ඉකොනොමැට්ටා අත්වැඩකරුවන් හිඟද?
අත්වැඩකරුවන් හිඟද?
ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය අත්වැඩකරුවන්ගේ හිඟය ගැන එම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මැසිවිලි නඟති. පෙදරේරුවන් වැනි පුහුණු ශ්‍රමිකයන් හා අදාළවද මෙවැනි කතා අසන්නට ලැබේ. බොහෝ පිරිස් ත්‍රිරෝද රථ සේවා සැපයීම කෙරෙහි යොමුවීම මෙයට හේතුවක් බව ඇතැම් අය සිතති.
කිසියම් වෙළඳපොළක ඉල්ලුම හා සැපයුම අතර අසමතුලිතතාවක් පවතීනම් එහි ස්වභාවික හෝ කෘතීම බාධාවක් තිබිය යුතු අතර එය හඳුනාගත හැකි විය යුතුය.
පළමුව, දිගුකාලීනව ඉදිකිරීම් සිදු නොවන තරමේ ශ්‍රමික හිඟයක් මම නොදකිමි. එවැනි තත්ත්වයක් පවතීනම්, ඉදිකිරීම් කර්මාන්තයෙහි නියැලෙන්නෙන් අතර ශ්‍රමිකයින් වෙනුවෙන් උග්‍ර තරඟයක් ඇති වී, මේ ශ්‍රමිකයින්ගේ ශ්‍රමය වෙනුවෙන් ඔවුන් ගෙවන මිල කෙටි කලක් තුළ විශාල ලෙස වැඩිවනු පෙනිය යුතුය. එහෙත්, එවැන්නක් නොපෙනේ.
මා හිතන පරිදි, ඇත්තටම පවතින ප්‍රශ්නය අවශ්‍ය වෙලාවට ප්‍රමාදයකින් තොරව අත්වැඩකරුවන් හා/හෝ පෙදරේරුවන් සොයාගැනීමයි. මෙයද සැලකිය යුතු ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නය පැහැදිලිව දෘශ්‍යමාන වන්නේ කලකට පෙර පැවති තත්ත්වය සමඟ සැසඳීමේදීය.
ඉදිකිරීම් කටයුතු වලදී අත්වැඩකරුවන්ගේ ශ්‍රමය සඳහා වන ඉල්ලුම බොහෝ විචල්‍ය ඉල්ලුමකි. කොන්ක්‍රීට් දැමීම වැනි අවස්ථාවක එකවර විශාල ශ්‍රමිකයින් පිරිසක් අවශ්‍ය වෙයි. විශේෂයන්ම නාගරික ප්‍රදේශ වලදී මේ ඉල්ලුම සැපිරුනේ නාගරික පැල්පත්වාසීන් වූ අඩු අධ්‍යාපනයක් ලබා ඇති, රැකියා විරහිත තරුණයින්ගෙනි. මේ අය අතර දිනපතා මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ, කරන්නට වෙනත් නිශ්චිත කාර්යයක් නොමැති පිරිස්ද අඩු නොවීය. තැරැව්කරුවෙකු හරහා අවශ්‍ය අවස්ථාවක මෙවැනි කණ්ඩායමක් එකතු කර ගැනීම දශකයකට හෝ දෙකකට පෙර එතරම් අසීරු හෝ වියදම් අධික කටයුත්තක් නොවීය. පසුගිය දශක දෙක තුළ රැකියා නියුක්තියෙහි සිදුවූ විශාල වැඩිවීම හේතුවෙන් දැන් මෙවැනි පිරිස් අවශ්‍ය වෙලාවට එසේ එකතු කරගැනීම පහසු නොවන බව පෙනේ.
අත්වැඩකරුවන් සඳහා මෙන්ම පෙදරේරුවන් හා තීන්ත ආලේපකරුවන් වැනි පුහුණු ශ්‍රමිකයින් සඳහා වන ඉල්ලුමද වසර පුරා එක ලෙස නොපවතින විචල්‍ය ඉල්ලුමකි. සිය ශ්‍රමය සඳහා වන ඉල්ලුම නියත ඉල්ලුමක් නොවූ විට ශ්‍රමිකයෙකුට ඉල්ලුම් කළමනාකරණ ක්‍රමවේද ගැන සිතන්නට සිදුවේ.
