ඉන්දියාවට අත වනා චීනයට ඔච්චම් කිරීම

signshop

Well-known member
  • May 30, 2011
    12,269
    9,112
    113
    Dubai
    ඉන්දියාවට අත වනා චීනයට ඔච්චම් කිරීම

    ඉන්දියාවට අත වනා චීනයට ඔච්චම් කිරීම!

    ඉන්දියානු සාගරයේ පැතිරෙන චීන ආධිපත්‍ය පාලනය කිරීම නවදිල්ලි පාලනයට අත්‍යවශ්‍ය කාරණයකි. හින්දු ජාතිකවාදී නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා පසුගිය සතියේ ශීෂෙල්ස්‌, මුරුසිය හා ශ්‍රී ලංකාවේ සංචාරය කළේ මේ අරමුණ පෙරදැරි කරගෙන බව අමුතුවෙන් කිවයුතු නැත. මෝදි අගමැතිවරයා මාලදිවයිනටත් යැමට නියමිතව තිබුණද මීට සති කිහිපයකට පමණ පෙර හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් එරට පොලිසිය මගින් ඉතා සාහසික ලෙස අත්අඩංගුවට ගත් ආකාරය ගැන කණස්‌සල්ල පළකිරීම සඳහා මාලේ දූපතට පියාසර නොකිරීමට තීරණය කළේය.

    චීන මකරා මුරුසියටත් ශීෂෙල් දිවයිනටත් ශ්‍රී ලංකාවටත් බැලුම් හෙළන බව ඉන්දියාව හොඳින් දනී. 2012 දී චීනය ෂීෂෙල් හි තම නාවික හමුදාවට පහසුකම් සැපයීම සඳහා වරායක්‌ තැනීමට උත්සාහ කරද්දී නවදිල්ලිය බෙහෙවින් කලබල විය. සාම්ප්‍රදායිකව ෂීෂෙල් දූපත් රාජ්‍යයේ ආරක්‍ෂක කටයුතු සඳහා ආධාර ලබාදෙන්නේ ඉන්දියාවය. 2012 දී ඉන්දියාව එරට සඳහා ඩොලර් මිලියන 50 ක ණය ආධාරත් ඩොලර් මිලියන 25 ක ප්‍රදානයකුත් සිදුකර ඇත. මෙවර ෂීෂෙල් වෙත ගිය මෝදි ආරක්‍ෂක ගිවිසුම් කිහිපයකට එළැඹුණේ චීන මකරාගේ ආධිපත්‍යය අවම කිරීම සඳහාය.

    ඉකුත් 12 වැනිදා පැවැති මුරුසියේ ජාතික දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ අගමැති මෝදි ය. මුරුසිය වෙත යුද නැව් 13 ක්‌ සැපයීම සඳහා සූදානම් වන ඉන්දියාව එහි පළමු යාත්‍රාව "බැරකුඩා" අගමැති මෝදි අතින්ම මුරුසියට ප්‍රදානය කරන ලදි. ටොන් 1300 ක්‌ බරැති මේ යුද නැව ඉන්දියාව විසින් නිර්මාණය කර විදේශයකට අලෙවි කළ පළමු යාත්‍රාවයි. චීනය මුරුසියේ නාවික හමුදාවට අත තැබීමට පෙර නවදිල්ලිය එම ඒකාධිකාරය තමන් සතුකර ගැනීමට ගන්නා උත්සාහයක්‌ ලෙස මෙය හැඳින්විය හැකිය.

    නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාගේ ආසියානු සංචාරයේ වැදගත්ම රට වන්නේ ශ්‍රී ලංකාව බව අමුතුවෙන් කිව යුතු නැත. වසර 28 කට පසුව ඉන්දීය අගමැතිවරයෙක්‌ ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි පළමු වතාව මෙය විය. 2008 දී ඉන්දීය අගමැති මන්මෝහන් සිං ලංකාවට පැමිණියේ සාක්‌ සමුළුවට සහභාගිවීම සඳහාය. සිං අගමැතිවරයා 2013 පැවැති පොදුරාජ්‍ය මණ්‌ඩලයීය සමුළුවට සහභාගිවූවේත් නැත. 2005 සිට 2014 දක්‌වා පැවැති රාජපක්‍ෂ පාලනය කෙරෙහි ඉන්දියාව එතරම් සතුටින් නොසිටි බව ප්‍රකට කරුණකි. රාජපක්‍ෂ ජනාධිපතිවරයා චීනයට හිතැති ආකල්පයක්‌ දැරීම නවදිල්ලි පාලනය කනස්‌සල්ලට පත්කළ ප්‍රබල කරුණක්‌ විය. ඒ නිසාම කිහිපවිටක්‌ම මන්මෝහන් සිං අගමැතිවරයාට ලංකාවේ සංචාරයට ආරාධනා කළත් ඔහු කොළඹ නොපැමිණියේ රාජපක්‍ෂ පාලනය පිළිබඳව ඉන්දියාවේ ඇති කලකිරීම ප්‍රකට කිරීමටය. බලවත් සිංහල පාලකයකු විශේෂයෙන් zරාජපක්‍ෂ බලවත්වීමZ නවදිල්ලියේ සතුටට හේතුවූයේ නැත.

