ඉතින් ඒකා මිටි වීම පුදුමයක්ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    11,295
    22,245
    113
    මහරගම


    අප හැමදාමත් මේ තීරුව ඔස්සේ ලියන්නේ දේශපාලන කලබගෑනියක්, ගුටි කෙළියක්, මිනී මැරුමක්, පාතාල අවුලක් හෝ වෙනත් අසූචි බාල්දියක් ගැනය. ඒ සුපුරුදු ජීවන මාර්ගයෙන් ස්වල්පයකට මිදී මේ රටේ දරුවන් ගැන යමක් ලිවීමට අද අපි තීරණය කළෙමු. 2021 මෙරට පෝෂණ දර්ශකවලට අනුව මේ රටේ සිටින අවුරුදු 5 ත් 10 ත් අතර දරුවන් උසින් අඩුවීම හෙවත් මිටිවීම 2022 වනවිට තවදුරටත් වැඩිවී තිබේ. ලෝක ආහාර සංවිධානයේ සහයෝගිතා ලේකම් කාර්යාලයේ වෛද්‍ය කලන පීරිස් කියන පරිදි 2021 සිටි අවුරුදු 5 ත් 10 ත් වයසේ දරුවන් අතරින් නියමිත උසට නොගැලපෙන දරුවන් ගණන 21% කි. ගිය අවුරුද්දේ එම ගණන 26% කි. එසේම වයස අවුරුදු 10 ත් 17 ත් අතර දරුවන්ගෙන් 22% ක් උසින් ඉතාම අඩුය. කෙනකු උසින් අඩුවීම හෙවත් මිටි වීම විශාල සමාජ ප්‍රශ්නයක් නොවේ. මෙය සමාජ ප්‍රශ්නයක් වන්නේ උස අයට සිකියුරිටි රස්සාත් මිටි අයට කම්කරු රස්සාත් දෙන අවස්ථාවලදී පමණි. ඊට අමතරව කෙනකු උසින් අඩුවීම හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ බුද්ධිය අඩුවන බව සොයාගෙන ඇත. මෙය සිදුවන්නේ කොහොමද? මෙයට දිය හැකි ඉතාම තාර්කික උත්තරය මෙසේය. දරුවකු මිටි වන්නේ එම දරුවාට ලැබෙන ආහාරවල නිසි පෝෂ්‍ය පදාර්ථ නැති හෙයිනි. මෙහිදී කොංගෝවේ සිටින පිග්මි ජනයා ඉතිහාසය ආරම්භ වූ දවසේ සිට උග්‍ර මන්දපෝෂණයකින් පෙළෙන බව අපේ උගත් පාඨකයා කල්පනා කරනවා ඇත. සාමාන්‍යයෙන් ඉතා හොඳින් වැඩුණු පිග්මි පිරිමියකුගේ උස අඩි 4 ක් පමණ වේ. එසේම අඩි 3 ක් පමණ උස පිග්මි තරුණ තරුණියෝද අඩි දෙකහමාරක් පමණ උස පිග්මි දරුවෝද වෙති. පිග්මි ජනයා මිටි වන්නේ ජානමය හේතුවක් මතය. අප්‍රිකාවේ සමහර භූමි කලාපවල වෙසෙන නීග්‍රෝ ජනයා උසින් ඉතා අඩුය. මෙය එම ජන කොට්ඨාසවල ආරම්භයේ පටන්ම තිබූ ශාරීරික තත්ත්වයකි. එබැවින් උසින් අඩු වූ පමණින් පිග්මි ජනයා සිහි බුද්ධිය නැති මොට්ට මෝලුන් යැයි අප සිතිය යුතු නැත. කෙසේ වුවද නිසි පෝෂණය නොලැබ දරුවන් මිටි වන්නේ නම් එමගින් හටගන්නා සමාජ විභවය කිසිසේත්ම නොතකා හැරීමට බැරිය. කෙනකුගේ ශාරීරික දුර්වලකමක් හටගන්නේ ජාන ක්‍රියාවලිය හේතුවෙන් නම් ඒ ගැන අපට කළ හැකි දෙයක් නොවේ. එහෙත් එය සිදුවන්නේ ජාන ක්‍රියාවලියෙන් පරිබාහිර දිළිඳුකම හෝ වෙනත් කාරණයක් නිසා නම් ඒ ගැන අප විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
    ලංකාවේ සිටින දරුවෝ මන්දපෝෂණයෙන් පෙළෙත්ද? බස්නාහිර පළාතේ වෙසෙන බෝල ගෙඩි වැනි දරුවන් දෙස බලන විට ලංකාව මන්දපෝෂණයෙන් නොව අධි පෝෂණයෙන් පෙළෙන රටක් බව ඉතා පැහැදිලිය. එහෙත් ඇත්තම කතාව නම් ඒ සියලුම බෝල ගෙඩි මන්දපෝෂණයෙන් පෙළෙන බවය. ඒ පිළිබඳ කතාව මෙසේය. ශ්‍රී ලංකාව පාරම්පරික ගොවි භූමියක්ව පැවති වකවානුවේදී මේ රටේ ජනයා විසින් අනුභව කරන ලද්දේ පොළව සමග ගැටි ගැටී ජීවත්වීමට අවශ්‍ය ආහාර වර්ග පමණි. යබොර නමැති දුඹුරු පැහැති දළ සහල් වර්ගයෙන් පිසූ බතුත් පිසින ලද පලා කොළත් සියඹලා සහිත ආනම් හොද්දකුත් කරවිල සහ මෑ වැනි දේශීය එළවළුවකුත් කොස් වැනි පිෂ්ට ධාතුව බහුල ආහාරයකුත් පමණි. ඇතැම් විට මේ ආහාරයට වෙල් මාළුවක් හෝ දඩ මසක් එකතු විය. අප මේ කියන්නේ දෙල් නමැති ශාකය ලංකාවට පැමිණ නැති මුහුදුකරයේ ජනයාවත් කරවල ගැන නොදැන සිටි (කරවල වේලන හැටි අපට කියා දෙන්නේ පසුකාලයේදී කේරළයෙන් පැමිණි ජනතාවය.) මුහුදු මාළු කෑම මුහුදුකරයේ සිටි ජනයාට පමණක් ආවේණික වූ මීට අවුරුදු දෙතුන් සීයකට පෙර පැවති වකවානුව ගැනය. ඉහත සඳහන් ආහාර වේලෙන් යබොර හාල සහ පිසින ලද කොස් මාළුව කාබෝහයිඩ්‍රේට් තලියකි. යබොර සහලේ තද දුඹුරු පැහැති කුරුට්ටෙනුත් පලා කොළවලිනුත් මෑ හෝ කරවිලවලිනුත් ඔවුන්ට විටමින් සහ ඛනිජ ලැබිණ. කෑමට ලුණු දමන නිසා ලවණ ප්‍රශ්නයක් කොහොමටත් මතුවූයේ නැත. ප්‍රතිශතයක් වශයෙන් ගන්නා විට මේ ආහාර වේලේ වැඩියෙන්ම තිබුණේ පිෂ්ටය හෙවත් කාබෝහයිඩ්‍රේට් ය. හැබැයි මේ බත් ගෙඩිය ගිල දමන ජනයා කුඹුරට හෝ හේනට ගොස් පෙරකී කාබෝහයිඩ්‍රේට් ග්ලයිකෝජන් පිෂ්ටය බවට පත්වී දහනයවී යන තරමට වැඩ කළහ. එවිට ඔවුන්ට ලෙඩ හැදුනේ අඩුවෙනි. තඩි බඩවල් හෝ යෝධ පස්සවල් ඒ ජනයාට තිබුණේ නැත. ඒ නිසා සෑහෙන කාලයක් ආයු වැළඳීමෙන් පසු ඔවුහු ගෙවල්වල මිනිසුන්ට වාතයක් නොවී මිය ගියහ. අද මේ ආහාර සම්ප්‍රදාය වෙනස්වී ඇත. යබොර හාල් කනවා තබා කෑමට හිතන්නටවත් අපට බැරිය. කුරහන් සහල් සහ යබොර බත් පමණක් කෑමට සුදුසු සියඹලා හොද්ද හෙවත් ආනම දිවට ගන්නටවත් අපට බැරිය. එකල රතු පැහැති වියළි මිරිස් හෝ පොල් කිරි පාවිච්චියට නොගන්නා ලදි. බොහෝ ආහාර පිසින ලද්දේ වතුරෙනි. රතු පැහැති වියළි මිරිස් වෙනුවට ගම්මිරිස් හෝ හීන් මිරිස් යොදන ලදි. පොල් අවශ්‍ය ව්‍යංජනවලදී පොල් ගෙඩියේ මදය උලුප්පා මිරිස් ගලේ තුනීවට අඹරා යොදන ලදි. මේ ආහාර රටාව අපෙන් ඈත්වී ඇත්තේ ඒවායේ තිබෙන දළ රසය හේතුවෙනි. තවත් අමතර කාරණයක් කියමු. එක්තරා කාලයක මේ රටේ ජනයා තිරිවානා ගල් කුඩා කැබලිවලට කඩා එයට ලුණු ගම්මිරිස් සහ ඇඹරූ පොල් යොදා ලිපේ තබා හොඳින් පිස හොද්ද පමණක් අනුභව කිරීමට පුරුදුව සිටියහ. එකල ජනයාට ඛනිජ ලැබුණේ ඒ තිරිවානා ගල් හොද්දෙනි. මේ කිසිවක් අද කිරීමට තබා සිතීමටවත් බැරිය. මේ වනවිට ශිෂ්ටාචාරයට සමගාමීව අපේ දිව රසවත් ආහාර සඳහා පුරුදුව සිටී. දැන් අප කන්නේ තනිකරම කාබෝහයිඩ්‍රේට්, සීනි සහ ලුණුය. ෆ්‍රයිඩ් රයිස් යනු පෝෂ්‍යය පදාර්ථ යම් ප්‍රමාණයක් තිබෙන ආහාරයකි. එය දිවට ඉතා ප්‍රිය ය. French fries නමැති අල බැදුම ද දිවට ඉතා ප්‍රියය. පාන් යනු ඉතාම ලෙහෙසි ආහාරයකි. අප පුරුදුව සිටින මේ ආහාරවලින් සමබල පෝෂණයක් සිරුරට නොලැබේ. අනෙක, කුඩා කාලයේ සිටම දරුවා ගත කරන්නේ මානසික පීඩා බහුල ජීවිතයකි. ඌට ඇති ලොකුම අවුල දෙමව්පියන්ගේ සිහින සැබෑ කිරීම ය. ශිෂ්‍යත්වය පාස් වීම, පාසලේ ක්‍රිකට් කැප්ටන්වීම, පන්තියේ පළමුවැනියා වීම වැනි දහසකුත් එකක් වැඩිහිටි බලාපොරොත්තු මගින් මේ දරුවා පාගනු ලැබ ඇත.

    ඉතින් ඒකා මිටි වීම පුදුමයක්ද?




    Divaina