ඇඟ මහන්සි වී කරන වැඩ වලට මිනිසුන්ගේ ස්වභාවික ප්‍රතිරෝධයක් තිබේ. අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභයක් ලබන්නට කවුරුත් වාගේ කැමතිය. තාක්ෂනය මඟින් එසේ අඩුවෙන් මහන්සි වී වැඩි ප්‍රතිලාභ ලබන්නට මිනිසුන්ට ඉඩ සලසයි. තාක්ෂණ දියුණුව සමඟ නුපුහුණු ශ්‍රමයට ඇති ඉල්ලුම අඩු වන නමුත්, පුහුණු ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වඩා වේගයෙන් වැඩි වන නිසා නුපුහුණු ශ්‍රම සැපයුමද සමාන්තරව අඩු වේ. මේ නිසා රටක ආදායම් හා අධ්‍යාපන මට්ටම් ඉහළ යද්දී නුපුහුණු ශ්‍රමය සඳහා වන වෙළඳපොළේ ඇති ශ්‍රම අතිරික්තය ක්‍රමයෙන් ක්ෂය වී යයි.
නුපුහුණු ශ්‍රම වෙළඳපොළෙහි සිය ශ්‍රමය විකුණන අත්වැඩකරුවෙකු හෝ පුහුණු ශ්‍රමය විකුණන පෙදරේරුවෙකු කම්හලක හෝ රජයේ කාර්යාලයක සේවය කරන්නෙකු මෙන් සතියේ දින පහක් වැඩ කර දින දෙකක් විවේක ගන්නට කැමති වනු ඇත. එහෙත්, ඒ ආකාරයෙන් සිය ශ්‍රමය විකිණීමටනම් ශ්‍රමය සඳහා විචල්‍ය නොවන ස්ථාවර ඉල්ලුමක් පැවතිය යුතුය. එහෙත්, පවතින ඉල්ලුම එවැනි ස්ථාවර එකක් නොවේ. මේ නිසා, මෙවැනි රැකියාවක නිරත අයෙකුට තමන්ගේ ශ්‍රමයට ඇති විචල්‍ය ඉල්ලුම ස්ථාවර කර ගැනීම සඳහා ක්‍රමෝපායික වන්නට සිදුවේ. මෙහිදී එවැන්නෙකු විසින් ක්‍රමෝපායික වන්නේ (වෙනස්කම් ඇතත්) චැනල් සේවා සැපයීමේදී වෛද්‍යවරයෙකු ක්‍රමෝපායික වන ආකාරයටමය.
පෙදරේරුවෙකු ඉල්ලුම ඇති විට එකවර ඇණවුම් කිහිපයක් භාරගනී. එසේ ඇණවුම් කිහිපයක් භාර ගැනීමෙන් පසු එවැන්නෙකු එක දිගට එකම තැනක වැඩ නොකර මේ සේවා ස්ථාන දෙක තුන අතර මාරුවෙන් මාරුවට වැඩ කරයි. එහෙත්, පෙදරේරුවෙකුගේ සේවය ලබා ගන්නා අයෙකුට අවශ්‍ය වන්නේ ඔහුගෙන් (මේ වෘත්තියෙහි නිරත වන කාන්තාවන් ඉතා සීමිත නිසා ඔහු යන වචනය යොදමි.) එක දිගට වැඩ ගැනීමටය. ඒ නිසා, තමන් සමාන්තරව භාරගෙන ඇති අනෙකුත් ඇණවුම් සම්බන්ධ තොරතුරු එළිදරවු නොකර බොරු කියන්නට ඔහුට සිදුවේ. තමන්ට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුත්ත සිදු නොවී ප්‍රමාද වන බැවින් පෙදරේරුවාගේ සේවය ලබා ගන්නා අයට පෙදරේරුවන්ගේ හිඟයක් පෙනේ.
අවශ්‍ය අයෙකුට අවශ්‍ය වෙලාවටම පෙදරේරුවෙකුගේ, තීන්ත ආලේපකරුවෙකුගේ හෝ අත්වැඩකරුවෙකුගේ සේවය ලබා ගැනීමට හැකිවීමටනම් එවැන්නන්ගේ සැපයුම, වසර තුළ ඉල්ලුම උපරිමයක් වන මට්ටමට පැවතිය යුතුය. එහෙත්, සැපයුම ඒ තරමට වැඩි වුවහොත් මෙවැන්නන්ට වසරේ සැලකිය යුතු කලක් රැකියා විරහිතව ඉන්නට සිදුවේ.