    එහෙත් ජනවාරි 08 වැනිදා ඉන්දියාව ප්‍රාර්ථනා කළ පරිදිම මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කිරීම නවදිල්ලියේ විදේශ අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශිකයින්ගේ බලවත් සතුටට හේතු විය. 2014 සැප්තැම්බර් මාසයේ චීන සබ්මැරීන කොළඹ වරායට පැමිණීම පිළිබඳව මෝදි පාලනය රාජපක්‍ෂ ආණ්‌ඩුව ගැන උරණ වී සිටි බව අමුතුවෙන් කිවයුතු නැත. නව ජනාධිපතිවරයා පත්වූ විගසම ඔහුට සුබ පැතූ අගමැති මෝදි තමන් ඉක්‌මනින්ම ලංකාවේ සංචාරය කරන බව ප්‍රකාශ කර සිටියේය. 2015 ජනාධිපතිවරණයෙන් නැවත වරක්‌ මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කළේ නම් මාර්තුවේ දී මෝදි අගමැතිවරයා මෙරට සංචාරය කිරීම සිදුනොවන්නත් ඉඩ තිබිණි.

    ඉන්දිරා ගාන්ධි දෙටු පුත් හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා මෙරටට පැමිණියේ 1987 ජුලි 29 වැනිදාය. ඔහු යළි සිය රට බලා ගියේ ජුලි 30 වැනිදා වන අතර ජනාධිපති මන්දිරය ඉදිරිපිටදී පැවැති නාවික හමුදා ආචාර පෙළපාලියේ දී රයිµල් බට්‌ ප්‍රහාරයකින්ද සංග්‍රහ විඳගෙනම දිල්ලිය බලා පිටත් විය. එදා රජීව් ලංකාවට පැමිණෙන විට රටම ගිනිගෙන පැවැතිණි. රජිව් පැමිණියේ රට පුරාම ඇඳිරි නීතිය පනවා තිබූ අවස්‌ථාවකය.

    එහෙත් ඉකුත් සිකුරාදා නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ලංකාවට සැපත්වන විට රටතුළ පැවැතියේ සාමකාමී වාතාවරණයකි. හින්දු ජාතිකවාදී අගමැතිවරයා පිළිබඳ ශ්‍රී ලංකාවාසීන් තුළ ඇත්තේ ගෞරවයකි. නමුත් එදා 1987 දී නම් රජිව් අගමැති කෙරෙහි රටේ ජනතාව තුළ ගෞරවයක්‌ පැවැතියේ නැත. 87 දී ලංකාව මත පටවනු ලැබූ 13 වැනි සංශෝධනය තවමත් රටේ ප්‍රශ්න බොහොමයකට මූලික හේතුවක්‌ වී ඇත.

    නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ලංකාවට පැමිණීමට සතියකට පමණ පෙර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රූපවාහිනී සේවයකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවේදී අනවසරයෙන් ලංකා මුහුදු තීරයට ඇතුල්වන ධීවරයන්ට වෙඩි තැබීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයිතිය ඇති බව ප්‍රකාශ කිරීම නිසා තමිල්නාඩුව පමණක්‌ නොව ඉන්දීය පාර්ලිමේන්තුවද උණුසුම් වී තිබේ. කොංග්‍රස්‌ පක්‍ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ වි. නාරායනස්‌වාමි ප්‍රකාශ කර ඇත්තේ මෝදි අගමැතිවරයා ලංකා සංචාරය අවලංගු කළ යුතු බවය. චෙන්නායි නුවර කොටි හිතවාදීහු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපවලට සෙරෙප්පුවෙන් පහර දෙමින් විරෝධය පළකර ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්‌ කාර්යාලය වැටලීමට උත්සාහ කළ බවටද මාධ්‍ය වාර්තා පළවිය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් බැලූ විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයේ කිසිම වැරැද්දක්‌ නැත. අනවසරයෙන් ලංකා මුහුදු සීමාවට ඇතුළුවන ධීවරයන් අත්අඩංගුවට ගැනීමට හෝ වෙඩි තැබීමට නාවික හමුදාවට අයිතියක්‌ ඇත. ඒ ගැන ඉන්දියාව කලබල විය යුතු නැත. නව රජය පත්වීමත් සමඟ ඉන්දීය ධීවරයන් උතුරු මුහුද ආක්‍රමණය කරමින් සිටින බවට යාපනයේ ධීවර සංගම් චෝදනා කර තිබුණේ එක්‌වරක්‌ දෙවරක්‌ නොවේ.

    මෝදි අගමැතිවරයා ලංකාවට පැමිණෙන විට චීන වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවා ඇත. ටාඡ් සමුද්‍රd හෝටලයේ සිට මුහුද දෙස බලනවිට වරාය ව්‍යාපෘතියේ කටයුතු ඇනහිට ඇති ආකාරය පෙනෙන විට මෝදි අගමැතිවරයාද සතුටුවනු ඇත. මෛත්‍රීපාල සිරිසේන ආණ්‌ඩුව චීන ව්‍යාප්තවාදය නැවැත්වීමට කටයුතු කරනු ඇතැයි යන්න දිල්ලි නුවර විදේශ අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශිකයෝ උදක්‌ම බලාපොරොත්තු වෙති. එහෙත් වරාය නගර ව්‍යාපෘතිය අත්හිටුවීම පිළිබඳ බීජින් පාලනය කොහෙත්ම සතුටට පත්වන්නේ නැත. චීන මකරා තරහකර ගැනීම කිසිසේත්ම ලංකාවට වාසිදායක වන්නේ නැත. එහෙත් මේ නව රජය ඉන්දියාවට අත වනමින් චීනයට කෙනෙත්තීමට උත්සාහ ගැනීම නුවණට හුරු නැත. 2005 - 2012 කාලය තුළ චීනය අපට ණය ආධාර ඩොලර් බිලියන 4.8 ක්‌ ලබාදී ඇති බව අමතක කළ යුතු නැත. එනිසා වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළ යුතුය.

    ඉන්දීය රජය 2009 පසුව උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන්වූවන් වෙනුවෙන් නිවාස පනස්‌දහසක්‌ ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඒ දෙමළ ජනතාව වෙනුවෙනි. නමුත් මෙවර ශ්‍රී ලංකා සංචාරයේදී නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා අනුරාධපුරය වන්දනාවට ගියේ මන්ද? සිංහල බෞද්ධයින්ගේ ඓතිහාසික නගරය දැකගන්නට ගියේ ද මෙරට බහුතර බෞද්ධයන්ට යම් පණිවුඩයක්‌ ලබාදීම සඳහාය. විශේෂයෙන්ම චීන ව්‍යාප්තවාදය නැවැත්වීම සඳහාද ඉන්දියාව "බෞද්ධකම" හරහා සබඳතා තරකර ගැනීමට උත්සාහ දරයි. මෙය බුරුමයේ ද ක්‍රියාත්මක විය. ඉන්දියානු ආධාර මත දැවැන්ත සංස්‌කෘතික මධ්‍යස්‌ථානයක්‌ යාපනය පුස්‌තකාලය අසල ඉදි වේ. එයට මුල්ගල තැබීමද අගමැති මෝදි අතින් සිදුවිය.


    නව රජය පවසන්නේ තමන්ට චීනය සමඟත් ඉන්දියාව සමඟත් යහපත් සබඳතාවන් පවත්වාගත යුතු බවය. එහෙත් ඉන්දියාවට අත වනමින් චීනයට ඔච්චම් කිරීමට ගියහොත් සිදුවන්නේ කුමක්‌ද? රට ආපස්‌සට යැමකි. ඉන්දියාව හරහා ක්‍රියාත්මක වන්නේ බටහිර හා ඇමරිකානු වුවමනාවන් බව මේ යහපාලන ආණ්‌ඩුව අමතක කළ යුතු නැත. ඒ බව අමතක කර කටයුතු කළහොත් එය සැබවින්ම අමනකමක්‌ වනු ඇත.