදවත් ක්‍රියාකාරිත්වය පරීක්‍ෂා කර වාර්තා ලබාගන්නවා. මෙසේ සැත්කම සඳහා හෘදය පිළිබඳ පරීක්‍ෂණයක්‌ කරන්නේ ඇයි දැයි රෝගියාට සිතෙන්නට පුළුවනි. එයට හේතුවක්‌ තියෙනවා.
    හෘදය හා ඇස සම්බන්ධ වන ඉතා සංවේදී ස්‌නායුවක්‌ තිබෙනවා. පිටතින් ඇසට ඇතුළු කරන කෘත්‍රිම කාචය නිසා හෘදයේ වෙනස්‌කම් ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඒවා වලක්‌වා ගැනීමටයි හෘදය වාර්තා ලබා ගන්නේ.

    රෝගියා මෙම සැත්කම සඳහා පැමිණීමේදී කිසියම් සූදානමක්‌ විය යුතුද?
    මුලින්ම ඔහු තම වෛද්‍යවරයා හමු වී තම ඇසේ ආබාධය පිළිබඳව සියලු තතු දැනගත යුතු වෙනවා. තමාගේ ආබාධය ගැන සියලු දේ නොසඟවා වෛද්‍යවරයාට පැවසිය යුතුයි.
    තමා මින් පෙර ඇසේ සැත්කමකට භාජනය වී ඇත්ද, තමාට දියවැඩියාව, ඇදුම, හතිය වැනි කල්පවත්නා රෝග තත්ත්වයන් තිබේද යන්න වෛද්‍යවරයාට දැන්විය යුතු වෙනවා. ලියුකේමියා වැනි රෝග ඇත්නම් එය ද පැවසිය යුතුයි. ඒ හැර ලොකු කුඩා ඕනෙම අයකුට මෙම සැත්කමට ඉදිරිපත් වීමට බාධාවක්‌ නෑ.
    සැත්කමට නියමිත දිනයට කල් වේලා ඇතිව පැමිණීම අවශයයි. ඒ කියන්නේ කලින් දවසේ ඒ වගේම පිරිසිදුව එන්නට ඕනෑ. ස්‌නානය කරන්නට අපහසු නම් මුහුණ ආදී පෙදෙස්‌ පිරිසිදු කරගෙන පැමිණීම වැදගත්. ඒ වගේම සුදු ඇඳුමක්‌ ඇඳ එනවා නම් හොඳයි.

    සැත්කමෙන් පසු කොපමණ කාලයක්‌ රෝහල් ගත වී සිටීය යුතුද?
    එය රෝගියා අනුව වෙනස්‌ වෙනවා. සමහර රෝගීන්ට එදාම නිවස බලා යැමට හැකියි. එහෙත් පසුදා උදයේ ඇස පරීක්‍ෂා කිරීම සඳහා ආපසු පැමිණිය යුතුයි.

    සැත්කමෙන් පසු සාමාන්‍ය පෙනීම ලැබෙනවාද?
    ඇත්තෙන්ම ඔව්, මෙම සැත්කම වෛද්‍යවරයා විසින් තනිව කරන එකක්‌ නෙවී, වෛද්‍යවරයා දිගුකාලීන අත්දැකීම් ඇති පුහුණුවක්‌ සහිත අක්‌ෂි ශල්‍ය වෛද්‍යවරයෙක්‌. ඔහුට සහය වන රෝහල් කාර්ය මණ්‌ඩලයද අති විශේෂ පුහුණුවක්‌ ලැබූ අය. ඒ සියලු දෙනාම තමන්ට පැවරෙන කාර්යය සියයට සීයක්‌ නිවැරදිව කිරීමට වගබලා ගන්නවා. ඒ නිසා පෙනීම ගැන සැකයක්‌ නැහැ.
    ඇසට දමන කාචය තෝරා ගන්නේ විධිමත් පරීක්‍ෂණයකින් පසුවයි. බොහෝ අයට පසුදා සිටම පෙනීම ලැබෙනවා. ඇතැම් අයට සාමාන්‍ය පෙනීම ලැබීමට දින දෙක තුනක්‌ යනවා. සැත්කමෙන් පසු දින උදැසන ඉන්පසු සතියකට පසුවත් අනතුරුව මසකට පසුවත් ඇස පරීක්‍ෂා කරනවා. ඒ කාලය තුළදී ඇසට දැමීම සඳහා බෙහෙත් වර්ග රෝගියාට ලබාදෙනවා.

    සැත්කමින් පසු රෝගියා හැසිරිය යුත්තේ කෙසේද?
    රෝගියාට සාමාන්‍ය ජීවිතයක්‌ ගත කළ හැකියි. එහෙත් ඔහු දූවිලි වැදීමෙන්, දුම් වැදීමෙන් ඇස රැකගත යුතුයි. හැකිතාක්‌ දුර ගමන් බිමන් යැමෙන් වැළකිය යුතුයි. තද සුළඟින් විෂබීජ ඇසට ඇතුළු විය හැකි නිසයි.

    ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම හා සම්බන්ධ අතුරු ආබාධ තියෙනවාද?
    මෙම සැත්කමෙන් ලැබෙන ප්‍රතිලාභ හා සසදන විට මෙහි ඇති අතුරු ආබාධ ඉතා සුළු ඒවායි. ඒවා ලෙහෙසියෙන් වලකා ගත හැකියි. එකක්‌ තමයි අපේක්‌ෂිත කාචය වෙනුවට වෙනත් කාචයක්‌ බද්ධ කිරීම එය ඉතා කලාතුරකින් විය හැකි එකක්‌.
    සමහර විට රෝගියාට සැත්කමින් පසු උපැස්‌ යුවළක්‌ පලඳින්නට සිදුවන්නට පුළුවන්. ඒත් ඇතමුන්ට අවශ්‍ය වන්නේ නැහැ.
    කලක්‌ යනතුරු ඇසට නියමිත කාලසටහනකට අනුව බෙහෙත් දමන්නට වීම ආබාධයක්‌ ලෙස දකින්නත් ඉඩ තියෙනවා. ඇසේ වටිනාකම ගැන හිතන කොට ඒක සුළු දෙයක්‌.

    ඇසට දමන මේ කාචයේ මිල තරමක්‌ ඉහළයි. මේවා ලබාගැනීමට සහන වැඩපිළිවෙළක්‌ ඔබ රෝහල මගින් ඇතිකර තිබෙනවාද?
    ඒ සඳහා වැඩපිළිවෙළක්‌ ඇති බව කියන්නට සතුටුයි. 20 - 20 විෂන් යන වැඩසටහන යටතේ කාචයන් ලබාදීමේ එහෙම වැඩපිළිවෙළක්‌ තියෙනවා.
    ඒ වගේම බෝධි ආරක්‍ෂක සභාව මගින් නොමිලේ කාච සැපයීමේ ක්‍රමයක්‌ අනුගමනය කරනවා. එමෙන්ම ඇතැම් ධනවත් අය කාච ලබාදීම සඳහා ඉදිරිපත් වෙනවා. එහෙත් මේ කාච ලබාදෙන්නේ අඩු ආදායම්ලාභීන්ට පමණයි. ඔවුන් ඒ සඳහා තමන් අඩු ආදායම් ලබන අය බවට ග්‍රාමනිලධාරී සහතික ඉදිරිපත් කළ යුතු වෙනවා.

    මාතර මහ රෝහලේ අක්‌ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය
    මහින්ද වීරසේකර

    සාකච්ඡා කළේ ලීලානන්ද වික්‍රමසිංහ
     
    • Like
    Reactions: NUWAN BUWA