කලකට පෙර විශාල පිරිසක් රැකියා විරහිතව සිටියදී මෙවැනි අතිරික්ත ශ්‍රම සැපයුමක් පැවති නිසා ක්ෂණික ශ්‍රම අවශ්‍යතාවයක් සපුරාගැනීම අපහසු කරුණක් නොවූවත් එය තවදුරටත් එසේ නොවේ. මෙසේ රැකියා විරහිතව සිටි කණ්ඩායමෙන් පිරිසක් මේ වන විට ත්‍රිරෝද රථ සේවා සැපයුමෙහි නිරතව සිටිනවා විය හැකිය. ඔවුන් දවසක් තුළ කිසියම් ඵලදායී කාර්යයක නිරත වන කාලය පැය කිහිපයක් වන්නටද පුළුවන. නමුත්, වසරක් තුළ දින කිහිපයක් පමණක් කිසියම් ඵලදායී කාර්යයක නිරත වීමට සාපේක්ෂව එය සේවා නියුක්තියේ සැලකිය යුතු වැඩිවීමකි.
එසේනම්, පෙදරේරුවෙකු හෝ අත්වැඩකරුවෙකු අවශ්‍ය අයෙකුට පොරොත්තු කාලය අඩු කරගැනීමට නොහැකිද?
බැරිකමක් නැත. ඒ සඳහා ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් ගෙවන මිල වැඩි විය යුතුය. එවිට, සේවා නියුක්තිය සතියකට දින දෙක තුනක් වුවත් මේ සේවා සපයන්නෙකු බලාපොරොත්තු වන ආදායම ලැබෙන බැවින් තවත් පිරිසක් මේ සේවාවන් සැපයීම කෙරෙහි යොමුවනු ඇත.
එසේනම්, වෙළඳපොළ බලවේග මඟින් එවැනි මිල වැඩිවීමකට ඉඩ නොසලසන්නේ ඇයි?
අඩුම වශයෙන් හේතු තුනක් නිසාය.
1. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු හා නුපුහුණු ශ්‍රමය මිල දී ගන්නා ඉදිකිරීම් සමාගම්, කොන්ත්‍රාත්කරුවන් හා නිවාසයක් තැනීම වැනි කටයුත්තක යෙදෙන සාමාන්‍ය පුද්ගලයින්ට 'වැඩේ හැකි ඉක්මණින් ඉවර කර ගැනීමේ' හදිස්සිය කොතරම් වැඩි වුවත් 'පුළුවන් තරම් අඩුවට වැඩේ කර ගැනීමේ' උවමනාව ඊට වඩා වැඩිය. වෙනත් අයුරකින් කිවහොත් පොරොත්තු කාලය අඩු කර ගැනීම සඳහා ගෙවිය යුතු මිල ගෙවන්නට ක්ෂේත්‍රය සූදානම් නැත.
2. ඓතිහාසික හේතු මත අත්වැඩකරුවන් මෙන්ම පෙදරේරුවන්ද සිටින්නේ ලංකාවේ සමාජ ධුරාවලියේ පහළ මට්ටමකය. එවැන්නෙකුගේ ආදායම් මට්ටම කාර්යාලීය රැකියාවක යෙදෙන්නෙකුගේ ආදායම් මට්ටමට වඩා බෙහෙවින් වැඩි වුවද මේ තත්ත්වය එසේමය. සමාජ තත්ත්වය පෙන්වීමේ පීඩනය අඩු නිසා මේ රැකියා කරන්නෝ ඔවුන්ට දැනට ලැබෙන ආදායමෙන් ජීවත් වීම ප්‍රශ්නයක් ලෙස නොදකිති. ඒ නිසා, ඔවුන්ගෙන් සිය වැටුප් ඉහළ නංවා ගැනීම සඳහා පීඩනයක් ඇති නොවේ.
3. මේ ශ්‍රමිකයන්ට ලොකු මූල්‍ය කළමණාකරණ කුසලතා නැත. ඔවුහු බොහෝ විට කරන්නෝ එදිනෙදා ආදායමෙන් එදිනෙදා වියදම් පියවා ගැනීමයි. ඒ නිසා, වසරේ අහඹු දින සියයක් තුළ දිනකට රුපියල් හයදහස බැගින් ලැබෙන විකල්පයකට වඩා, දින තුන්සියයක් දිනකට රුපියල් දෙදහස බැගින් ලැබෙන විකල්පයකට ඔවුහු කැමැත්තෝය.
Source Economatta.blogspot.com